
ආගමනය
කන්ද උඩරට මුව විට
සුදෝසුදු සිරියාවි දකුණට
සේන්දු විය නෑකමට
කොහේ සිට දේවිය ද නුඹ මට
අකුරු කර පරතෙරට
ඉගෙනුමට ශිල්ප දරුවන්ට
වියළි බිම කතරගම් නුවර
මුණගැසුණු අයුරු එ දවස
පැමිණ රාජ සේවෙට
සොරකම් කර මගේ සිත
දෛවයේ පුරුදු විලසට
එකතු වුණි එක වහලක් යටට
කොහේ සිටි කුමුදුනිය ද නුඹ
ජීවිතයේ සරතැස නිවීමට
ඔබම පමණක් දන්න
නොදන්නවා වගේ මම ඉන්න
වනපස මලින් අතු ඉති
සරත් කල සොඳුරු කළ හැටි
තරම් නොම වෙයි මා හට
මට ම පුදුමයි මගේ සිත
නිහාල් රංජිත් කොඩිතුවක්කු
හිම සිහින
පුළුන් වලා කැටි බේරෙන
හිම වැස්සේ සීතල පොද
උණුහුම සොයනා රිසියෙන්
හංස පියාපත් තුරුලේ...
මුව මඬලේ අසිරිය විඳ
රසෝඝයක මා සිත් වැද
සොයන සිහින උන්මාදෙන්
යයි ඈතට පියඹා...
මලක් වෙලා හිම සයනේ
නිදන්නට ඇහැක් නම් මට
මේ ලොව කෙතරම් සොඳුරු ද
හිත හොර රහසෙම කීවා...
රැය දිගු වී අනන්තයට
පෙම උතුරා පිටාර යන
ජීවිතයේ මල් වැස්සට
හීන් සීරුවෙම තෙමුණා...
නිශාන්ත පීරිස්
පැවිදි පුතුට
උපාධියේ ලෝගුව නුඹෙ ගත සැරසුවදා
සතුටු කඳුළු අබියස නුඹ මගෙ පා යුග වැන්දා
කහ සිවුරු දරන් මහණ වෙසින් නිෙවසට වැඩි දා
නෙත කඳුළු ලොවට සඟවා නුඹෙ පා යුග වැන්දා
ගත දහඩිය වැය කෙරුවේ රජෙකු කරන්නයි
පුත නුඹ අද නතර වුණේ ආරාමයකයි
වයසයි නුඹෙ දෙමාපියන් අත මිට සරු නෑ
බුදු පුතුගෙ සුවඳ දැනෙන විට දි හිතට දුකක් නෑ
සරසවි බිම නුඹෙ සිත්මල් මිලින වුණාද
සතර වරිගෙ ගොඩ දමන්න පෙරුම් පිරුවද
හිතට දුකයි පිය සෙනෙහස නුඹට අහිමිද
දුකට ලියන මේ කවිපද නුඹට පෙනේවිද
ජයසේන කොඩිතුවක්කු
පිංතාලිය හන්දිය
බිලි නොවී උදක රකුසුට
නොබැස නළපාන පොකුණට
රජ මාලිගාවට
මන්ත්‍රණ සභාවට
මීරි සීතෝදක
සැපයුමෙනි පැණවත්
දියාලුවො සිරිමත්
සුරැකි දිවිකල් උල්පත්
විරැකියාවෙන් පසුවෙත්
කරත්තෙන් දැන් වතුර නොඅදිත්
නොසිටියේ වී නම්
දළදා හාමුදුරුවන්
දියවඩන නිලමෙත්
මහමඟය දැනටත්
රට වටැති මුහුදත්
අනෙක ගං හෝ කඳුරුත්
රකින වැහි ළිහිණිත්
වැසි පිරිත් කියුවත්
නුවරු ගම්වැසි කවුරුත්
බෝතල් වතුර ඉල්ලත්
තැන නොතැන කොතැනත්
ප්ලාස්ටික් හැව අරිත්
පිංතාලිය හන්දියේ
තිබූ පිංතාලිය
රැගෙන ගිය ෙචෟරය
දැන් ඉතින් කොහොමත්
හන්දියේ උප්පැන්නය
අලුතෙන් ලිවිය යුතු ම ය
හිස් ම හිස් බඳුනක්
හන්දියට අසුබ ය
රංජිත් මල්ලියාවඩු
බිරියක් වැලපෙයි
දුක, සැප, සතුට කඳුළද එකවිලස විඳී
මතකයෙ තබා පිදු සෙනෙහස් දමෙන් මිදී
ඔබ ගිය පසුව හැර වෙන හදවතක බැඳී
විසිරී ගිහින් තැනු පෙම් මන්දිරය බිඳී
මනමාලියක වී තුරුලට ආ දවසේ
විළිබර විලස විඳි සුව කුලුඳුල් පහසේ
කොඳුරා කී කතා සෙනෙහස ගැන රහසේ
බිතු සිතුවමක් ලෙස ඇඳුණා මගෙ මනසේ
දෙහදේ පිපුණි පෙම්මල් සිත සුවඳ කරන්
දැනුණා සිතට සැනසුම මහ සයුර කරන්
මගෙ සිත අත රැගෙන දිවි මග යනෙන ගමන්
ඇයි? නුඹ විවර කෙරුවේ වෙන සිතක විමන්
පැතුමන් අප පැතූ පෙර දිවි සඳැල්ලේ
පිනිබිඳුවක් වුණා රැඳි මල් පියල්ලේ
දරු පැටවුන් සමඟ තනිකර කැදැල්ලේ
ඉවතට ගියේ ඉගිළී ඇයි? නිදැල්ලේ
පියඹා ගියත් සිත ගත වෙන අතක අරන්
දරු සෙනෙහස පියෙකු සතු මහ මෙරක තරන්
එනතුරු තිමිර පටලය නෙත රැඳුණ ඉරන්
හිඳිනෙමි කැදැල්ලේ දොරටුව විවර කරන්
රූපානි කැකුලාවල
ආදරයක හැටි
අමතක කෙරුවට
අමතක වෙන්නැති
මතකය තාමත් හිත රිදවයි
දෑසට කඳුළැලි අරගෙන ආවත්
ඒ මතකය තාමත් මිහිරියි
අප දෙදෙනාටම අපව අහිමි කළ
දෛවයෙ සරදම හරි පුදුමයි
මා සිත දන්නව ඔබේ සිත දන්නවතාමත් අප අප ගැනම හිතයි
අනුනට හිමි වුණු අපට අහිමි වුණු
ආදරයක හැටි ඔහොම තමයි
මංජුලා ක්‍රිශාන්ති මෙන්ඩිස්
ඔබ
සුවඳ දී ආදර හැඟුම් ළය
සියපතක් විය හදවිලේ ඔබ
ජීවිතේ ගිම් නිවා දමමින්
සෙනෙහසේ මහ සයුර වූ ඔබ
සයුරු වෙරළක හුදෙකලාවේ
ගතට තුරුලු ව සෙනෙහෙ පැතු ඔබ
ආලයෙන් පිරි කවි ලියන්නට
දිරිය පන්හිඳ අතට දුන් ඔබ
බැඳී අතැඟිලි ගෙවා ආ මඟ
බෙදා සෙනෙහස පියකු වූ ඔබ
සියලු දුක් මහ මෙරක් සේ ගෙන
නිබඳ ඇගෙ සෙවණැල්ල වූ ඔබ
ඉසුරු සොයනට කතර ගිය සඳ
දවා විජිතය විමන් තැනු ඔබ
සරා අසුරක රසය විඳිමින්
ඇයව හැරදා පලා ගිය ඔබ
ඔරු කඳක් විය හබල ගිලිහුණ
ලිහිණියෙක් විය තටු සිඳී ගිය
මල් මැලව ගිය සිරි යහන මත
තනි වූ මිනිසෙකි ඒත් ඔබ විය
උත්තරා කුමාරි රණසිංහ
නුඹ
ජීවිත මල් උයනේ පිපී
මගේ දිවිය සුවඳ කළ
කිසිදා මිලාන නොවන
දසත හමන සුවඳ
කුසුම නුඹ
මනහර මහින්ද
මඟ බලමින් උන්නා
හෙවණැලි කෙටි වී යළි දික්වන තුරු
කොස් ගහ අස්සෙන් ඉර හැංගෙන තුරු
සිදාදියට ගිය අම්මා එන තුරු
මඟ බලමින් උන්නා
රතෙන් උලා වත්සුනු වන කොපුලක
කොහෝ කොහෝ යැයි ගී ගයනා විට
අත්තම්මා එනතුරු ගුරු පාරෙන්
මඟ බලමින් උන්නා
විභාග ප්‍රතිඵල නෑසිය තොරතුරු
රැකියාවට යන ලියමන ඒවිද?
තැපැල් මල්ල ගෙන බස් එක එන තුරු
මඟ බලමින් උන්නා
මරු වැල පෑගුණු විලියොන් මාමගෙ
තොරතුරු එන තුරු ඉස්පිරිතාලෙන්
රෑහි හඬන රෑ අඳුරම විනිවිද
මඟ බලමින් උන්නා
මළගමකට ගිය තාත්ත එන තුරු
ඈත නිම්නයට දෑස යොමාගෙන
හුළු අත්තක එළියක් හෙලවේදැයි
මඟ බලමින් උන්නා
එහෙව් සංහිඳම පාගා පොඩි කර
‘මොබයිල්’ එක ඇවිදින් අප අතරට
කොසොල් රජුට අමතක වූ හීනය
අපට කියා දුන්නා
පද්මිණි ශ්‍රියාලතා
උදුම්බරාවනි
සිතුම් පැතුම් දහසක් දේ ලැබගන්න
උදුම්බරාවෙනි සරසවි පිළිපන්න
අනන්තවත් දේ ඇත මට පවසන්න
අපේ සිතුම් පෑහේවිද නොබිෙඳන්න
දිඹුල් ගහට නැග නොඉඳුල් ගෙඩි කෑම
ලේසි පාසු වේවිද මතු හැම දාම
සදාතනික සිත නිසි ලෙස නොදැනීම
පටන් ගන්නෙ කෝමද අතුරේ යෑම
අනන්තවත් දේ පොදි බැඳගෙන ආව
පැතුම් ගොඩක් නෑ කුමරිය මා ගාව
උතුම් සිතක නොබිඳී තිබු හැදියාව
වසන් වුණේ නෑ ඔෙබ රූපය ගාව
ගුරුන් තනන සිත නොබිඳා හැම දාම
හොඳින් අකුරු කෙරුවෙමි සුපුරුදු සේම
වසන් කළ නමුත් සිත ඇති තතු බෝම
වැළැක්වීමි ගොර සපුනගෙ ළං වීම
සුගන්දයෙන් පිරි නොඉඳුල් මලක් වෙලා
පිපෙන්න දේවිය දස දෙස නුවන් සලා
අහම්බයක් සේ ළං වුණු සිතුම් වලා
වසන් වෙලා යයි රෑ සිහිනයක් වෙලා
සිහිල් සේද සළු පිළි ඇඟ දවටාන
පුරා සඳක් වනු මැන ඉඳහිට පේන
බිඳක් විතරවත් මතකයෙ රඳ වාන
ඉතින් සිනා සීයන් දැක සුබ සීන
සෝමරත්න හරස්ගම
දැඩි නොවෙමි යළි
හිමිදිරි උදයේ වැසුණු කවුළුවෙන්
අඩවන් දෑසින් බැලුවෙමි හෙමිහිට
අපූරු දැකුමක් මින් පෙර නුදුටුව
දිස් විය කවුළුවෙ වීදුරුවක් මත
දුටු මනතින් එය පිවිසුණි හදවතෙ
සරසවියේ මා ළඟ හුන් ඔබ රුව
තුසර බිංදු රැඳි නිලුපුල් පෙති මෙන්
සිහි විය ඔබෙ නෙත කඳුළු පිරූ බව
මෙවන් උදාසන දුටු ඒ දසුනෙන්
නැවතත් සිහිගන්වාලයි මසිතට
ඉන් පසු මාහද ඔබට කියූ දෙය
කිසිවිට නෑසුණ මුත් ඔබෙ සවනට
රැයක් පුරා රැඳි සීතල පිනිබිඳු
හෙමින් සීරුවේ වැලපෙනු දුටුවෙමි
වීදුරු කවුළුවෙ පහළට රූරා
සිහින් සරෙන් පැන යන හඬ ඇසුවෙමි
අමිතා කුමාරි දිවාරත්න
වරද නුඹ අත නොවේ
දෑල ඉවුරම බිඳී යා නම්
ගං දියේ දැඩි රළු බවින්
මඳ නලේ නුඹ කුමක් කරනු ද
හමා යනු මිස ගඟට ඉහළින්
හිරුගෙ රැස් වැද මැකී යා නම්
දිලෙන පිනි කැට මොහොතකින්
සඳේ වැළැකිය හැකිද නුඹ හට
බලා ඉනු මිස වලා අතරින්
වසත් කාලය නිමා වේ නම්
උදා වූ ගිම්හානයෙන්
යළිත් මල්බර සමය ඒවිද?
විහඟ දුක් ගී සර මැදින්
මාල මුතු වැල් පැලඳ රන් දම්
සේල ඇන්දත් මට හොරෙන්
වරද නුඹ අත නොවේ සොඳුරිය
යන්න අවසර සුබ ගමන්
ගුණදාස බමුණුආරච්චි
නග්නව
නිරුවත් වෙමි ඔබ වෙනුවෙන්
වත් උනනු පමණ නොව
පාමි මුළු ආත්මයම
මගේ කෙලෙසුණු සිත් ප්‍රභා තුළින්
නිරුවත් වෙමි ඔබ වෙනුවෙන්
ඔබ මා දැනගනු මට අවැසිය
මුළුමනින් ම ඇතුළටම පැමිණ
අරඹමි මම ඔබ සමඟ
නිරුවත් වෙමි ඔබ වෙනුවෙන්
බලන්න මේ මගේ කැළල
මා දියණි මා ගැබින්
නික්මුණ තැනක සැදුණ
නිරුවත් වෙමි ඔබ වෙනුවෙන්
තබන්න ඔබ අත මා හද මත
ඇරඹුමක් ගත යුතුය ඔබ
මා වේදනා දැනගන්නට
නිරුවත් වෙමි ඔබ වෙනුවෙන්
ඉතින් ඔබට දැකිය හැකිය මා ආත්මය
සහ එය වටා ඇති පවුර
නඟිනු හැකි ද ඔබට?
නිරුවත් වෙමි ඔබ වෙනුවෙන්
බලන්න, මා මොළය දෙස
චතුර වදන් හා බුද්ධිය
රකින්න මා තුළ සිටින ළමයා
නිරුවත් වෙමි ඔබ වෙනුවෙන්
ඔබට මා අවැසි වෙනු මට අවැසිය
නිමැවුම් මෙවලම් ඔබ අතය
මා නිදහස් කිරීම අරඹන්න
වයඹ දිග අයර්ලන්තයේ මුහුදට සමීප කුඩා ගමක 1959 වර්ෂයේ උපන් ජීන් මරේ, 7 දෙදනකුගෙන් යුත් පවුලක මැද දරුවා ය.
ඖෂධවේදියකු මෙන් ම සංගීතඥයකු ද වූ පියා සංගීතයට අදාළව සාප්පුවක් පවත්වාගෙන ගිය අතර, ජීන්ගේ මව ඖෂධ අලෙවිසලක් පවත්වාගෙන ගියා ය.
වෘත්තියෙන් වින්නඹු මවක වන ජීන්, අවුරුදු 23කට පසු බිඳ වැටුණු විවාහයකින් ලද දියණියන් තිදෙනකු සමඟ දිවි ගෙවන්නීය. විවාහය අසතුටුදායක වූ බව කියන ජීන්, කවි ලිවීම ඇරඹුවේ විවාහය බිඳ වැටුණු පසුව බවත්, කවිත්වය තම පියාගෙන් ලද තිළිණයක් ලෙස සිතන බවක් පවසන්නීය.
මේ කව නිමැවී ඇත්තේ, පුරුෂයකු වෙත ගැහැනියක කරන සංවේදී හා සියුම් ඇමතුමක විලාසයෙනි. දෙපළගේ සබඳතාව ෙකබන්දක් දැයි එක පැහැර අල්ලාගනු නොහැකි වුව ද එය අතිශයින් සමීප එකක් බව නිසැකය. ඇගේ ප්රකාශනය බෙහෙවින් ව්යංග්යාත්මය ජීවන තොරතුරු සලකන කල, මෙය කිවිඳියගේ නිර්ව්‍යාජ ආත්මීය ප්රකාශනයක් වන්නට ද පිළිවන.
පරිවර්තනය හා සටහන
දේ.වි. ගාල්ලගේ
ලන්ඩන් අහස
සඳවත වැසිලා වලාවකින්
කුණාටුවක පෙර නිමිති වගෙයි
දෙනෙතින් විදුලි කොටයි
මේඝ ගර්ජනාද ඇසෙයි
එසැණින් කඩා හැලෙයි
වැස්ස වැටෙයි දෙනෙතින් රූරා
මොහොතින් නිසසල වෙයි
ළා හිරු පායා එයි
ඇෙග වත පැහැබර වී
ටික ටික අව්ව වැටෙයි
ලන්ඩන් අහස වගෙයි
වැස්සක් නොවැටුණ ගානයි
ආරියරත්න ජයසිංහ