
රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව පුද්ගල චරිත කේන්ද්‍ර කර ගනිමින් ලාංකේය නූතන බුද්ධි විෂයක විකාසනය පිළිබඳව සම්පාදනය කෙරෙන මේ ලිපි මාලාව බුද්ධි විෂයක හා සම්බන්ධ ආයතන කේන්ද්‍ර කොට ගෙන ජනිත වූ අවලෝකනයක් ලෙස මෙවර සම්පාදනය කිරීමට අදහස් කළේ සියවසක් අවසානයේ අප ගමන් කොට තිබෙන්නේ ඉදිරියටද පසුපසටද යන වග අවබෝධ කර ගැනීමට එය අගති විරහිත මාපකයක් වන බැවිනි.
ලංකාවේ ආරම්භ කෙරුණු විද්වත් ශාස්ත්‍රීය පර්ෂද අතුරින් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට ප්‍රමුඛස්ථානය හිමි වෙයි.
එකුන් විසි වන සියවසේ යුරෝපීය මිනිසාට පෙරදිග ජීවන ව්‍යවහාර මෙන්ම චින්තන සම්ප්‍රදායන් පිළිබඳ පැවතියේ අරුමැසි කුතූහලයකි. ඉන්දුවේදය නමින් හැඳින්වෙන අභිනව ශාස්ත්‍ර ධාරාවක් ඔස්සේ පෙරදිග සමාජයේ පැවති ආගමික සම්ප්‍රදාය භාෂා සාම්ප්‍රදායික සමාජ ක්‍රම හා ජීවන රටා කෙරෙහි වූ සැබෑ කුතූහලය හේතු කොට ගෙන එකී ක්ෂේත්‍ර පිළබඳ අධ්‍යයනයට බට යුරෝපීය ශාස්ත්‍රඥයන් විසින් බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ යටත් විජිත ලෙස පැවති ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාචීන අධ්‍යයන පිළිළිබඳ පුරෝගාමී සංගමය බෙංගාලයේ ස්ථාපනය කරන ලද්දේ 1784 වර්ෂයේ ශ්‍රීමත් විලියම් ජෝන්ස් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙනි.
පසුව බොම්බායේද රාජකීය ආසියාතික සංගමයේ ශාඛාවක් ආරම්භ කෙරුණු අතර නේපාලය, බුරුමය හා චීනය යන රටවලද රාජකීය ආසියාතික සංගමයේ ශාඛා ස්ථාපනය කෙරිණ. 1845 පෙබරවාරි මස 07 වැනි දින රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව ආරම්භ කරන ලද්දේ ජේ. ස්‌ටාර්ක් නමැති එවක සිටි යටත් විජිත විනිසුරුවරයාගේ සභාපතිත්වයෙනි. ආසියාතික රටවල ස්ථාපනය කෙරුණු රාජකීය ආසියාතික සංගමයේ සියලු ශාඛා බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ ස්ථාපිත ප්‍රධාන සංගමයට අනුබද්ධ විය.
1845 වර්ෂයේ ඇරඹුණු රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මුල් අඩ සියවසෙහි මෙරට සිටි බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයන්, විනිසුරුවරුන්, ආයතන ප්‍රධානීන්, ස්වදේශික මුදලිවරුන් සහ ක්‍රිස්තියානි පූජකවරුන් අතර සිටි විද්වතුන් විසින් ලාංකේය සමාජයේ විවිධ අංශ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ සහ අධ්‍යයන හේතු කොට ගෙන දෙස් විදෙස් ශාස්ත්‍රඥයන්ගේ මහත් ආකර්ෂණයට ලක් වූ ශාස්ත්‍රීය පර්ෂදයක් ලෙස තහවුරු වියග විසි වැනි සියවස මුල් භාගයේ සිට විවිධ ජාතීන්ට අයත් ස්වදේශික උගතුන් ද රාජකීය ආසියාතික සංගමය ලංකා ශාඛාව සමඟ එක්ව ඉතිහාසය, ආගම, සාහිත්‍යය සහ කලා සංස්කෘතික ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ ලිපි සම්පාදනයට දායක වී තිබේ.
ඔවුහු රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට සම්බන්ධ වී ස්වකීය පර්යේෂණ සහ අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රීය ලිපි ඒ් සංගමයේ සඟරාවේ පළ කළහ. මේ තත්ත්වය හමුවේ බුදු දහම සහ පාලි භාෂාවල ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ මෙන්ම මානව විද්‍යාව වැනි විෂයයන් පිළිබඳවද විවිධ ශාස්ත්‍රඥයන් විසින් සම්පාදිත වැදගත් තොරතුරු රැසක් ශාස්ත්‍රීය ලිපි සහ ප්‍රකාශන ලෙස සංරක්ෂණය වීම සහ විවිධ ආයතන සහ ව්‍යාපෘති ආරම්භ වීම පසු ගිය සියවසේ සිදු වූ වැදගත් සංසිද්ධීන් සේ දැක්විය හැකිය. ජාතික කෞතුකාගාරය, පාලි පොත් සංගමය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සිංහල ශබ්දකෝෂය ආරම්භ කිරීමටද ඍජුව සහ වක්‍රව දායක වූයේ ද රාජකීය ආසියාතික සංගමයයි.
එවක ලංකාවේ සිටි ඩී. ජේ. ගොගර්ලිල කොළඹ අගරදගුරු ආර්. එස්. කොප්ලෙස්ටන්, ජෝන් ස්කොට්, ඩේව්ඩ් ද සිල්වා, ස්පෙන්ස් හාර්ඩි ප්‍රමුඛ ශාස්ත්‍රාභිලාෂී පූජකවරුන්ගේ පුරෝගාමිත්වයෙන් රාජකීය ආසියාතික සංගමය මඟින් ඇරඹුණු බුදු දහම පිළිබඳ අධ්‍යයන හේතු කොට ගෙන පාලි භාෂාවල ජාතක කථා හා බුදු දහම පිළිබඳ අන්තර්ජාතික අධ්‍යයන සඳහා පදනම සැකසිණ. මේ කටයුතු සඳහා දායක වූ රීස් ඩේවිඩ්ස් ලංකාවේදී පාලි භාෂාව උගෙන බුදු දහම කෙරෙහි ආකර්ෂණය වී 1881 වර්ෂයේ ලන්ඩනයේ පාලි පොත් සංගමය ආරම්භ කිරීමට පුරෝගාමි විය. රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සාමාජිකයකු වූ ආර්. සී. චිල්ඩර්ස් පාලි පොත් සංගමය සඳහා බෞද්ධ ග්‍රන්ථ රැසක් පාලි භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම නිසා බුදු දහම සහ පාලි භාෂාව පිළිබඳ බටහිර උගතුන්ගේ අවධානය යොමු වී එය විශ්ව අධ්‍යයන ක්ෂේත්‍රයක් බවට පත් විය.
රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ ප්‍රධාන අරමුණු සහ පරමාර්ථ අතුරින් ලංකා ජනතාවගේ ඉතිහාසය, ආගම්, භාෂා, සාහිත්‍යය සහ කලාවන් මෙන්ම මානව විද්‍යාත්මක අංශ පිළිබඳ අධ්‍යයනය සහ විමර්ශනය සඳහා වැදගත් ස්ථානයක් හිමි විය.
පැරණි කාසි වර්ග, මානව විද්‍යාත්මක වටිනාකමකින් යුත් කෞතුක සහ පෞරාණික වස්තු එක් රැස් කොට සංරක්ෂණය කිරීම සංගමයේ පුස්තකාලය සහ කෞකුකාගාරය ස්ථාපනය කිරීමේ ඒක් අරමුණක් විය. ශ්‍රීමත් චාල්ස් මැකාර්ති ආණ්ඩුකාරවරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් ස්වදේශික මුදලි මුහන්දිරම්වරුන්ගේ මාර්ගයෙන් සංගමය සඳහා යෝග්‍ය කෞතුක වස්තු මිලදී ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානින්ට දැන්වූයේය.
මෙසේ ලැබුණු කෞතුක වස්තු තැන්පත් කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් රාජකීය ආසියාතික සමිතියට නොවූයෙන් ඒ සඳහා ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා පෞද්ගලික මට්ටමෙන් විශේෂ උනන්දුවක් දරා 1877 ජනවාරි මස 01 වෙනි දින කොළඹ කෞතුකාගාරය ආරම්භ කළේය. අගය මෙතෙකැයි කියා නිම කළ නොහැකි ජාතික වැදගත්කමකින් යුත් සුවිශේෂ ආයතනයක් වන ජාතික කෞතුකාගාරය බිහි වීමෙහි ලා රාජකීය ආසියාතික සංගමයෙන් ඉටු වූයේ යුගකාරක මෙහෙයකි.
ජාතික කෞතුකාගාරය ස්ථාපනය කිරීමට නොදෙවෙනි යුගකාරක මෙහෙයක් රාජකීය ආසියාතික සංගමයෙන් ඉටු වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමට පුරෝගාමී වීමෙනි.
ආරම්භක අවස්ථාවේ සිට රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවේ ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් කාසි, ශිලා ලේඛන සහ තවත් විවිධ තේමා යටතේ ලිපි රැසක් පළ විය.
මේ සම්බන්ධයෙන් ඊ ළඟ වැදගත් පියවර වන්නේ 1884 වර්ෂයේදී ශ්‍රීමත් ආතර් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා විසින් උතුරු මැද පළාතේ පුරාවිද්‍යාත්මක නටබුන් ගවේෂණය සඳහා විශේෂ අරමුදලක් ආරම්භ කිරීමයි. මේ අරමුදල යොදාගනිමින් රාජකීය ආසියාතික සංගමය මඟින් අනුරාධපුර මිරිසවැටි දාගැබේ කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර 1890 වර්ෂයේ පුරාවිද්‍යාත්ම ගවේෂණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේතුව ස්ථාපනය කෙරිණ.
රාජකීය ආසියාතික සංගමය මඟින් අරඹන ලද තවත් වැදගත් ව්‍යාපෘතියක් වූයේ සිංහල ශබ්ද කෝෂ සම්පාදනයයි.
ජේම්ස් ද අල්විස් පඬිවරයා විසින් සංගමයේ සඟරාවට සපයන ලද ලිපි මගින් සිංහල භාෂා අධ්‍යයනය පිළිබඳ දෙස් විදෙස් පඬිවරුන්ගේ අවධානය සිංහල භාෂාව සහ එහි ප්‍රභවය නෙරෙහි යොමු විය. 1881 වර්ෂයේදී සිංහල - ඉංග්‍රීසි ශබ්ද කෝෂයක අවශ්‍යතාව කෙරෙහි සංගමයේ අවධානය යොමු විය.
ක්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන්, බෞද්ධ භික්ෂූන් හා සිංහල පඬිවරුන් සංගමයේ කමිටුවක් ලෙස සංවිධානය වී වර්ෂ කිහිපයක් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට 1923 වර්ෂය වන විට ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් ශබ්දකෝෂ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණ.
රාජකීය ආසියාතික සංගමයේ පුරෝගාමිත්වයෙන් ඇරඹුණු සිංහල ශබ්දකෝෂ ව්‍යාපෘතිය පසුව ලංකා විශ්වවිද්‍යාලයට පැවරී වර්තමානය වන විට සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත්ව තිබේ.
1920 වර්ෂයේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ 73 වන සඟරා කලාපය අතීත කඩඉමක් සේ සලකා ශතවර්ෂාවලෝකනයක යෙදෙන කල මේ සංගමය කෙතරම් පෘථුල ජාතික නියෝජනයකින් සමන්විතව පැවතියේද යන්න අවබෝධ කර ගත හැකි වනු ඇත. 1921 වර්ෂය සඳහා නිලධාරී මණ්ඩලය මුල් පිටුවේ ඇතුළත සඳහන් වෙයි. පොන්නම්බලම් අරුණාචලම් සංගමයේ සභාපතිය.
ශ්‍රීමත් ඇන්ටන් බර්ට්‍රම්, වෛද්‍ය ජෝසප් පියර්සන් සහ ආර්. ජී. ඇන්තනීස් උප සභාපතිවරුය. වාසල මුදලි ඩබ්ලිව්. එෆ්. ගුණවර්ධන, සී. ඩබ්ලිව් හෝර්ස්ෆල්, වාසල මුදලි සයිමන් ද සිල්වා, වෛද්‍ය සී. ඒ. හේවාවිතාරණ, වෛද්‍ය එස්. සී. පෝල්, රාජ්‍ය මන්ත්‍රී ඊ. ඩබ්ලිව් පෙරේරා, වාසල මුදලි ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, එෆ්. ලෙවිස් ඒල්. ජේ. බී. ටර්නර්, ඒ්. එම්. හෝකාර්ට් සහ ඩී. බී. ජයතිලක පාලක සභා සාමාජිකයෝ වූහ. මේ සියලු දෙනාම පාණ්ඩිත්‍යයෙන් අගතැන්පත් විද්වත්හුය.
සියවසකට පසුව සංගමයේ ප්‍රතිමූර්තිය අවලෝකනයෙහිදී මේ විවිත්‍ර විත්‍රය කෙමෙන් අඳුරු වන සෙයක් දිස්වෙයි.