මගේ කෘති­ව­ලට පාඨක ප්‍රති­චාර නොඅ­ඩුව ලැබෙ­නවා ප්‍රවීණ ලේඛිකා බර්නි දස­නා­යක | සිළුමිණ

මගේ කෘති­ව­ලට පාඨක ප්‍රති­චාර නොඅ­ඩුව ලැබෙ­නවා ප්‍රවීණ ලේඛිකා බර්නි දස­නා­යක

මොහොතින් මොහොත ගෙවී යන ජීවිතය කාලයේ මායාවෙන් වැසී යත් දී තම දිවියේ සියලු පැතුම් ඉටු කරගත්තා යැයි සතුටු විය හැකි නම් එවැනි කාන්තාවෝ ලොව බහුල නොවෙති. බර්නි දසනායක නම් වූ ඈ ඒ අතලොස්ස අතර සිට එම සතුට එලෙසින්ම භුක්ති විදින්නීය. පරිවර්තන ලේඛිකාවන් අතර කතාබහට ලක් වූ බර්නි දසනායක රචනා කළ, පරිවර්තනය කළ කෘති ඔබ කියවා ඇතුවාට සැක නැත. මේ දිනවල ඇය ප්‍රවීණ ලේඛිකා ඊඩිත් වෝර්ටන් විසින් රචිත 'The Age Of Innocence' කෘතියේ පූර්ණ සිංහල පරිවර්තනය තම දෙවැනි පරිවර්තන කෘතිය ලෙස 'ඔලෙන්ස්කා' නවකතාව සිය පාඨකයන්ගේ දෝතට එක් කර ඇත. අවුරුදු 76ක විශ්‍රාමික ගුරුවරියක මෙන්ම ලේඛිකාවක ලෙස ද කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වූ බර්නිගේ ලේඛනය මෙන්ම ඇගේ ජීවිත කතාව ද මට මෙන්ම ඔබට ද ආදර්ශවත්ය. හැත්තෑ හය වසරක් පුරාවට බිරියක, මවක, ගුරුවරියක මෙන්ම ලේඛිකාවක ලෙස ද බර්නි ආ ගමන් මඟ අපූරු සහගතය. ඈ පැමිණි ගමන්මඟ පිටුපස බාධක, කම්කටොලු එමට විය. අද ඈ සැඳෑ සමයේ ගෙවන ජීවිතය සෑබෑවටම සුන්දරත්වයෙන් පිරි එකෙකැයි ඇයට සිතෙන්නේ ඒ සියලු දුක් ගැහැට, දෝමනස්නයන් හි මිහිරි අමිහිරි බව අත්දැකීමෙන්ම දැන ජීවිතය ජයගත්තාය යන සැබෑ සතුට ඇගේ හදවතේ පිරීතිරී ඇති නිසාය. මේ ඇගේ කතාවයි.

• ඔබ පොත්පත් ඇසුර ලබන්නේ ඔබේ කුඩා අවධියේ සිටයි?

ඔව්. 'කුඩා කාලෙ ඉඳලම මම පොත්පත්, නවකතා, කෙටිකතා ඇසුරු කරන්න පුරුදු වුණා. ඒ තැපැල් ස්ථානාධිපතිවරයෙක් වුණු මගේ පියාගේ අභාෂය මට ලැබුණු නිසා වෙන්න ඇති. සහෝදරියන් තුන්දෙනෙකුත් එක් සහෝදරයෙකුත් සමඟ හැදී වැඩුණු මගේ එකම සහෝදරයා තමයි ප්‍රවීණ රංගන ශිල්පියෙකු වු ඉග්නේෂස් ගුණරත්න. ඔහු ගුරුවරයෙක්. අයියා දැන් ජීවතුන් අතර නැහැ. මට මතකයි අයියා තමයි අපේ ගෙදරට නිතරම පොත්පත් ගෙන ආවේ. මම ඒ හැම පොතක්ම වාගේ කියවනවා. ඒ අම්මට හොරෙන්. මොකද ඒ කාලෙ අද වගේ නෙවෙයි. අපි අධ්‍යාපනයට මිසක් වෙන වෙන බාහිර කටයුතුවලට යොමු වෙනවට මව්පියන් කැමැති වුණේ නැහැ. මම ඒ කාලෙ ගුවන්විදුලි නාට්‍යවල පවා රඟපෑවා. වෙළෙඳ සේවයේ, ස්වදේශීය සේවයේ කටයුතු කළා. ඒත් මව් පියන්ගේ කැමැත්ත වුණේ කලාවට වඩා වෘත්තීමය පැත්තෙන් ඉදිරියට යනවා දකින්නයි.

• ලේඛනයට අත්පොත් තබන්නට ඔබට ඔබේ ගුරු දිවිය මහත් රුකුලක් වෙන්නට ඇති?

ඉංග්‍රීසි මෙන්ම සිංහල භාෂාව ද මට හොඳින් පුළුවන්. මා සතු සාහිත්‍ය භාෂා ඥානය උපයෝගී කොට ගෙන තමයි පොත්පත් රචනා කරන්නට මෙන්ම පරිවර්තන කාර්යයටත් මම අත තැබුවේ. 2008 වසරේ දී දරුවන් වෙනුවෙන් 'වලාකුළු බබා' කෙටිකතා කෘතිය රචනා කළා. 2011 දී 'තාත්තලා' නවකතාව රචනා කළා. මේ කෘතිවලට අදටත් පාඨක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. ඉන්පසුව 'රුවට ලියු කවි' ලෙස සඳැස්, නිසදෑස් දෙකෙන්ම යුතු කවි ඇතුළත් කවි පොතක් එළි දැක්වූවා. ඉන්පසුව තමයි පළමු පරිවර්තන කෘතිය ලෙස ඊඩිත් වෝර්ටන් ගේ 'The Mother's recompense' කෘතිය 'සීමා බන්ධන' ලෙස එළිදැක්වේ. ඉන් පසුව තමයි 'ඔලෙන්ස්කා' මම පරිවර්තනය කරන්නේ.

• ඔලෙන්ස්කා මොන වගේ කෘතියක්ද?

මේ කෘතියෙන් කතාබහට ලක් වෙන්නේ පළමුවැනි ලෝක යුද්ධයට ප්‍රථම අමෙරිකානු ජනපදවල පැවැති සාම්ප්‍රදායික සමාජ රටාව තුළ කාන්තාව හිර වී සිටි ආකාරය. ඔලෙන්ස්කා ඇමෙරිකානු කාන්තාවක්. ඇය ප්‍රංශයට පැමිණ ප්‍රංශයට අනුගතව සිටිනවා. ප්‍රංශයේ දී ඇය පෝලන්ත සිටුවරයෙක් වු ඔලෙන්ස්කි සමඟ විවාහ වී විවාහය අසාර්ථක වු නිසා නැවත නිව්යෝක් පැමිණෙනවා. නමුත් ඇයව නිව්යෝක් සමාජය පිළිගන්නේ නැහැ. මේ අතර ඇගේ නෑනා නීතිඥවරයෙකු හා විවාහ ගිවිස ගෙන සිටිනවා. ඔහු නිව්ලන්ඩ් ආචර්. ඔලෙන්ස්කාගේ නිදහස් සිතුවිලිවලට ඔහු කැමැතියි. මේ අතර මොවුන් හමුවේ තුන්කොන් ප්‍රේමයක් ඇතිවෙනවා. අවසානයේ ඔලෙන්ස්කාගේ ප්‍රේමයට කුමක් වේද? පැවැති සාම්ප්‍රදායික ඇමරිකානු සමාජය‍ පළමු ලෝක යුද්දෙන් පසුව කුමක් වේද කියන කාරණා බොහොමයකට පිළිතුරු මේ කෘතියෙන් අවබෝධ කර ගන්න පුළුවන්.

• ඔබේ ජීවිතය දෙස හැරීබලත් දී හැඟෙන්නේ මොනවාද?

මගේ ජීවිතය ගැන ආපසු හරී බලත් දී පුදුමාකාර සතුටක් මට දැනෙනවා. මට මගේ ස්වාමියා අහිමි වුණේ අවුරුදු තිස්හයේදී . එයා හදිසි අනතුරකින් නැතිවෙන කොට අපිට දරුවන් පස් දෙනෙක් හිටියා. බාලම දරුවා මගේ කුසේ. පුදුමාකාර ආත්ම ශක්තියකින් මම ජීවිතයට මුහුණ දුන්නා. අද එහි ප්‍රථිපල මම සතුටින් බුක්ති විදනවා. දියණියන් තිදෙනෙකුත් පුතුන් තිදෙනෙකුත් එක්ක මම ගෙවපු ජීවිතය ඇත්තටම අභියෝගයක්. මම මගේ ජීවිතය ගැන කවියක් ලිව්වා. එය සෙල්ෆ් ෆ්‍රයිඩ්' නමින් රුවට ලියූ කවි පොතේ ඇතුළත් වුණා. අද මගේ දරුවන්ගෙන් පස්දෙනෙක්ම වරලත් ඉංජිනේරුවන්. වැඩිමල් පුතා විශේෂඥ වෛද්‍යවරයෙක්. දරුවන්ගෙන් කිහිප දෙනෙක්ම දැන් විදෙස්ගතවයි ඉන්නේ. ඉතින් මට ඒ අය ගැන හදවතින්ම ආඩම්බර වෙන්න පුළුවන්. මම රටරටවල සංචාරය කරත්දී මට විවධ පොත්පත් හමුවෙනවා. ඒ කෘති කියවලා ඒවා මගේ පාඨකයන් සමඟ බෙදාහදා ගන්න මම කටයුතු කරනවා.

• ඉදිරියේ දී ඔබ පාඨකයා අතට පත් කරන්නට සූදානම් වන කෘති මොනවාද?

දැනටමත් පාවුලෝ කොයියෝ ගේ 'The Spy' කෘතිය 'මාතාහාරි ' නමින් පරිවර්තනය කරමින් සිටිනවා. ඊට අමතරව 'ආගමික කොල්ලය' නමින් කෘතියක් කරන්නත් කරුණු රැස් කරමින් සිටිනවා. තවත් කෙටි කතාවක් 'අම්මලා' නමින් පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා.

 

Comments