![ප්‍රහාරය සියැසින් දකිමින්](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/09/03/01.jpg?itok=yuatYKmx)
ඒ අදින් හරියටම වසර විස්සකට ඉහතදිය. දිනය අඟහරුවාදාවකි. පෙරවරුවේය. ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවතියේ බෙහෙවින් සාමාන්‍ය තත්ත්වයේය. ලෝකයේ ආරක්ෂිතම නගරය ලෙස ජනතාව ඉතා විශ්වාසයෙන් එදිනෙදා කටයුතුවල නිරතව සිටියහ. එවකට ඇමරිකාව ලොව ප්‍රබලයා විය. එවන්වූ ඇමරිකාවේ අගනුවර වූ නිව්යෝර්ක් යනු ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වේ යැයි අනුමාන කළ හැකි ලැයිස්තුවට වත් ඇතුළත් නොවන තරමේ ආරක්ෂිත නගරයක් වශයෙන් මතයක් ද විය. ගත වී යමින් තිබූ මොහොතක් දක්වා එය එසේ නොවේ යැයි තර්ක කරන්නට කිසිවකුට හැකියාවක් නොවීය.
එහෙත් ඒ වන විටත් එක් මොහොතකින් නිව්යෝර්ක් නගරය ලොව අනාරක්ෂිතම නගරය බවට පත් කරවන සිදුවීම් මාලාවක් ක්‍රියාත්මක වෙමින් පැවතියේ අතිශය රහසිගත ආකාරයෙනි. ලොව ප්‍රබලතම ඔත්තු සේවාව ලෙස නම් දරමින් සිටි සීඅයිඒ, එෆ්බීඅයි වැනි ඔත්තු සේවාවන් කිසිවකට මේ රහසිගත මෙහෙයුම් පිළිබඳ තොරතුරු මාත්‍රයක් හෝ ඒ දක්වා දැන ගන්නට ලැබී නොතිබිණි.
වසර කිහිපයක් තිස්සේ අතිශය සූක්ෂ්ම ලෙස සැලසුම් කර තිබූ මෙහෙයුම ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතිණි. කැලිෆෝර්නියානු ගුවන් කලාපයෙන් ගුවනට පිවිසි ගුවන් යානා හතරක සිටි 19 දෙනෙකුගෙන් යුතු ත්‍රස්තවාදීන් පිරිසක් තවත් සුළු මොහොතකින් එම ගුවන් යානා හතර තම අණසකට නතු කර ගත්තේ ගමන් කළ යුතු ගමනාන්තයන් සම්බන්ධව නියමුවන් දැනුම්වත් කළහ.
නියමුවන්ට වෙනත් විකල්පයක් නොවීය. ත්‍රස්තවාදීන් පැමිණ තිබුණේ තම අවසන් ගමන යෑමේ සූදානමින් වූ අතර දැන් යානයේ මගීන්ද නියමුවන්ද කටුක මරණයකට මුහුණ දීමට විලාප දෙමින් සිටියහ. ලැබූ නියෝග අනුව යානා දෙකක් තම ගමන් මාර්ග වෙනස් කරමින් නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි බලා පියාසර කරන්නට විය.
උදෑසන සුන්දර විය. නිව්යෝර්ක් නගර වාසීහු තම දිනය ආරම්භ කරමින් සිටි අතර ඇතැම්හු කාර්යාල බලා ගමන් ගනිමින් සිටියහ. මෝටර් රථවල ගමන් ගනිමින් සිටි ඇතැම් දෙනා එක්වරම දුටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දෙසට ඉතා පහතින් ගමන් ගන්නා ගුවන් යානයකි. ඔවුන්ගේ මුවින් විලාපයක් නංවමින් එක්වරම මේ ගුවන් යානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනේ ගැටුණේය. හරියටම ඒ මොහොතේ වේලාව සටහන් වූයේ උදෑසන 8.46 වශයෙනි. වැඩි දෙනා සිතුවේ සිදුවූයේ හදිසි අනතුරක් බවයි. එහෙත් හරියටම එයින් තවත් විනාඩි 17ක් ගත වන විට එනම් උදෑසන 9.03ට තවත් ගුවන් යානයක් වේගයෙන් පැමිණ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ අනික් කුලුනේ ගැටුණු විට එය ත්‍රස්ත ප්‍රහාරයක් බව තහවුරු විය.
ගොඩනැගිලි දෙකෙන්ම ගිනි දලු පිටවෙමින් විශාල කළු දුමාරයක් නිකුත් වන්නට විය. තට්ටු 110කින් යුක්ත වූ කුලුනු දෙකෙහිම කාර්යාල රැසක් පිහිටා තිබුණු අතර හැකිතාක් දෙනා දිවි බේරා ගැනීමට ඉන් ඉවතට පැමිණෙමින් සිටියහ. ප්‍රහාරය එල්ල වී පැයකුත් විනාඩි හතළිස් දෙකකදී ප්‍රහාරය දරා ගත නොහැකි වුණු ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු දෙකම බිමට සමතලා වූයේ එහි ජිවිත රැසක්ද සඟවා ගනිමිනි. ඒ සමඟින් අවට පිහිටා තිබූ ගොඩනැගිලි රැසකටද හානි සිදු විය.
මේ අතර ඩලස් ඇමරිකා ගුවන් කලාපයෙන් ගුවනට පිවිසි තවත් ගුවන් යානයක් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත පියාසර කරමින් තිබිණි. එහි මගීන් හැකි පමණ තම පවුල්වල සාමාජිකයන්ට අවසන් ඇමතුම් දෙමින් සිටි අතර ත්‍රස්තවාදීන් ලබාදුන් ඉලක්කය වෙත පියාසර කරනවා විනා වෙනත් විකල්පයක් එම යානයේ නියමුවන් වෙත නොවීය. පෙරවරු 9.37 වන විට එම යානය වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටා ඇති ඇමරිකා ආරක්ෂක හමුදා මූලස්ථානය වන පෙන්ටගන් ගෙඩනැගිල්ල වෙත කඩාවැදී තිබිණි. එහෙත් මේ ගොඩනැගිල්ල ඉතා විශාල වූයෙන් එහි බටහිර කොටසේ කාර්යාල සහ කොරිඩෝ කිහිපයකට හානි සිදුවීමෙන් පමණක් ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ වී තිබිණි.
ත්‍රස්තවාදීන් ගුවනේදී අත්පත් කර ගත් අනෙක් ගුවන් යානයේ ඉලක්කය ඇමරිකානු ජනාධිපතිවරයා රැඳී සිටින ධවල මන්දිරය ලෙස හඳුනා ගත් අතර එම ඉලක්කය සාර්ථක කර ගැනීමට ත්‍රස්තවාදීන් අසමත් වී තිබුණේ මගීන්ගෙන් එල්ල වූ ක්ෂණික බාධාවක් හේතුවෙන් බව අනුමාන විය. මේ යානය පෙන්සිල්වේනියාවේ බිමකට කඩා වැටුණේ උදෑසන 10.03ටය.
මේ ගුවන් යානා හතර බිමට ඇද වැටෙත්ම ඇමරිකාව ලෝකයේ අනාරක්ෂිතම රට බවට මොහොතකින් පත් වී තිබිණි. එවකට ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ආරක්ෂා කර ගැනීමට එරට හමුදා කටයුතු යෙදූයේ වහාම ඔහු එයාර් ෆෝස් වන් ගුවන් යානයෙන් අහසට ගෙන යෑමෙනි. අහසේ සිට පොළොවට ප්‍රහාර එල්ල වෙමින් පවතින අවස්ථාවක ඔවුන් ආරක්ෂිතම ස්ථානය අහසම බවට තීරණය කර තිබිණි.
මේ අතර නිව්යෝර්ක් නගරය සැණෙකින් මළගෙයක් බවට පත්වෙමින් තිබිණි. ජීවිත බේරා ගැනීමට ඒ මේ අත දිවයන මිනිසුන් බිමට ඇද වැටෙන ගොඩනැගිලිවලින් නැඟුණු කොන්ක්‍රිට් ධූලි වලාවන් ගෙන් වැසී යමින් තිබිණි. දහස් ගණනක් ජනතාව ඒ වන විටත් බිමට ඇද වැටුණු ගොඩනැගිලිවලට යටව අවසන් ගමන් ගොස් තිබිණි.
මේ අතර ඇමරිකාවේ බලධාරීන් ඉහමොළ කලඹවමින් කල්පනා කරන්නට වූයේ මෙවැනි ප්‍රහාරයක් සිදු කළ හැකි තරමේ ප්‍රබල ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්නයි. ඒ වන විට ඉස්ලාම් අන්තවාදී හෙවත් ‘වහාබ්’ සංවිධාන අතර ඉදිරියෙන්ම සිටි අල් කයීඩා සංවිධානය කෙරෙහි සැකය ප්‍රධානව එල්ල වූ අතර දින කිහිපයක් ඉක්ම යත්ම එම සංවිධානයේ නායකයන් ඉවත් කළ යුතුය යන තීරණයට ඇමරිකානු බලධාරීහු එකඟ වූහ.
ඒ වන විට ගුවන් යානා හතරක් බිම ඇද දමමින් ගොඩනැගිලි තුනකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 2996ක් මියගොස් තිබූ බව තහවුරු වූ අතර ඒ අතරට ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් 19 දෙනාද ඇතුළත් විය.
මෙලෙස ලෝකයම බියෙන් මුසපත් කළ තවත් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් ඉතිහාසයට එක් විය. එහෙත් එම ප්‍රහාරය එක් දිනයකින් අවසන් වුවද එහි අතුරු ප්‍රතිඵල මේ ලියන මොහොත දක්වාත්, එනම් අවුරුදු විස්සකට පසුවත් ලෝකයේ තැනින් තැන අතුරු සිදුවීම් සමඟ ඛේදවාචක ඇති කරමින් පවතින බව සඳහන් කළ යුතුය. කොටින්ම කිවහොත් ඇෆ්ගන් වැසියන් අද අපා දුක් විඳිමින් සිටින්නේද එම ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරයේ අතුරු ප්‍රතිඵලයක් හේතුවෙනි.
ප්‍රහාරය එල්ල වූ ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන මිනිසෙක්
ප්‍රහාරය සිදුවීමෙන් පසු එයට වගකිවයුත්තන් හඳුනාගත් ඇමරිකාව අල් කයීඩා නායකයන්ට රැකවරණ ලැබෙන්නේ එවකට ඇෆ්ගනිස්තානය පාලනය කරමින් සිටි තලේබාන්වරුන්ගෙන් බවට අනුමාන කළහ. වහාම ඇෆ්ගනිස්තානය අාක්‍රමණය කිරීමට තීරණය කළ ඇමරිකානු පාලකයෝ නේටෝ සංවිධානයේද හමුදා ආධාර ලබමින් ඇෆ්ගනිස්තානයට හමුදා එවීමට කටයුතු කළහ. ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යනුවෙන් ඇමරිකානුවන් විසින් නම් කළ මේ යුද්ධයේදී පහසුවෙන් තලේබාන් හමුදා මර්දනය කරමින් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමට ඇමරිකානු හමුදා සමත් වුවද අල් කයීඩා නායකයන් කිසිවකු අල්ලා ගැනීමට නම් ඔවුන් සමත් වූයේ නැත. ඔවුන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ අල් කයීඩා නායකයන් අල්ලා ගැනීමය. එහෙත් එයම අසාර්ථක වූ අතර ඒ වෙනුවට ඇෆ්ගන් වැසියෝ අනවශ්‍ය යුද්ධයකට මැදි වූහ.
පසුකාලීනව ඉරාකය ආක්‍රමණය කිරීමටද ඇමරිකාව කටයුතු කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදය අවියෙන්ම පරාජය කළ යුතු බවට තර්කයක් ඔවුන් සතු විය. එය එසේ විය යුතු වුවද තමන්ගේ වාසියට ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්නේ කවුද යන්න ලොවම හොඳින් දැන සිටි බැවින් ඇමරිකාවේ මේ ආක්‍රමණ සම්බන්ධව ඔවුන් සැපයූ නිදහසට කරුණු විහිළුවක්ම විය. කෙසේ වුවද මුස්ලිම් අන්තවාදී සංවිධාන මර්දනය කළ යුතු බවට තර්කයක් නැත. එහෙත් ඇමරිකාව කළ සියල්ලම සාධාරණීකරණයද කළ නොහැකිය.
එදා අදින් වසර විස්සකට පෙර ඇමරිකාවේ දී ඒ අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගියේ අහිංසකයන් බව අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම ඇමරිකන් ආක්‍රමණය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේදී මෙන්ම ඉරාකයේදීද මියගියේ, එමෙන්ම අදටත් අතිශය පීඩිත ජිවිත ගත කරමින් සිටින්නේ අහිංසකයන් බව ද අමුතුවෙන් කිව යුතු නැත. ඉස්ලාම් අන්තවාදී සංවිධාන මෙන්ම එවැනි සංවිධාන ඇති වීමට හේතුවන කරුණු ලොවට සැපයූ පුද්ගලයන්ද මේ අහිංසකයන්ගේ උඩු යටිකුරු වූ ජිවිත සම්බන්ධව වගකිව යුතුය.
ලොවම තිගැස්මට පත් කළ ඒ මහා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී වසර විස්සක් ගත වී අවසන්ය. එදා ඒ මහා මිනිස් ඝතානයක් සිදු වුවද ඇමරිකානු ජනතාව එකද මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලොවට ප්‍රදර්ශනය කළේ නැත. ඔවුන් තම මියගිය පුරවැසියන්ට පවා එලෙස නිසි ගෞරවය ලබා දුන්හ.
පසුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ධූරයෙන් ඉවත්ව ගියද ඩිමොක්‍රටික් පක්ෂයෙන් බලයට පැමිණි බරැක් ඔබාමා එයින් වසර දහයකට පසුව එනම් 2011 මැයි දෙවැනිදා පකිස්තානයේදී අල් කයීඩා සංවිධානයේ නායක ඔසාමා බින් ලාදෙන් මරා දැමීමට හමුදා මෙහෙයවීමට සමත් වූයේය. එහෙත් ඒ වන විට බින් ලාදෙන් අල් කයීඩා සංවිධානයේ තම අරමුණු ඉටු කොට අවසන් වූ අතර නායකත්වයද සෙසු අයට පවරා තිබූ බවට වාර්තා විය. එමෙන්ම අල් කයීඩා සංවිධානයට වඩා ප්‍රබල තවත් මුස්ලිම් අන්තවාදී සංවිධාන බිහිව පැවති අතර ඒවාට අවියෙන් නිසි පිළිතුරු දීමට නම් ඇමරිකාව සමත් වූයේ නැත. ඒ සඳහා හොඳම උදාහරණය ලෙස සිරියාවේ අයිඑස් ක්‍රියාකාරකම් දැක්විය හැකිය.
කෙසේ වුවද ලොවම ත්‍රස්ත කළ මහා ම්ලේච්ඡ ප්‍රහාරයක විසි වසරක මතකය සිහිපත් කරන මෙවන් අවස්ථාවක, ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට තම කුඩා දරුවන්ද සමඟ වෙර දරන අහිංසක මිනිසුන්ගේ දුක්බර මුහුණු සිත වේදනාවට පත් කරවන මෙවන් මොහොතක යුද්ධය ප්‍රතික්ෂේප කරන, අන්තවාදය ප්‍රතික්ෂේප කරන ජනතාව ලෙස යළිත් කිසිඳු දිනක ලොව කිසිඳු තැනක මෙවැනි ප්‍රහාර ඇති නොවිය යුතු බවට එක සිතින් පැතුමක් පැතිය යුතුය.