
අසේල කුරුළුවංශ
සිත්පිත් නොමැති කොවිඩ් මාරයා ජීවිත බිලිගනිමින් සිටින්නේ බොහෝ දෙනෙකුට මව, පියා, දරුවන් අහිමි කරමිනි. මහා විනාශයක් කිරීම සඳහා කොවිඩ් මාරයාට මඟ පාදන්නට අප අතින් සිදුවන සුළු අතපසු වීමක් වුවද ප්රමාණවත්ය. එහි ආසන්නතම සිදුවීම අපට වාර්තා වන්නේ මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයෙනි. එකම පවුලේ මව, පියා හා පුතා කොවිඩ් මාරයා විසින් ඩැහැගෙන ගොස් තිබුණේ දින 20 ක කාල පරාසයක් තුළදීය.
තිස් නව හැවිරිදි දෙදරු පියෙකු වූ ධම්මික රාජපක්ෂත් ඔහුගේ දෙමව්පියන් වූ සිරිපාල හා චන්ද්‍රා රාජපක්ෂ යුවළත් මෙලෙස කොවිඩ් මාරයාට ගොදුරු වී තිබුණු අතර එම පුවත ලැව් ගින්නක් සේ රට පුරා පැතිර ගියේ කොවිඩ් වයිරසය පිළිබඳ බිය හා චකිතයක් කාගේත් සිත්වල තුළ තවත් වර්ධනය කරවමිනි.
හිත හොඳ මිනිසෙකු ලෙස කාඅතරත් ජනප්‍රිය සිරිපාල වෘත්තිය මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙකු වූ අතර ඔහු දරු පවුල නඩත්තු කළේ ඉන් ලැබෙන මුදලිනි. දශක හතරක පමණ කාලයක් ඔහු ගරාජය පවත්වා ගෙන ගියේ පේරාදෙණිය අඟුණාවල ආරුක්කු පාලම අසල බද්දට ගත් ඉඩමකය. විශ්වවිද්‍යාල ආචාර්ය, මහචාර්යවරු බොහොමයක් ඔහුගේ හිතවතුන්ය.ඒ වාහන අලුත් වැඩියා කර ගැනීමට පැමිණීමෙන් පසු ඇතිවූ සබඳතාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය දිනේෂ් ප්‍රනාන්දු ඒ අතරින් කෙනෙකි. ඔහු වසර 23 ක් තිස්සේ තම වාහන අලුත්වැඩියා කරගනු ලබන්නේ සිරිසේනගේ ගරාජයෙනි.
‘‘සිරී ඉතාම දක්ෂ, අවංක බාස් කෙනෙක්. එයා ළඟට පොඩි වැඩකට හරි කවුරු හරි වාහනයක් අරන් ගියොත් එදායින් පස්සේ එයා එන්නේ සිරී ළඟටමයි. පරණ මැනුවල් වාහන හදන්න එයා හරිම දක්ෂයා. වාහනේ සද්දේ අහලා ලෙඩේ කියන්න පුළුවන් හැකියාවක් එයාට තිබුණා. එයාගේ පුතා කාර්මික විද්‍යාලයකින් අධ්‍යාපනය ලබාගෙන පසුව සිරිත් එක්ක ගරාජයේ වැඩ කළා. එයත් හරි දක්ෂයෙක්. දවසක් මගේ වාහනේ අතර මඟ කැඩුණා. මම සිරිගෙ පුතාට කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. එයා වාහනේ නැවතුණු විදිහ ගැන අහලා ෆෝන් එකෙන්ම ඒක හදාගන්න කරන්න ඕන දේ මට කිව්වා. මහචාර්ය දිනේෂ් එසේ පවසන්නේ සිරිසේන ගේ හා ධම්මිකගේ හැකියාවන් අගය කරමිනි..
ගරාජය අසල දෛනිකව විශාල පිරිසක් ගැවසෙන නිසා ඇතැම් පිරිස් සුනඛ පැටවුන් එහි දමා යන බවත් තමන් තේ පානය කිරීමට අසල කඩයට යන වාරයක් පාසා සිරිසේන මෙම සතුන්ට බිස්කට් බනිස් ගෙනවිත් දෙන්නට අමතක නොකරන බවත් තමන් ගරාජයට ගිය සෑම අවස්ථාවකම දැක තිබෙන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පැවසුවේය. මේ ආකාරයෙන් හිත හොඳ මිනිසෙකු වූ සිරිපාල රාජපක්ෂ (71) ජූනි 02 දින මහනුවර ජාතික රෝහලේදී ජීවිතයට සමුදුන්නේය. ඊට දින 12 කට පසු හැට අට හැවිරිදි ඔහුගේ බිරිඳ චන්ද්‍රා මරුතුරුලට ගියේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. පියා අසනීප වූ අවස්ථාවේ ළගම රැඳී සිට ඔහුට උපකාර කළ ධම්මික කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයෙන් මෙළොව හැරගියේ පොසොන් පුන් පොහෝ දිනට පෙර දිනය. ධම්මිකගේ මරණයත් සමඟ අවුරුදු නවයක දියණියක සහ අවුරුදු පහක පුතෙකු සමඟ මෙළොව තනි වීමට ඔහුගේ බිරිඳට සිදුවිය.
ධම්මිකගේ එකම සහෝදරිය සුජීවා විවාහ වී පදිංචිව සිටින්නේ පේරාදෙණියේය. දෙමව්පියන් හා එකම සහෝදරයා අහිමි වීමේ වේදනාව දරාගත නොහැකිව සිටින සුජීවා මෙම මරණ තුන සිදුවූ කාල සීමාව ගෙවුණු ආකාරය මෙසේ විස්තර කළාය.
‘‘තාත්තා පේරාදෙණිය විශ්ව විද්‍යාලය ආසන්නයේ මීවතුර අඟුනාවල ආරුක්කු පාලම ළඟ අවුරුදු 40 ක් විතර තිස්සේ ගරාජ් එකක් කරගෙන ගියා. මල්ලිත් මෝටර් මැකැනික් කෝස් එකක් කරලා තාත්තා එක්ක වැඩ කළා. තාත්තට කාලෙක ඉඳන් දියවැඩියා රෝගය තිබුණා. මැයි මාසේ තිස් වෙනිදා තාත්තා කෑම කන්න අප්පිරියයි කිව්වා.එයා වැඩිය කෑම කන්න උනන්දුවක් නැති නිසා අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. පහුවදා තාත්තා කොන්ද ටිකක් රිදෙන බව කිව්ව නිසා මහනුවර ජාතික රෝහලට එක්කන් ගියා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කළාම තාත්තට කොවිඩ් කියලා දොස්තර මහත්වරු කිව්වා. පහුවදා තාත්තා නැති වුණා. මහ ගෙදර පදිංචි වෙලා හිටියේ තාත්තා,අම්මා,මල්ලී සමඟ එයාගේ බිරිඳ හා දරුවන් දෙදෙනායි. තාත්තාගේ මරණෙන් පස්සේ ගෙදර හැමෝවම පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරයි කියලා හිතුවත් ඒක සිදුවුණේ නැහැ. පෞද්ගලික රෝහලකින් තමයි පී.සී.ආර් කළේ. අම්මට, මල්ලිට. එයාගේ නෝනට හා දරුවන් දෙන්නට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව එහිදී අනාවරණය වුණා. ඒ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දුන්නට පස්සේ සුවසැරිය ගිලන් රථයකින් කට්ටිය අරන් ගියා. අම්මවයි,මල්ලිවයි පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා. නංගී සහ දරුවන් දෙන්නා පැණිදෙණිය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළා. අම්මා ජූනි 14 වැනිදා මියගියා. මල්ලී නැති වුණේ පොසොන් පෝය දිනට කලින් දවසෙයි.‘‘
සිරිපාල කොවිඩ් ආසාදිතව මරණයට පත්වීමෙන් පසු ඔහුගේ ළඟම ආශ්‍රිතයින් වූ නිවැසියන් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය නොකරීමත් ඔවුන් පොද්ගලික රෝහලකින් අදාළ පරීක්ෂණ සිදුකර ගැනීමත් ගැටලුවකි. මේ සම්බන්ධව විමසූ අවස්ථාවේ මුරුතලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කපිල වික්‍රමනායක පැවසුවේ මෙවන් අදහසකි.
‘‘ජූනි මාසේ මුල් භාගය වනවිට කොවිඩ් තුන්වන රැල්ල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබුණා.දෛනිකව කොවිඩ් පරීක්ෂාව සඳහා ලැබෙන පී.සී.ආර් සාම්පල ප්‍රමාණය ඉහළ යාම නිසා ඒවාහි වාර්තා නිකුත් වීම දින ගණන් ප්‍රමාද වුණා. සිරිපාලගේ මරණයෙන් පසු අදාළ පවුලේ සමාජිකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට පේරාදෙණිය රෝහල වෙත ඔවුන් යොමු කළත් එදින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනයක් ක්‍රියාත්මක වූ නිසා අදාළ පරීක්ෂණ සිදුකර ගැනීමේ හැකියාවක් ලැබී තිබුණේ නැහැ. මේ නිසා පවුලේ අය පෞද්ගලික රෝහලකින් මේ පරීක්ෂණය කරගන්න අවසර ඉල්ලුවා. මොකද නිර්දේශයක් නොමැතිව තමන්ගේ අවශ්‍යතාව මත පී.සී.ආර් පරීක්ෂණ පෞද්ගලික රෝහල් වලින් කරගන්න බැහැ. මම ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දුන්නා. ඒ අනුව තමයි ඔවුන් කොවිඩ් පොසිටිව් බව තහවුරු වීමෙන් පසු රෝහල් ගත කිරීමට පියවර ගත්තේ.
එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්වීමට සෞඛ්‍ය අංශ වල නොසැලකිල්ල හේතුවූ බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා මෙසේ පැවසුවේය.
‘‘මේ මරණ සිදුවෙලා තියෙන්නේ දින 20 ක වගේ කාල පරාසයක් තුළයි. මියගිය පියා දියවැඩියා රෝගයෙට ප්‍රතිකාර ගත්ත කෙනෙක්. මව කලකට පෙර හෘද සැත්කමකට ලක්වූ අයෙක්. ඇයට වකුගඩු රෝගී තත්ත්වයකුත් තිබූ බව කියනවා. පුතාට අසනීප තත්ත්වයත් තිබී නැහැ. රෝග නිශ්චයේදී, ප්‍රතිකාර වලට යොමු කිරීමේදී හා ප්‍රතිකාර ලබා දීමේදී කිසියම් හෝ අතපසු වීමක් නොසලකා හැරීමක් සිදු වුණාද කියන එක හොයන්න අපි විශේෂඥ වෛද්‍යවරයෙකු ඇතුළු කණ්ඩායමක් යොදවා කරුණු රැස්කර වාර්තාවක් සකස් කරනවා.‘‘
මේ අයගේ මරණ කොවිඩ් මාරයාගේ බිහිසුණු බව අපට පසක් කරන්නේය. එමෙන්ම කොවිඩ් මාරයා පරාජය කරන්නට නම් අප එහි සැබෑ ස්වරූපය තේරුම් ගත යුතුය. එසේ නොවුණහොත් තම ආදරණීයන් අහිමි වීමේ වේදනාවේ අමිහිර තවත් බොහෝ දෙනෙකුට විඳින්නට සිදුවනු ඇත.