
තමාගේ පසුපස එන්නන් තමන් පසුකර ඉහළ යනු දැක සතුටු වන්නා ගුරුවරයා ය. කෙනෙකු සරසවියට මෙන්ම සිපිරි ගෙදරට ද රැගෙන යන්නේ ලබනා අධ්‍යාපනය, පුහුණුව, මඟ පෙන්වීම, සමාජ අත්දැකීම් හා පෙලඹවීම් ය. කෙනෙකු අති දක්ෂයකු කරන්නත්, දුර්වලයකු කරන්නත් ගුරුවරුන්ට හැකියාව ඇත. ඒ ගැන ඉතිහාසය පුරා බොහෝ කතා ඇත. එහෙත් මෙවර අ.පො.ස (උ.පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ පාසල් වියේ තමා පෙන්වූ කුසලතාව හා තැබූ වාර්තාව බිඳගෙන සිසුන්ට පෙරට යන්න ඉලක්ක මත මඟ පෙන්වූ ගුරුවරයෙක් පිළිබඳ අසන්නට ලැබුණේ “ගුරු ගීතයේ දුයිෂෙන්” නම් ගුරුතුමා යළි සිහියට නංවමිනි.
මෙරට උපකාරක පන්ති අධ්‍යාපනය යහපත් සිතින් කරනා අතළොස්සක් අතරේ මුදල් මතම එය දෝලනය වෙද්දී වර්තමාන ජීවන රටාව තුළ දුයිෂෙන් වැන්නන් පිළිබඳ ඇසීමත් පුදුමය මෙන්ම අතිශය සතුට දනවන කරුණකි.
දිනය මැයි මස පස්වැනිදාය. උසස්පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟ රටවටින් විභාග දක්ෂයන් පිළිබඳ අසන්නට ලැබෙද්දී සුපුරුදු පරිදි මාතර රාහුල විද්‍යාලයෙන් ද දක්ෂයන් කීපදෙනකු පිළිබඳ අසන්නට ලැබුණි. ඒ අතර ගණිත අංශයෙන් ලංකාවෙන්ම දෙවැනියා ලෙස සමත්ව සිටි යොෂාන් චමිඳු සංජන එක් අංශයකින් පෙරමුණේ සිටියේය. යොෂාන් තම ජයග්‍රහණය සමරමින් කළ ප්‍රකාශයක් “ගුරු ගීතයේ දුයිෂෙන්” යළි අප සිත් තුළට රැගෙන ආවේය.
“මට මුල් අවස්ථාවේදිම නිර්මාල් ඉලංගම්ගේ සර් ඉලක්කයක් දුන්නා. 2018 වසරේ ජනවාරි මාසෙ මම සර්ගෙ පන්තියට ගිහින් තුන්වැනි දවසෙ සර් මට පුදුම හිතෙන කතාවක් කීවා. “පුතේ ඔයාට ලංකාවෙන්ම පළවෙනියා වෙන්න පුළුවන්. ඒක මට හොඳට පේනවා. ඒ අනුව වැඩ කරන්න. විෂයයන් තුනටම මම ඔයාගෙ පස්සෙන් ඉන්නවා. අවශ්‍ය සියලු සහාය ලබා දෙන්නම්” සර් එදා කියපු ඒ කතාව මගේ හිතේ අදටත් රැඳී තිබෙනවා. එදා සිටම මම ඒ ඉලක්කය හිතේ තියාගෙන වැඩ කළා. මම විභාගයට යන විට විෂයෙන් ගොඩාක් ඉදිරියෙන් සිටියා. උසස්පෙළට වඩා මම ඉදිරියෙන් සිටි බව තමයි හැඟුණේ. සර් දුන් ඉලක්කය මත ගිහින් මම ඉන් ජය ලැබුවා, හරිම සතුටුයි” පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු වන්න සිහින දකින යොෂාන් සිනාමුසුව පැවසුවේය.
රාහුල විද්‍යාලයේදී එක ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වාම තමන්ට අකුරු කළ සියලු ගුරු මවුපියවරුන් ද විදුහල්පතිතුමා ද තමන්ට හැමදාමත් ශක්තිය දුන් දෙමාපියන් හා දයාබර නංගී ද ආදරයෙන් සිහිපත් කළ යොෂාන් නිර්මාල් ඉලංගම්ගේ නම් ගුරුතුමා පිළිබඳ කළ ඒ කළ ආදරණීය ප්‍රකාශය එම ගුරුතුමා පිළිබඳ සොයා බලන්ට අපට පෙලඹවීමක් ඇති කළේය.
“නිර්මාල් සර්ගෙ කෙටි ඉගෙනුම් ක්‍රම ගණිතය වගේ විෂයකට ඉතාම ප්‍රයෝජනවත්. ඒ වගේම උසස්පෙළ වගේ විභාගයක් ලියනවිට අපිට ගොඩාක් කාලය වටිනවා. ඉතින් ඒ කාලය ඉතිරි කර ගෙන උත්තර ලියන්න නිර්මාල් සර්ගෙ කෙටි ගණිත ක්‍රම ඉතාම ප්‍රයෝජනවත්. මම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වන්න මෙය මට ගොඩාක් උපකාරී වුණා. සර්ගෙ තියෙන විශේෂත්වයක් තමයි අනෙක් විෂයයන් ගැනත් හොඳට සොයා බලා අපව උනන්දු කරවන එක”
2019 වසරේ අ.පො.ස (උ.පෙළ) විභාගයේ ගණිත අංශයේ පැරණි නිර්දේශයෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වූ මාතර සුජාතා විද්‍යාලයේ අමා සචිනි වීරසිංහ පැවසුවාය.
“තාර්කිකව හැම දෙයක්ම දැකීම හා කිරීම සර්ගේ ක්‍රමයක්. අපට එය ඉගෙන ගන්න ලැබීම අපේ ගමනට ශක්තියක් වුණා. අනෙක් ගුරුතුමන්ලාත් හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා සේම විෂය නිර්දේශය කලට වේලාවට අවසන් කිරීම, කාල කළමනාකරණය කරගෙන වැඩකරන්න නිර්මාල් සර් අපිට මඟ පෙන්වූවා. මගේ ජයග්‍රහණයට එයත් ගොඩාක් උපකාරී වුණා”
2019 ගණිත අංශයේ නව නිර්දේශයේ මාතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමිකරගත් සුජාතා විද්‍යාලයේ නුතාරා සේපාලි ආන්ද්රාහැන්නදි පැවසුවාය.
නිර්මාල් ඉලංගම්ගේ නම් මේ ගුරුතුමා පිළිබඳ සොයා බලන්නට අපි උත්සාහ කරද්දී මේ කොරෝනා සමය එයට මහා බාධාවක් විය. උත්සාහය අත්නොහළ අපි නිර්මාල් ගැන සොයා බලද්දී අහඹු ලෙස ඔහු හමුවන්නේ අතීත මතකයක් යළි සිහියට නඟා ගැනීමට අවස්ථාව ද සලසමිනි.
ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වූ “අටපට්ටම” වැඩසටහනක් අතර 2003 වර්ෂයේදී මනෝමයෙන් ඕනෑම ගණනන් එකතු කර පෙන්වන මාතර රාහුල විද්‍යාලයේ දරුවකු පිළිබඳ පෙන්වීය. ඔහුගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඒ වැඩසටහන අතර පෙන්වද්දී එදා අප පුදුමයෙන් ඒ දෙස බලා සිටියේය. නිර්මාල් ඉලංගම්ගේ නම් ගුරුතුමා සෙවූ අප හමුවට පැමිණ සිටියේ එදා අටපට්ටමේදී ගණිතයෙන් වැඩපෙන්වූ ඒ අපූරු දක්ෂයා ය; ඒ නිර්මාල් ඉලංගම්ගේ ය. ශිෂ්‍යයකු ලෙස එදා පෑ ගණිත හරඹ ඔහු යෞවනයකු ලෙස අද ද කරලියේ පෙන්වමින් සිටීම වාසනාවකි.
“මමත් එක ශ්‍රේණියේ සිට ඉගෙනගත්තේ රාහුල විද්‍යාලයේ. එදා අටපට්ටමේදි මම පෙන්වූ මනෝමයෙන් ගණන් එකතු කිරීමේ හැකියාව අදටත් මා සතුයි. එම අංශයෙන් මම පරයා යන්න තවම කවුරුවත් නෑ. මම 2003 වර්ෂයේ තමයි උසස්පෙළ කළේ. එම විභාගයේදී ගණිත අංශයේ මාතර දිස්ත්‍රික් හා දකුණු පළාත් ප්‍රථමයා වුණේ මම. එදා ගණිත අංශයේ මාතර දිස්ත්‍රික් ප්‍රථමයා ලෙස මා ලබාගත් “Z ලකුණ” අදටත් නොබිඳී තිබෙනවා” අප හා ළෙංගතු කතාවකට එක්වූ නිර්මාල් ඉලංගම්ගේ ආඩම්බරයෙන් පැවසුවේය.
“ඇත්තටම මොකක්ද, මේ දුයිෂෙන් කතාව” අප නිර්මාල්ගෙන් විමසුවේ යොෂාන් කී එම කතාව සැකහැර තහවුරු කර ගන්නටය.
“මම ගණිත අංශයෙන් උසස්පෙළ කරන කාලේ අම්මයි, තාත්තයි, දයාබර ගුරුවරයි මාව උනන්දු කළ හැටි තාම මතකයි. උසස්පෙළ සමත්වෙලා 2004 වසරේ මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.. එහිදී මම හැදෑරුවේ රසායනික ඉංජිනේරු විශේෂවේදී උපාධිය. මම උපාධිය අවසන් කර 2008 දි විශ්වවිද්‍යාලයෙන් පිටවන විට මමත් එක්ක හිටපු යාළුවෝ ඔක්කොම වගේ රුපියල් ලක්ෂ දහය, දොළහ, පහළොව වගේ වැටුප් වලට විදේශ රටවලට ගියා. උගන්වන්න තිබුණු ආශාව සහ ගමේ ඉන්න තිබුණු ආශාව නිසා මම ලංකාවේ නැවතුනා. යාළුවො මට විහිළු කළා. ඒත් ඒවා ගණන් නොගෙන මම ළමයින්ට උගන්වන්න පටන් ගත්තා. මම කරන දේ කැපවීමෙන් හා ළමයින් කල්තියා හඳුනාගෙන ඒ අයට ගැළපෙන ලෙස උගන්වනවා.
මම ම නිර්මාණය කරගත් කෙටි ක්‍රම මඟින් මතකයේ රැඳෙන ලෙස මම විෂය කියා දෙනවා. යන්න පුළුවන් මඟ හරියට පෙන්වමින් මගේ විෂයට අමතරව හදාරන අනෙක් විෂයයන් ගැන ද සොයාබලමින් මම අවංකවම කැපවීමක් කරනවා. මෙවර විභාග ප්‍රතිඵලයෙන් පස්සෙ තමයි ඔය දුයිෂෙන් නම පුවත්පතක් මඟින් ප්‍රචාරය වුණේ” නිර්මාල් සිනාමුසුව පැවසුවේය.
එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකාරී ආයතනයේ කළමනාකරණ ඩිප්ලෝමාධාරියකු වන නිර්මාල් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජියකු ද ලෙස ද කටයුතු කරයි. විවාහක එක්දරු පියකු වන නිර්මාල් සිය දෙමාපියන් ද තම රැකවරණයේම තබාගෙන උපස්ථාන කරමින් සිටින්නේ තම යුතුකම මනාසේ ඉටු කරමිනි. තම එකම දියණිය වූ මවනි මන්දාකිණීට අසීමිත ආදරයක් දක්වන නිර්මාල් කාර්යබහුල ජීවිතයක් ගතකළ ද තම පවුලේ කටයුතු ද නොපිරිහෙලා සොයා බලන්නට අනිවාර්යයෙන්ම වෙලාව වෙන්කර ගන්න බව ද සතුටින් පැවසුවේය. නිර්මාල්ගේ එම කාර්යබහුලත්වය මනාසේ කළමනාකරණය කරගන්නට බිරිඳ චානිකා ජයතුංග ගෙන් ලැබෙන්නේ ඉහළ සහායකි. ඒ පිළිබඳ ඔහු මතකයට නංවන්නේ ඉමහත් ආදරයකින් යුතුවය. මාතර හා තංගල්ල නගර දෙකේදීම ඉගැන්වීම් කටයුතු කරන නිර්මාල් මේ වන විට මාතර නිල්වලා සිංහ සමාජයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.
“මගේ තව ඉලක්කයක් තියෙනවා. ඒ තමයි 2003 දී මම ලබාගත් “Z” ලකුණ පරයා මගේ ගෝලයකු “Z” ලකුණ ගැනීමට මඟ පෙන්වීම. මම උගන්වන අතර ළමයින්ගේ හැකියාවන් හා ඔවුන්ට යාහැකි මඟ හඳුනා ගන්නවා. ඒ මතයි පෙලඹවීම් ඇති කරන්නේ. ඒ නිසා මගේ මේ ඉලක්කයටත් යන්න හැකි වේවි කියා මා තුළ ලොකු විශ්වාසයක් තිබෙනවා” නිර්මාල් සිනාමුසුව පැවසුවේය.