ප්‍රධාන දොර­ටුවේ දෝෂ නිසා සිදු­වන විපත් කර­දර | සිළුමිණ

ප්‍රධාන දොර­ටුවේ දෝෂ නිසා සිදු­වන විපත් කර­දර

 

 

නිවසක් ඉදිකිරීමේදී එහි ප්‍රධාන දොරටුව නිවැරැදි ලෙසින් ස්ථානගත කළ යුතු බව සමාජ මතයයි. එම මතය ගොඩ නැඟී ඇත්තේ වාස්තු විද්‍යාවේ කාලාන්තරයක් තිස්සේ ඇති වුණා වූ පුනරුදයත් සමඟය.

 

නිවසේ ප්‍රධාන දොර දෝෂ සහිතව ස්ථාපිත කළ විට ඇති වන්නා වූ අනිටු විපාක ගැන මෙම ලිපියෙන් තව දුරටත් සවිස්තරව ඉදිරිපත් කරන්නෙමු. ඒ සම්බන්ධව පූර්ව ලිපියක් 2021 මැයි 09 වැනිදා ඉරුදින සිළුමිණ පත්‍රයේ පළවිය. ප්‍රධාන දොරටුව ස්ථාපිත කිරීමේදී එය සෙසු දොරවල්වලට වඩා කිසිසේත්ම උසින් අඩු නොවන සේ ඉදි කිරීම වාස්තු විද්‍යාවේ නියමයක් ‌ෙලස සැලකේ. පසුගිය ලිපියෙන් සාකචඡා කළ පරිදි දොරටුව නිසි පරිදි ස්ථාන ගත නොකිරීම නිසා ආර්ථික ප්‍රශ්න ඇති වීම මෙන්ම, දියුණුව අඩාලවීම , නිරතුරුව රෝගාබාධ හට ගැනීම මෙන්ම පවුලේ අසමගිය ඇති වීම මෙන්ම දූ දරුවන්ගේ දියුණුව අඩාළ වීම වැනි ආදී අනිටු විපාක ඇති වෙයි.

ඊට අමතරව ඇති වන්නා වූ අපහසුතා මෙන්ම තමන්ගේ දියුණුවේ අඩාළ වීම්ද මෙසේ පෙන්වා දිය හැකිය. ඒ අනුව පසුගිය ලිපියෙන් සාකච්ඡා කළ දෝෂයන්ට අදාළව පහත දුක් කරදර හට ගන්නා බවට ජ්‍යෙතිෂ්‍යයේ දක්වා ඇත.

 

(1) මාර්ග වේධ දෝෂය නිසා ගෘහ හිමියාට අසීමිත කරදර දුක් විපත් පීඩා ගෙන දෙයි

(2) වෘක්ෂ වේධ දෝෂය නිසා දරුවන්ට රෝගාබාධ කරදර පීඩා, ගෘහයේ පදිංචි අයගේ අසමගිය හා දියුණුව අඩාළ ආදී දෝෂ ඇති වෙයි.

(3) කදිම වේධ දෝෂය නිසා

(නිවස ඉදිරිපිට මඩ ගොහොරුවක් අපිරිසිදු ජලය රැස්වීම සිදුවීම) නිවාස හිමියන්ට අසීමිත දුක්කරදර විපත් රෝගාබාධ ඇතිවන බව සඳහන් වෙයි.

4 ජල නිර්ගමන වේධය

මෙම අශුභ පිහිටීම නිසා ධනහානි සිදුවෙයි. වස්තුව නොරැඳේ. දිළිඳු බව දුගී බව නිරන්තරයෙන් ඇති වෙයි. තමන් විසින් කරනු ලබන උත්සාහයේ තරමට ගෘහමූලිකයන්ට දියුණුව ඇතිවන්නේ නැත.

5 කූපවේධ දෝෂය - ගෘහයේ පදිංචි අයට ස්නායුගත රෝග, සිහිමද ගතිය ඇතිවෙයි. දියුණුව මේ නිසා අඩාල වෙයි.

6 දේවතා වේධ දෝෂය

මෙම දෝෂය නිසා වස්තු විනාශය අන්‍යයන්ගේ උදව් උපකාර අහිමි වීම තැන්පත් ධනය නිකරුණේ වියදම් වීම සිදු වෙයි.

7 ස්ථම්භ වේධ දෝෂය

නිවසේ ස්ත්‍රී සාමාජිකාවන්ට අස්ථාන බොරු චෝදනා ඇති වෙයි.

8 සුසාන වේධ දෝෂය

ගෘහයේ පදිංචි අය නිරන්තරයෙන් නිවසෙන් ඈත්වී සිටීමට සිදුවීම. ලෙඩදුක් පීඩා රෝගාබාධ ධනහානි යෙදේ.

9 කෝණ වේධ දෝෂය

සොර සතුරු බිය ප්‍රේත පිශාච දෝෂ ඇති කරවයි.

10 ද්වාර වේධ දෝෂය - සතුරු කරදර නිරන්තරයෙන් යෙදේ.

11වර්චස්ථාන වේධ දෝෂය

සතුරු කරදර පීඩා සිත් තැවුල් අසමගිය ඇතිවෙයි

12 චිරස් චීන වේධ දෝෂය

නිවසේ පහත් පෙළේ වැඩ කටයුතු නිතර නිතර ඇතිවෙයි. සාමාජිකයන් බුද්ධිමත්ව කටයුතු කිරීම සිදු නොවෙයි.

13 රජක වේධ දෝෂය

උසස් තනතුරු අහිමි වීම, පහත් අය ආශ්‍රය නිසා නිවාසයට කරදර පීඩා යෙදීම සිදුවෙයි.

14 කුම්භ කාර වේධ දෝෂය

ස්ථාන දේපළවලට නඩු හබ කරදර - නඩු පනත්වලින් තමන්ට අලාභ පාඩු සිදුවීම ඇති වෙයි.

15 ගණිකා වේධ දෝෂය

පවුල් අසමගිය බන්ධන් සමඟ අසමගිතා ඇතිවීම. දරුවන්ට තදබල අපල ඇතිවීම සිදුවෙයි.

16 ම්ලේච්ඡ වේධ දෝෂය

වස්තු විනාශය අපකීර්තිය නිරන්තරයෙන් ඇති වෙයි.

17 රාජ වේධ දෝෂය

වැඩිහිටියන්ගේ තනතුරු අහිමිවීම, අන්‍යන්ගේ අස්ථාන චෝදනා ඇතිවීම.

18 බ්‍රහ්ම වේධ දෝෂය

පවුලේ සාමාජිකයන්ට ඇති කීර්තිය ප්‍රශංසා අහිමිවීම. අස්ථාන චෝදනා ඇතිවීම ආදී අපල යෙදෙයි.

එම නිසා ප්‍රධාන දොරටුව නිසි පරිදි ස්ථානගත කිරීම පෙර ලිපියේ දැක් වු පරිදි සිදු කළ යුතු අතර නිවසේ කාමර ස්ථානගත කිරීමද දෝෂ රහිතවන ලෙසින් සිදු කළ යුතුය.

නිවසේ කාමර ස්ථානගත කිරීම

නිවසක දියුණුව, සතුට, නිරෝගි බව, ආයුබල, සම්පත් වර්ධනය හා වංශ පරම්පරා පැවැත්ම සඳහා, නිවසේ කාමර බෙදිය යුතු ආකාරය සිදු කළ යුතුය. ඒ අනුව නිවස මැද සිට එනම් බ්‍රහ්ම පාදයේ සිට දිසා නිරීක්ෂණය කර එම දිසාවලට යොමුවන ලෙස කාමර බෙදා ගත යුතුයි. එය මතු දැක්වෙන සටහනට අනුව සිදු කර ගත යුතුය. එසේ නිවාසයක කාමර ස්ථානගත කිරීම තුළින් ජය සම්පත්, ලාභ, ආයුබල වර්ධනය ලැබෙනු ඇත.

නිවසේ ශුභඵල දෙන ආකාරයට කාමර ස්ථානගත කිරීම වාස්තු විද්‍යාව අනුව අත්‍යවශ්‍ය කරුණක් බව තේරුම් ගත යුතුය. එසේ ස්ථානගත නොකර නිවස ඉදි කිරීමෙන් පසුව යළි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම වඩාත් අධික ලෙසින් ධන හානිය සිදු වන්නක් අතර නිවැසියන්ට මහත් වූ කරදරකාරී තත්ත්වයක් වනු ඇත.

 

Comments