අසූවේ කම්කරු උද්ඝෝෂණයට එජාප ආණ්ඩුවේ මැර­යන් පැන සෝම­පාල මැරුවේ මෙහෙ­මයි | සිළුමිණ

අසූවේ කම්කරු උද්ඝෝෂණයට එජාප ආණ්ඩුවේ මැර­යන් පැන සෝම­පාල මැරුවේ මෙහෙ­මයි

වමේ සිට - ජුලි වර්ජ­ක­යින්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ විරෝ­ධ­තා­ව­යක්, ඝාතනයට ලක්වූ පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල සහ ඝාත­න­යට ලක්වූ සෝම­පා­ලගේ අව­ම­ඟුල් පෙර­හැර

 

 

ලාංකීය කම්කරු ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් ලෙස 1980 ජුලි වර්ජනය හැදින්විය හැකිය. ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් 40,356ක් ගෙදර යවා ලක්ෂ 3කට අධික දරු පවුල් අනාථවූ මහා වැඩ වර්ජනයක් වූයේ 1980 ජුලි වැඩවර්ජනයයි. අද එයට වසර 41කි.

දිනෙන් දින බඩුමිල ඉහළ යෑම නිසා වැඩකරන ජනතාව ඉහළ යන ජීවන වියදමට ඔරොත්තු දීම සඳහා මසකට රුපියල් 300කින් එනම් දිනකට රුපියල් 10කින් වැටුප් වැඩිකරන ලෙසද වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකට රුපියල් 5 බැගින් දීමනාවක් ගෙවන ලෙසද ඉල්ලා සිටියෝය. රජයේ සේවක නිවාඩු දින ගණන අඩුකිරීමට රජය තීරණය කළද වෘත්තීය සමිතිවල විරෝධතා හේතුවෙන් එම තීරණය හකුළා ගැනීමට සිදු විය. එජාප ආණ්ඩුව හයෙන් පහක බලය උපයෝගිකර ගනිමින් විපක්ෂයේ දේශාපාලන පක්ෂ සහ වෘත්තීය සමිති මර්දනය කරමින් පාලනය ගෙන ගියහ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති 16කින් සමන්විත වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව සෑම ක්ෂේත්‍රයකම නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් 1,024ගේ සහභාගිත්වයෙන් 1980 මාර්තු 8 සහ 9 දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජාතික සමුළුවක් පවත්වන ලදී. එහිදී තීරණය වූයේ රුපියල් 300කින් මාසික වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා 1980 ජුනි 5 වැනිදා කෑම පැයේදී ජාතික විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය යුතු බවය. මෙහිදී එජාප ආණ්ඩුවට අනුබද්ධිත ජාතික සේවක සංගමය සහ රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයට අනුබද්ධ එජාප වෘත්තීය සමිති සිදුකළේ 1980 ජුනි 5 වැනිදා රජයට පක්ෂපාතිත්වය දක්වමින් රාජ්‍ය සහයෝගිතා දිනයක් ප්‍රකාශයට පත්කිරීමය.

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයෝ ලක්ෂ 4කට ආසන්න පිරිසක් 1980 ජුනි 5 වැනිදා තම ඉල්ලීම් ලබාගැනීම සඳහා ආයතන ඉදිරිපිට පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, රැස්වීම් පැවැත්වූ අතර ඒවාට පුළුල් සහභාගිත්වයක් සහිතව සටන්කාමි ස්වරූපයක් ගනු ලැබීය. එජාප ආණ්ඩුවට හිතවාදී වෘත්තීය සමිති එදිනම එම මොහොතේදීම රජයට සහයෝගිතාවය දක්වමින් පිකටින් සහ උද්ඝෝෂණ පවත්වනු දක්නට ලැබිණි.

කොළඹ චිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තීය සමිති සාමාජිකයින්ට මහජන බැංකුව සහ ලේක්හවුස් ආයතනය දෙසින් පැමිණි කණ්ඩායම් දෙකක් ගල්මුල්වලින් පහරදී බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයෙකු වන එහි පොදු සේවක වෘත්තීය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසියේ සහකාර පොලිස් අධිකාරි එන්.අයි. රත්නායක විසින් පොලිස්පති ආනා සෙනෙවිරත්න වෙත ඉදිරිපත් කර තිබූ වාර්තාවේ මෙසේද සඳහන් විය. "ජුනි 5 වැනිදා 12.45 පැයට රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට 100කට අධික පිරිසක් උද්ඝෝෂණය කරමින් සිටියා. එහිදී කොම්පඤ්ඤ වීදිය දෙසින් පැමිණි 31ශ්‍රී 1111 දරන ජිප්රියේ සිටි කණ්ඩායම ගල් සහ මුගුරු ගෙන පිකටින් කණ්ඩායමට පහර දුන්නා. පසුව පිපිරීම් හඬක් ඇසුණා. තුවාල ලබා සිටි 6 දෙනෙකු රෝහලට ඇතුළත් කළා. ජිප්රිය ස්ථානයෙන් ඉවත්ව ලේක්හවුස්හි ඉදිරිපිටින් යළි ගමන් ගත් අතර එහි ඉදිරිපස අසුනේ අගලවත්ත එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් වාඩිවී සිටිනු දක්නට ලැබුණා. මෙම සිද්ධියේදී එක් පුද්ගලයෙක් මිය ගියා."

මුල්ඔය වර්ජනයේදී 1940 ජනවාරි 10වැනිදා මියගිය ගෝවින්දන්ට පසු 1953 හර්තාලයේ මියගිය සඟයන්ද ඇතුළත්ව 12 වැනියා ලෙස මියගියේ සෝමපාලය. නාරාහේන්පිට පදිංචි දෙදරු පියකු වූ සෝමපාල මිය‍ගියේ හෘදයවස්තුව සහ පෙනහල්ල තැළීමද ඉළඇට කැඩීබිදී යාම නිසා බව අධිකරණ වෛද්‍ය නිලධාරිනි බී.එම්. කාරියවසම් සහ මහාචාර්ය එච්.ජේ. ප්‍රනාන්දු සඳහන් සිය අධිකරණ වෛද්‍ය පරික්ෂණ වාර්තාවේ සඳහන් කළෝය. සෝමපාලගේ පවුලේ අය වෙනුවෙන් බාල තම්පෝ, මංගල මුණසිංහ සහ පීටර් ජයසේකර යන අයගේ ඉල්ලීම පරිදි මරණය ගැන මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට හදිසි මරණ පරික්ෂකවරයා තීරණය කළේ සහකාර පොලිස් අධිකාරි සි. පී. ජයසූරියගේ විරෝධයද නොතකමිනි.

සෝමපාලගේ නිවසට ගිය විට දක්නට ලැබුණේ නිවස ඉතා කුඩා වූ බැවින් මෘත දේහය අසල නිවසක තැම්පත් කර තිබූ බවය. සෝමපාලගේ දේහය අවසන් ගෞරවය සඳහා පසුව කොටුවේ පොදු සේවක වෘත්තීය සංගම් මූලස්ථානයේ තබන ලදී. ඔහුගේ අවමගුල සංවිධානය කළේ වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව මගිනි. සාමාන්‍ය කම්කරුවෙකු වූ ඔහුට ගෞරව කිරීමට වරුවක නිවාඩු දමා සේවකයෝ දස දහස් ගණනින් පැමිණ සිටියහ. බොරැල්ල කනත්තේ පැවති අවමඟුලට 50,000කට අධික පිරිසක් එක්වූ අතර මඟ දෙපස ලක්ෂයකට ආසන්න පිරිසක් රැස්වී සිටියහ.

සෝමපාලගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් විභාගය කොටුව ‍ඒකාබද්ධ මහේස්ත්‍රාත් සරත් ගුණතිලක ඉදිරියේ 1980 ජුනි මස 8 සිට අගෝස්තු 28 දක්වා කාලය තුළ පැවති අතර එහිදි ලබා දුන් විවෘත තීන්දුවේ සඳහන් වූයේ නීති විරෝධී පෙළපාළියකින් පැමිණි ප්‍රතිවාදී කණ්ඩායම කළ ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් සෝමපාලගේ මරණය සිදුවී ඇති අතර ඔහුට තදබල ලෙස පහරදී ඇති බව පැහැදිලි බවය.

ඔහු‍ගේ අවමගුල් දිනයේ සහ ඇතිවූ සිද්ධීන් හේතුකොට ගෙන රත්මලාන දුම්රිය වැඩපොළේ සේවකයින් 12 දෙනෙකුගේ වැඩ 1980 ජුනි 12 වැනිදා තහනම් කරන ලදී. ඔවුන් සේවයට බඳවා ගන්නා මෙන් ඉල්ලමින් රත්මලාන දුම්රිය සේවකයෝ 1980 ජුලි 7වැනිදා වැඩ වර්ජනයක් ඇරඹූහ. ඔවුනට සහාය පළ කරමින් මරදාන දුම්රිය වැඩපොළේ අංක 18, 19, 26, 36 සහ 38 කම්හල්වල සේවකයෝ 1980 ජුලි 8 වැනිදා උදෑසන එම වර්ජනයට එක්වූහ. සේවකයන් 8,000කට ආසන්න මෙම වර්ජනයෙන් ජුලි 9වැනිදා වන විට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.

වෘත්තිය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව 1980 ජුලි 11 වැනිදා රැස්වී රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 300ක ක්ෂණික වැටුප් වැඩිවීමක්ද, වැඩිවන සෑම ජීවන වියදම් දර්ශකයකටම රුපියල් 5ක දීමනාවක් ලබාදෙන ලෙසද වැඩ තහනම් කළ සේවකයින්ට කොන්දේසි විරහිතව යළි රැකියා ලබාදෙන ලෙසද ආණ්ඩුවට දැනුම් දුන්නේය. එයට 1980 ජුලි 14 වැනිදාට ප්‍රථම ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මහා වැඩ වර්ජනයක් ආරම්භ කළ බවද ආණ්ඩුවට වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව අවධාරණය කළේය. මේ වන විට දිවයින පුරා දුම්රිය ස්ථාන සහ දුම්රිය වැඩපොළවල සේවකයෝ 24,810ක් වර්ජනයට එක්වී සිටියහ.

එජාප ආණ්ඩුව නිවේදනයක් කරමින් වර්ජනය කළහොත් වර්ජකයන් සේවය අතහැර ගියා සේ සලකන බව නිවේදනය කළේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් 1980 ජුලි 15වැනිදා රැස්වූ ඇමති මණ්ඩලය 1980 ජුලි 16 දහවල් 12 සිට රටපුරා හදිසි නීතිය පනවන ලදී. ඒ අනුව දුම්රිය, ලංගම, තැපැල් සේවය, වරාය, අධ්‍යාපනය, රෝහල්, තෙල් බෙදා හැරීම අතවශ්‍ය සේවා බවට පත්කළ අතර හදිසි නීති රෙගුලාසි යටතේ වැඩ වර්ජන නීති විරෝධී කරනු ලැබීය. රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සරත් අමුණුගම ප්‍රවෘත්ති බලධාරියා ලෙස පත්කළ අතර 1980 ජුලි 18වැනිදා සිට ප්‍රවෘත්ති පාලනයක්ද ක්‍රියාත්මක කරන ලදී. විපක්ෂයේ පුවත්පත් වූ ඇත්ත, සිරිලක, ජනදින මේ අනුව මුළුමනින්ම වාගේ වාරණයට ලක්වූ අතර ආණ්ඩුවේ මාධ්‍යයන් මගින් ඔවුනට හිතකර ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කරන ලදී. පාර්ලිමේන්තු විවාද වලදී වර්ජනය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කරනු ලබන ප්‍රකාශද පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති පාලන කමිටුවට යොමුකළ යුතු විය.

ආණ්ඩුවේ නිවේදනයන් නොසලකා සෞඛ්‍ය සේවකයෝ ජුලි 15වැනිදාද රජයේ කාර්යාල සේවකයෝ, පළාත් පාලන සහ රජයේ ලිපිකරුවෝ ජුලි 17වැනිදාද ගුරුවරු ජුලි 20වැනිදාද 80 ජුලි මහා වැඩ වර්ජනයට එක්වූහ. ජවිපෙ නිල වශයෙන් වර්ජනයට සහභාගි නොවූවද විවෘතව වැඩකර අනාවරණය වූ පිරිස් වලට වර්ජනයට එක්වන ලෙසට දැනුම්දී තිබිණි. ජවිපෙ සමඟ සමාන්තරව සිටි රෝහණ විජේවීරගේ මස්සිනාවූ එච්.එන්. ප්‍රනාන්දු ප්‍රධාන ලේකම්ධූරය දැරූ ලංකා ගුරු සංගමය වර්ජනයට එක්වීමෙන් පසුව දෙකඩ විය. සමඟි පෙරමුණ ආණ්ඩුව යටතේ ඇතිවූ බැංකු සටනේදී මෙන් මෙම ජුලි වැඩ වර්ජනයේදීද බාල තම්පෝගේ නායකත්වයෙන් යුත් වෙළෙඳ සේවක සංගමයද සහභාගි නොවීය. ලක්ෂයකට ආසන්න පිරිසක් වර්ජනයට එක්වී සිටි බැවින් ආණ්ඩුවේ පරිපාලන කටයුතු සහ එදිනෙදා සේවාවන්ද අඩපණ විය.

එජාප ආණ්ඩුව වර්ජනයට එරෙහිව 1980 ජුලි 19වැනිදා රත්මලාන මැලිබන් හන්දියේදී සහ ජුලි 21 මරදාන ටවර් රඟහල ඉදිරිපිටදීද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්විණි. "රටේ දැන් පවත්නා නීතියෙන් ගැහැනියෙකු මිනිසෙකු කිරීම හැර වෙන ‍ඕනෑම දෙයක් කිරීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාට බලය ඇතැයි" එජාප නායකයා කියා සිටියේ මරදානේ පැවති එම රැස්වීමකදීය.

ආණ්ඩුව මගින් වර්ජකයින්ට ජුලි මාසය සඳහා වැටුප් ගෙවීම අත්හිටුවන ලදී. රජයේ ආයතන සහ ගොඩනැගිලි තුළ පිහිටුවා තිබූ සියලු වෘත්තීය සමිති කාර්යාල වසා තබා ඒවාට සීල් තබන ලදී. ජුලි මස 23වැනිදාට ප්‍රථම සේවයට වාර්තා කිරීමේ කොන්දේසි සහිතව අවසාන අවස්ථාවක්ද ලබාදෙන ලදී. බොහෝ දෙනෙකු සර්පයින් දෂ්ට කිරීම, කම්මුල්ගාය, සරම්ප වැනි රෝග වැලඳීම නිසා සේවයට පැමිණීමට නොහැකිවූ බවට අභියාචනා එක්කර යළි සේවයට එක්විය.

අගමැති රණසිංහ ප්‍රේමදාස 1980 ජුලි 24වැනිදා කියා සිටියේ එදිනට පසු වර්ජකයින් 40,356ක් සේවයට වාර්තා නොකළ බැවින් සේවය අතහැර ගියා සේ රජය කල නිවේදනය ක්‍රියාත්මක කරන බවය. ආණ්ඩුවේ එජාප මන්ත්‍රීවරුන් මගින් එක් ආසනයකට රැකියා ඉල්ලුම්පත් 100 බැගින් ලබාගෙන රැකියා නැති අයගේ විස්තර ලබාගෙන ඔවුන් වර්ජිත සේවකයන් 40,356 වෙනුවට බදවා ගන්නා ලදී. එමෙන්ම 1980 ජුලි 22වැනිදා වන විට එසේ රැකියා බැංකුවේ ලියාපදිංචි වී සිටියදී රජයේ සහ සංස්ථාවලට බඳවාගත් සේවක සංඛ්‍යාව 8,421කි. වර්ජිතයින්ගෙන් පුරප්පාඩුවූ සෙසු තනතුරු සඳහාද සියලු දෙනා එජාප මන්ත්‍රීවරුන්ගේ ඉල්ලුම්පත් අනුව අගෝස්තු මස වන විට බඳවාගෙන නිමකර තිබිණි.

මර්දන නීති නොතකා වර්ජකයන්ට යළි රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් 1980 අ‍ගෝස්තු 8 උදෑසන කොටුව දුම්රිය ස්ථානය අසලදී 10,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මහා සත්‍යග්‍රහයක් පැවැත්වූ අතර පෙළපාළියකින් ජනාධිපති මන්දිරයට ගමන් කරන්නට විය. මහ තැපැල්හල අසලදී බැටන් පහරදී එය විසුරුවා හරින ලදී. මෙහිදී වෘත්තීය සමිති නායකයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන දින 102ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. එයට අදාළ නඩුවක් 1980 අ‍ගෝස්තු 16වැනිදා අධිකරණයේදී ගොනු කළේය. ජුලි මහා වැඩ වර්ජනය 1980 අගෝස්තු 15වැනිදා වන විට මුළුමනින් මර්දනය කිරීමට එජාප ආණ්ඩුව සමත්වීම නිසා අගොස්තු 15වැනිදා සිට හදිසි නීතිය සහ ප්‍රවෘත්ති පාලනය ඉවත් කරන ලදී.

ජුලි වැඩ වර්ජනයෙන් 40,356කගේ රැකියා අහිමිවූ අතර ඔවුන්ගේ යැපෙන්නන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් අන්ත අසරණ තත්ත්වයට පත්විය. වර්ජිත සේවකයින් 139දෙනෙකු සිය දරු පවුල නඩත්තු කර ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගත්හ. දහස් සංඛ්‍යාතික සේවකයින්ගේ පවුල් කඩාකප්පල් විය. ඇතැම්හු මානසික රෝගීන් බවට පත්වූහ. දරුවන් අනාථ භාවයට පත්විය. උන්හිටි තැන් නැතිව අසරණභාවයට පත්වී යාචකයන් බවට පත්වූ ජුලි වර්ජකයින් සිය ගණනක් සිටි අතර ඉන් එක් අයෙකු බොරැල්ල උමං මාර්ග ප්‍රවේශය අසලදී සිඟමන් යදින අයුරු 2013 වසරේදී ජාතික පුවත්පතක විස්තර සමඟින් මුල් පිටුවේ ඡායාරූපයක්ද පළ විය. ඥාතීන්ගේ උදව්, උත්සාහය සහ ‍ධෛර්ය නිසා පොහොසත් වූ උදවියද අතළොස්සක් විය. බොහෝ දෙනා ජීවත්වීම සඳහා වෙන කළ හැකි දෙයක් නොවූවෙන් පදික වෙළෙඳුන්, රියදුරන්, කොන්දොස්තරවරුන් වැනි අවිධිමත් සේවා වෘත්තීන්හි නිරත වීමට සිදුවිය.

ජවිපෙ 2වැනි කැරලි සමයේදී අඟලවත්ත හිටපු එජාප මන්ත්‍රී සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ එවකට නිතිඥ සභාපති මෙරිල් කාරියවසම්(52) සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ 1989 සැප්තැම්බර් 5වැනිදා දහවල් 12.15ට කැරලිකරුවන් විසින් වෙඩිතබා ඝාතනය කර තිබිණි.

 

Comments