
මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වෛද්‍යවරුන් විසින් අදහස් පළ කරනු ලබන්නේ මහජනතාව ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමක් වන බැවිනි. හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ වර්තමාන නාගරික සහ වතු සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ විද්‍යාත්මක කරුණු පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන වෛද්‍ය ජී.ජී. චමල් සංජීව විසින් නව කොරෝනා වයිරසයෙන් ඇති විය හැකි බිහිසුණු තත්ත්වය සම්බන්ධයෙන් කළ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ එබැවිනි.
කොරෝනා වයිරසයේ බලපෑම ආරම්භ වූ අවස්ථාවේ සිට ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මාධ්‍ය ආයතන සමඟ කටයුතු කරමින් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නවතම දැනුම්දීම් සිදු කළ වෛද්‍ය චමල් සංජීව, මීට පෙර පළමු සහ දෙවැනි රැල්ලේ අවදානම් සාධක පිළිබඳව ද විද්‍යාත්මක පුරෝකතන ලබා දුන්නෙකි. එවැනි වෛද්‍යවරයකු මාධ්‍යයට කරුණු දැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කිරීම, බොහෝ දෙනකුගේ විමතියට හේතු විය. ඒ පිළිබඳව ප්‍රථමයෙන්ම වෛද්‍ය චමල් සංජීවගෙන් විමසුවේ එබැවිනි.
“මට මේ චෝදනාව එල්ල වෙලා තියෙන්නේ සිරස රූපවාහිනියේ සහ යූ ටියුබ් නාළිකාවක පවත්වපු සාකච්ඡා 2ක් මුල් කරගෙන. නිසි ක්‍රමවේදයන්ගෙන් තොරව වසර ගණනාවක් රෝගය සමඟ ජීවත් වීමට සිදු වුවොත් ලක්ෂයකට ආසන්න පිරිසක් මිය යා හැකි බව මම විද්‍යානුකූල ආකාරයට පැහැදිලි කරමින් ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා භාවිත කළ හැකි මිශ්‍ර ක්‍රමවේදයක් (Mixed base approach) හරහා නිවැරදිව ජනතාවට කරුණු පැහැදිලි කරනවා නම් ජනතාවගේ සහයෝගය ලබා ගැනීම මීට වඩා පහසු වන බව සඳහන් කළා. මිනිසුන් අතර ඇති වන ත්‍රස්තවාදි යුද්ධයක් හා ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියකු සමඟ ඇති වන වයිරස යුද්ධය අතර වෙනසක් තිබෙනවා.
ත්‍රස්තවාදීන් කියන්නේ ඇසට පෙනෙන මිනිසුස්. ඒත් වයිරසයක් දිනපතාම ලක්ෂ ගණනින් වැඩිවෙමිනුයි ව්‍යාප්ත වෙන්නේ.
ඒ නිසා ඇසට නොපෙනෙන වයිරසය සමඟ යුද්ධ කරන විට විචක්ෂණ ලෙස විද්‍යාත්මක ආකාරයට කටයුතු කළ යුතු බව මම පැහැදිලි කළා. කොරෝනා වයිරසයෙන් පළමු වටයේ දරුණු ප්‍රහාරයන්ට ලක්වුණු රටවල් දෙවෙනි වටය සහ තෙවැනි වටය සාර්ථක ලෙස පාලනය කළේ වයිරසයේ හැසිරීම් සම්බන්ධයෙන් විද්‍යානුකූල අධ්‍යයන සඳහා වෛද්‍ය විද්‍යා අංශවලට නිසි බලයක් සහ අවසරයක් ඒ රටවල්වල රාජ්‍යයන්ගෙන් ලැබුණු නිසා. ඊට හොඳම උදාහරණය සිංගප්පූරුව. ඔවුන් පළවැනි අවස්ථාවේදී වෙනත් වයිරසයක් රටට ඇතුළු වූ අවස්ථාවේදී සිංගප්පූරුව මුහුණ දුන් ආකාරය සහ අත්දැකීම් භාවිත කරමින් සැලසුම් සකස් කළා. එය In - Between Learning ලෙස හඳුන්වනවා. දෙවැන්න නම් පවතින තත්ත්වයට නව අත්හදා බැලීම්වලින් යුක්තව මුහුණ දීම. එය Trial-And-Error learning ලෙස හඳුන්වනවා. තෙවැන්න වෙන්නේ එළැඹිය හැකි කටයුතු සඳහා උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම.
එය අපි හඳුන්වන්නේ Contingency learning කියලා. මහජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට පියවර ගැනීම, නීතිරීති කඩ කරන පුද්ගලයන්ට ඉතා දැඩි දඬුවම් දීම හා අධික ප්‍රමාණයේ දඩ මුදල් අය කිරීම ඒ සඳහා යොදා ගන්න පුළුවන්. එවැනි නිසි කළමනාකරණ ක්‍රමයක් ඉක්මනට නොගත්තොත් සිදු විය හැකි අනතුර සම්බන්ධයෙන් තමයි මම රූපවාහිනී වැඩසටහන්වල කරුණු ප්‍රකාශ කළේ.“ යනුවෙන් වෛද්‍ය චමල් සංජීව දීර්ඝ වශයෙන් විස්තර කළේය.
කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවා දිගින් දිගටම ප්‍රකාශ කළේ සත්‍ය තොරතුරු ජනතාවට නොසඟවා ප්‍රකාශ කළ යුතු බවය. එවැනි පසුබිමක කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් බේරී සිටීමට වෛද්‍යවරයකු උපදෙස් දීම විනය පරීක්ෂණයක් දක්වා දුරදිග ගියේ ඇයි?
“සෞඛ්‍ය අමාත්‍යාංශය කල්ලි හදාගෙන ඉන්නේ. වසංගත පාලනය පිළිබඳව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමටත් ගැටලු විසඳා ගැනීමටත් තාක්ෂණික තීරණවලදි මැදිහත් වීමටත් බොහෝ පාර්ශ්වයන්ට ඇති ඉඩකඩ අහුරා තෝරාගත් කීපදෙනකු සමඟ පමණක් තීරණ ගැනීමේ තත්ත්වයක් අද උදා වී තියෙනවා. ඒ අය පමණක් මාධ්‍යයට කතා කිරීමත් විද්‍යාත්මක ආකාරයට කතා කරන සෙසු නිලධාරින්ට මුඛ වාඩම් දැමීමත් හොඳ දෙයක් නොවෙයි. තාක්ෂණික කමිටුව ගත් ඇතැම් වැරදි තීරණ නිවැරදි කර ගැනීමට හැකි වුණේ විෂය ප්‍රාමාණිකයන් මාධ්‍ය හමුවේ කරුණු හෙළිදරව් කළ නිසයි. එවැනි අවස්ථා නිදසුන් සහිතව අපිට පෙන්වන්න පුළුවන්. අද වන විට අපේ රටේ ශල්‍යකර්ම පස්සට ගිහින් තිබෙනවා. මෘතදේහ ලබා ගැනීමේ ලොකු ප්‍රමාදයක් තියෙනවා. ඒවා ගැන කතා කරන්නේ කවුද? අද සෞඛ්‍ය අමාත්‍යාංශය දඬුවම් කරන්න හදන්නේ වැරදි තීරණ ගත්ත කෙනාට නොවෙයි. වැරදි පෙන්වලා දෙන කෙනාට.“ යනුවෙන් පැවසුවේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් ය.
වසංගතය පාලනය කිරීම උදෙසා පත් කර ඇති ජනාධිපති කාර්යය සාධක බළකායේ ඇතැම් නිලධාරීන් තීරණ ගනු ලබන අවස්ථාවලදී නිහඬව හිඳ, පිටතට පැමිණ මාධ්‍ය ඉදිරියේ විවේචන එල්ල කරන අයුරු ඕනෑ තරම් දැක ගත හැකිය.
“පවතින පරිපාලන රීති සහ විධිවිධාන අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ සංගමයේ විරෝධතාවක් නැහැ. ඒත් වෛද්‍ය චමල් සංජීව වැනි දීර්ඝකාලයක පටන් මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටින වෛද්‍යවරයකුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගැනීමෙන් පෙනෙන්නේ සෞඛ්‍ය සේවයේ තම මතයට අවනත නොවන සියලු වෘත්තිකයන් මර්දනයට සහ පාලනයට උත්සාහ දරන ආකාරයයි. ඇතැම් වෘත්තීය සංගම්වල අතකොලු වෙමින් මර්දනය සඳහා මෙවැනි පියවර ගැනීමට කටයුතු නොකරන ලෙස මම අපේ සංගමය වෙනුවෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.“ යනුවෙන් සඳහන් කළේ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ ය.
කොවිඩ් 19 වයිරසය පළමු වටය පාලනය කිරීමට අසමත් වූ මැලේසියාව, ජපානය, ඊශ්‍රායලය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව දියුණු රටවල් තම සෞඛ්‍ය සේවාව වෙත විශ්වාසය තබා සෞඛ්‍ය අංශ ලබාදෙන නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක, පර්යේෂණාත්මක කරුණු මෙන් ම ප්‍රජා සෞඛ්‍ය විද්‍යාත්මක හා වයිරස විද්‍යාත්මක කරුණුවලට අවස්ථාව ලබා දීම නිසා මේ වන විට සාර්ථක ලෙස කොවිඩ් 19 රෝගී තත්ත්වය පාලනය කිරීමට සමත් වී ඇති බව වෛද්‍ය චමල් සංජීව පැවසීය. විදේශයන්හි තත්ත්වය එබඳු වුව ද මෙරට නිවැරදි තොරතුරු සැපයීම නිසා ඔහුව හිංසනයට පත් කිරීම සම්බන්ධයෙන් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය හා අන්තර්ජාතික කම්කරු සංවිධානය දැනුවත් කිරීමට මේ වන විට ඔහු කටයුතු කර තිබේ.
“විනය පරීක්ෂණ තියනවා නම් ඔක්කොටම ඉස්සෙල්ලා විනය පරීක්ෂණ තියන්න ඕනෑ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)ට. මොකද ඒ අයනේ හිතෙන හිතෙන විදිහට අදහස් ප්‍රකාශ කරන්නේ. ඒත් ඒ අයට බලය තියෙනවා. ඒ නිසා මොන විනය පරීක්ෂණයක්වත් නැහැ.“ යනුවෙන් රාජ්‍ය එක්සත් හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස දැන ගැනීමට ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දුටත් වෛද්‍ය නවීන් සොයිසාටත් කීපවරක් දුරකථන ඇමතුම් ගනු ලැබුවද ඔවුන් පිළිතුරු දුන්නේ නැත. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ ඔහු මාධ්‍යයට අදහස් පළ කිරීමෙන් වැළකී සිටින බවයි.