
හේමසිරි ලියනගේ
හේමසිරි ලියනගේ දක්ෂ හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකි. ඊට පෙර ඔහු සිංහල වේදිකාවේ ප්‍රසිද්ධ නාට්‍යකරුවෙක්ව සිටියේය. ‘සුදු ඇතා ආවට පස්සේ’, ‘නරියා සහ කේජු’ ඔහු ලියා නිෂ්පාදනය කළ ප්‍රකට නාට්‍ය දෙකකි.
• ඔබ හොරණ විද්‍යාරත්නයෙන් බිහිවූ නාට්‍යකරුවෙක්?
ඔව්. විද්‍යාරත්නයේ ඉගෙන ගන්නා කොටත් මං නාට්‍ය කළා. ඒ කියන්නේ රඟපෑවා. විශ්ව විද්‍යාලයට ගිහිං උපාධිය අරන් ඇවිත් විද්‍යාරත්නයේ ම උගන්වද්දිත් නාට්‍ය කළා. ගුරුවරයකු වශයෙන් මා කළේ උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යාව ඉගැන්වීම. ඊට අමතරව නාට්‍ය ගුරුවරයා වශයෙනුත් කටයුතු කළා. ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ජනක් ප්‍රේමලාල්, ලාල් කුලරත්න, හේමපාල පතිරගේ, තරංග රුක්මල්වල මගේ සිසුන්.
• ඔබ අන්තිමට වේදිකා නාට්‍යයක් කළේ මොන අවුරුද්දේ ද?
1982 දි විතර. ඒ ‘චිත්‍රාගේ ප්‍රේමකතාව’. හුඟ දෙනෙක් මේ නාට්‍යයට විරුද්ධ වුණා. සමහරු කිව්වෙ ‘චිත්‍රාගේ ප්‍රේමකතාව’ නෙමෙයි ‘ප්‍රේමාගේ චිත්‍ර කතාව’ කියලා.
• ඇයි ඊට පස්සේ නාට්‍යයක් නොකළේ? අවුරුදු 44ක් විතර ඔබ වේදිකාවේ නිහඬයි.
මම 80 වැඩවර්ජනය කළා. නාට්‍ය කරන්න නම් කොළඹ එන්න වෙනවා. ඒත් ඒ කාලේ කොළඹ එන්නවත් සල්ලි නැහැ. ඉතිං කොහොමද නාට්‍ය කරන්නේ. හදිසිම අවශ්‍යතාවයකට වුණත් කොළඹ එන්නේ බුලත්විට මුදලාලගෙන් රුපියල් දහයක් ණයට ඉල්ලගෙන. ඒ නිසා වේදිකා නාට්‍ය කියන දේ මගෙන් මඟ හැරුණා.
• වැඩ වර්ජනය කරද්දී ඔබට බලපෑවේ මොකක්ද?
රුපියල් දහයක් වැඩිපුර පඩි ඉල්ලලනේ වර්ජනය කළේ. ඒක පොදු ඉල්ලීමක්. මාත්තෙක්ක හිටපු ගුරුවරු ඔක්කොම වර්ජනයට පක්ෂපාතීව හිටියා. නමුත් අන්තිමෙට වර්ජනය කළේ මම විතරයි. අනිත් අය විවිධ හේතු කිව්වා. ‘මචං ගෑනි කැමැති නැහැ ස්ට්‍රයික් කරනවට” වගේ දේවල් කියලා ඇඟබේර ගත්තා.
• 80 වර්ජනය ජීවිතයේ වැරැදුණු තැනක් කියලා ඔබට අද හිතෙන්නේ නැද්ද?
නැහැ. මෝඩකමක් කියලවත් හිතන්නෙ නැහැ. මොකද පොදු ඉල්ලීමක් වෙනුවෙන් අපි සටන් කළේ. අනිත් එක මට පැහැදිලි දේශපාලන දර්ශනයකුත් තිබුණා.
• යළි රැකියාව ලැබුණේ කොහොමද?
මං රස්සාව ඉල්ලන් කාගෙවත් පස්සේ ගියේ නැහැ. මගේ දේශපාලන සගයෝ තමයි මට රස්සාව ආයේ අරන් දීලා තියෙන්නේ. මං දන්නේ නැහැ දවසක් මට ලියුමක් ආවා ඇවිල්ලා වැඩ භාරගන්න කියලා. මං ඉස්කෝලේට ගියා. මට තිබුණේ පහේ පන්තියට උගන්වන්න. පොඩි ළමයින්ට උගන්වන්න මං දැනගෙන හිටියේ නැහැ. ඉතිං මං පොත අත්සන් කරලා නිකම් හිටියා. ළමයි වුණත් මට කතා කළේ ‘සර්’ කියලා නෙමෙයි ‘අන්කල්’ කියලා. ඇයි උගන්වන්නෙත් නැහැනේ. ස්ට්‍රයික් කරපු නිසා මට ඒ අවුරුද්දේ ඉන්ක්‍රිමන්ට් එකවත් ලැබුණේ නැහැ.
• වැඩවර්ජනය කාලේ ඔබ හුඟක් දුක් විඳින්න ඇති?
අපොයි ඔව්. බිරිඳ රැකියාව කළා. මං කළේ ගෙදරට වෙලා ළමයි හතරදෙනා බලාගෙන හිටපු එක. ඒත් අපිට වැරැදුණේ නැහැ. ළමයි කැලේ පැන්නෙ නැහැ. අපි ඉගැන්වුවෙත් නැහැ. ඒත් ඒ අය හොඳට ඉගෙනගත්තා. තුන්දෙනෙක් කලාවට සම්බන්ධ වුණා. අනිත් කෙනා වෛද්‍යවරයෙක් වුණා. අරපිරිමැස්ම කියන දේ පොඩි කාලේ ඉඳන්ම ඒ අය ඉගෙන ගත්තා. කවුරුත් සල්ලි පස්සේ ගියේ නැහැ. දොස්තර වුණත් කිසිම දවසක ප්‍රයිවට් ප්‍රැක්ටිස් කළේ නැහැ. එයා දැන් එංගලන්තයේ.
• දේශපාලනය කළා කියලා ඔබ මුලදි කිව්වා?
ඔව්. තදින් කළා. ඒ මගේ ආසනයේ හිටපු දේශපාලනඥයා වෙනුවෙන්. ඒ කාලේ මං හොඳ කථිකයෙක්. මං යටතේ කමිටු 40ක් තිබුණා.
• දේශපාලනය කරලා වෙච්ච සෙතක් තියෙනවද?
උපාධිධාරියෙක් විදියට මට ගුරු පත්වීමක්වත් දුන්නේ නෑ. මට ඒකත් දුන්නේ අල්ලපු ආසනයෙන්. ඒ කියන්නේ බුලත්සිංහල අනිල් මුණසිංහගේ ලිස්ට් එකෙන්. මගේ දේශපාලන මිතුරන් කිව්වා හේමසිරිට ගුරු පත්වීමක් දෙන්නෙ නැත්නම් අපිටත් එපා කියලා. ඒ තරම් පූර්වාදර්ශවත් මිනිස්සු එදා හිටියා.
• දේශපාලනය කරපු කාලේ ජීවිතයේ අපතේ ගිය කාලයක් විදියටද දැන් දකින්නේ?
ඔව්. වාමාංශිකයෝ කියන අය, ප්‍රගතිශීලී කියන අය අපිව රැවැට්ටුවා. ඊට වඩා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රගතිශීලියි. ජාතික ප්‍රශ්නය දිහා වුණත් ඔහු බොහොම ගැඹුරින් බලන බවක් පෙනෙනවා.
• ස්ට්‍රයික් කරපු කාලේ ඔබ චිත්‍රපට දෙකතුනක රඟපෑවා මට මතකයි.
මම මුලින් ම රඟපෑවේ ‘දූ දරුවෝ’ කියන චිත්‍රපටයේ. ඒක සුගත් වටගෙදරගේ තිරපිටපතක්. මං රඟපෑවේ ‘ආමි’ මහත්තයා කියලා චරිතයක්. මෙහි නිෂ්පාදකවරයා චිත්‍රපටය, පිටකොටුවේ වෙළෙන්දකුට වික්කා. චිත්‍රපටය අච්චාරුවක් වුණා. පස්සෙ දවසක මං දැක්කා නිෂ්පාදකවරයා අර මුදලාලිගේ කඩේ බංකුවක් තියාගෙන ගණන් හදනවා. මිනිහා චිත්‍රපටය විතරක් නෙමෙයි නිෂ්පාදකවත් සල්ලිවලට අරන්.
• ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින් ම තෝරාගෙන හිටියේ ඔබ බවයි මට මතක?
මේ චරිතය කරන්න මාස තුනක් තිස්සේ මං ලැහැස්ති වුණා. සියලු දේට ධර්මසිරි බණ්ඩාරනායක එකඟවුණා. රුපියල් 15 දාහක් දෙන්නම් කියලත් කිව්වා. රූපගත කිරීම් කරගෙන යනකොට සහාය අධ්‍යක්ෂවරයා මාව පැත්තකට ගෙනැල්ලා කිව්වා ධර්මසිරි කියනවා මේකට හේමසිරි හරියන්නේ නැහැ කියලා. ඉතිං මං කිව්වා එහෙනම් මං තවදුරටත් ඉඳලා වැඩක් නැහැනේ. මං යන්නම් කියලා. පස්සේ ධර්මසිරි ‘බවදුක’ කරනකොට මාව චරිතයකට තෝරා ගත්තා. මට ඩබල් ගෙවන්නම් කිව්වා. ධර්මසිරි වතාවක් ඔක්කොම ඉන්න තැන කිව්වා මට ඕනැ දේ මේ චිත්‍රපටයේ කරන්නේ මිස්ටර් හේමසිරි කියලා.
• ඔබ අද ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙක් විදියට
‘අඹ යාළුවෝ’ තමයි පටන්ගැන්ම. පස්සේ ‘අසල්වැසියෝ’ ටෙලිනාට්‍යයෙන් මං හුඟක් ජනප්‍රිය වුණා. හැබැයි අදටත් රසිකයෝ මගේ නම දන්නේ නැහැ. අහවල් චරිතෙ කරපු නළුවා විදියට තමයි හඳුන්වන්නේ. මං හිතන්නේ ඒක ටෙලිනාට්‍යවල හැටි.
• අද ටෙලිනාට්‍ය පිරිහිලා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ?
ඔව්. ඒක ඇත්ත. හුඟක් නළුවන් කරන්නේ කැමරාව දිහා බලන් දෙබස් කියන එක. ඒක රඟපෑම නෙමෙයිනේ. ටෙලිනාට්‍ය විතරක් නෙමෙයි වේදිකා නාට්‍යත් පිරිහිලා. නාට්‍යය පෙන්වන දිනය වෙන්කරගෙන තමයි පුහුණුවීම් කරන්නේ. නිෂ්පාදක නළුනිළියන් අතර අදහස් හුවමාරුවක් නැහැ. ඔවුනොවුන් අතර සංවාදයක් නැහැ.
• ඇත්තටම රංගනය යන්නෙන් ඔබ අදහස් කරන්නේ මොකක්ද?
ස්ටැනිස්ලවුස්කිගේ රංග ක්‍රමය වුණත් මං පිළිගන්නේ නැහැ. නළුවකු චරිතයකට ආරූඪ වෙන්න අවශ්‍ය නැහැ. නළුවෙක් චරිත සීයක් කළොත් ඒ සීයම එකිනෙකට වෙනස් වෙන්න ඕනැ. සමහර නළුවන් ඉන්නවා, ඒ අය ‘ස්ටාර් ඇක්ටර්ස්ලා’ ශාරුක් ඛාන් වගෙ නළුවෙක් මොන චරිතය රඟපෑවත් මතු වන්නේ ශාරුක්ම තමයි.
• ඔබේ දරුවෝ ඔබට වඩා දක්ෂයි කියලා හැමෝම කියනවා?
ඒක මට සතුටක්. මොකද ඔවුන් මගේ දරුවෝ. මගේ දෙමවුපියන්ගෙන් මට ලැබිච්ච දෙයක් නැහැ. ගුරුවරයෙක් විදියට ජීවිතය පටන්ගත්තා. එහෙම ආපු ගමනක් මේක. අපේ ගෙදර දරුවන්ට කලාව කෙරෙහි යොමුවීමේ පරිසරයක් තිබුණා. සෞම්‍ය දක්ෂ නළුවෙක්. එයා හුඟක් පොතපත කියවනවා. මං වුණත් කියවන්නෙ එයාගේ පොත්. ඉන්ද්‍රචාපා සංගීතඥයෙක් විදියට වෙනත් ම මාර්ගයක යන කෙනෙක්. එයාට චින්තනයක් තියෙනවා. එයාගේ නිර්මාණ චැනල්වල යන්නෙ නැහැ; රිංගිංටෝන්ස්වල නැහැ. එයා සංදර්ශනවල නැහැ. එයා තාම අරමුණ වෙනුවෙන් පෙනී සිටින සංගීතඥයෙක්. එයා මේක දැනගෙන යන ගමනක්.