ආස­ව­යන් හීලෑ කෙළෙමි | සිළුමිණ

ආස­ව­යන් හීලෑ කෙළෙමි

“ඔය ළමයි යන්න ඉස්සරහට - ගිහිල්ලා වැඳලා පිළිගන්න. අපට බැහැ සිද්ධාර්ථට වඳින්න. බුදු වුණත් එයා අපට වඩා වයසින් බාලයි.“

මහලු ශාක්‍යයෙක් කී ය.

ළමයි පාර අද්දරට ගියහ; දෙපස පෙළ ගැසුණාහ. වැඩිහිටියෝ ඈතට වී බලා සිටියහ.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් දහස් ගණනක් පිරිවරාගෙන කිඹුල්වතට වඩිති. ළමා තොල්වලින් ‘සාදු සාදු‘ හඬ නැඟිණි. ශාක්‍ය රජ පවුලට අයත් සියලු දෙන එක් තැනකට වී ඈත වඩින බුදුරජාණන් වහන්සේ සහ මහ සඟරුවන දෙස බලා සිටියහ.

ශාක්‍යයන් ගේ සිතෙහි උපන් මානය බුදු හිමියන්ට පෙනිණ. උන්වහන්සේ ඔවුන්ට යමා මහ පෙළහර දැක්වූහ. බුදු සිරුරෙන් දියත්, ගිනිත් නැඟෙයි. නැඟෙන වැටෙන අත මාරු වෙයි. විස්මයෙන් යුතුව ඒ දෙස බලා සිටි ශාක්‍යයන්ට ඉන් අනතුරුව සතර අපායේ දුක්විඳින සත්ත්වයන් දක්නට ලැබේ. ඉන් පසු ඔවුනට පෙනුණේ ගුවනේ මැවූ සක්මනක බුදුහිමි වැඩම කරන අයුරුය. බුදු හිමියෝ ගුවනේ සිට දහම් දෙසූහ.

වැඩිහිටි ශාක්‍යයෝ මානය ඉවත ලා බිම වැටී වැලි පොළොවේ නළල තබා බුදුරජාණන් වහන්සේට නමස්කාර කළහ.

මේ අසිරිමත් සිදුවීම් බලා සිටි ශාක්‍ය කුමරුවෝ පිරිසක් “අපටත් ඔබවහන්සේ ගේ ශ්‍රාවකයන් බවට පත් වීමට අවශ්‍යයි“ කියමින් පැවිදි වූහ. ඒ පිරිස අතර ශාක්‍ය රජ කුමරකු වූ උසභ ද විය.

පැවිදි බිමට පත් උසභට මහණ කම් පිරීමේ වුවමනාවක් නොතිබිණ. තරුණ භික්ෂූන් අතරට වී, ගිහිකල ගෙවූ ජීවිතයේ තොරතුරු කතාබහ කිරීමෙන් උසභ හිමියෝ මහත් සතුටක් ලැබූහ. දානය වැළඳීමටත් නැවතත් කතා - බහේ යෙදීමටත් කාලය ගෙවූ උන්වහන්සේ අනෙක් කාලය මුළුමනින්ම ම ගත කෙළේ නින්දට ය.

“ඔබ සිවුරු දමාගත්තේ නිදන්නට දැ“යි හිමිනමක් ඇසීය. පිළිතුරු නොදුන් උසභ හිමි පෙරළා මෙසේ ඇසීය.

“ඔබ සිවුරු දමාගත්තේ?“

“මා සසර දුකෙන් මිදීම සඳහා සිවුරු දමා ගත්තේ. මා මහණදම් පුරනවා. ධර්මය හදාරනවා. ඊළඟ වැසි කාලයේ මා කමටහන් ලබාගෙන වනාන්තරයට ගොස් විදසුන් වඩනවා. ඔබ?“ “මා ඒ කිසිවක් කරන්නේ නැහැ. සසර දුකෙන් මිදීමේ අරමුණක් පැවිදි වන විට මට තිබුණේ නැහැ.“

“ඔබ පැවිදි වුණේ බුදු හාමුදුරුවන්ගේ යමා මහ පෙළහර දැකලා. මා එය දන්නවා. හොඳයි. ඊට පසු ඔබ බුදුරජාණන් වහන්සේගේ බණ ඇසුවා. වාර කීපයක් ම ඔබ බණ ඇසුවා. ඒ නිසා ඔබට සසර ජය ගැනීමේ වුවමනාවක් ඇති වුණේ නැද්ද?“

උසභ හිමියෝ නිශ්ශබ්ද වූහ.

පුරුදු නින්දත්, කයිවාරුවත් අඩු නොකළ උන්වහන්සේ එදා ද සැතපෙන්නට කුටියට වැඩියහ. විවිධ සිතිවිලි ගලා ආයේය. ගිහි ජීවිතයේ නැටුම්, ගැයුම්, කාන්තාවන් සමඟ හැසිරීම් ඔහුගේ සිතේ වැඩිණ. සිත මහත් නොසන්සුන්තාවක පැවතෙද්දී දෑස පියැවිණ.

උතුරු සළුවක් මෙන් අඹ දලු පැහැති සිවුරක් කරෙහි දමාගෙන ඇතකු පිට නැගී උසභ හිමියෝ නුවර මහවීදිය දිගේ ගමන් කළහ. මඟ දෙපස මිනිස්සු කෑගසමින් ඇතා අසලට ආහ. ඔවුන් දුටු උසභ හිමියන්ට මහත් ලජ්ජාවක් ඇති විය. උන්වහන්සේ වහා ඇතු පිටින් බිමට බැස්සහ. උසභ හිමියන් ගේ ඇස් ඇරිණ.

‘මා දුටුවේ විකාර සිහිනයක්. මා නිදාගත්තේ මුළා වූ සිහියෙන්. මිනිසුන් මැද මා ලජ්ජාවට පත් වුණා.

මගේ සිත අවුල් - නොසන්සුන්, මා මෙබඳු පැවිදි ජීවිතයක් ගත කරන්නේ ඇයි?‘ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් උසභ හිමියන්ට සිහිවිය; වහාම විදසුනෙහි සිහිය පිහිටුවාගත්හ; නොබෝ වේලාවකින් රහත් බව ලැබූහ.

හරි මඟ දැකීමට උන්වහන්සේට උදවු වූයේ ඒ සිහිනයයි. එය ප්‍රකාශයට පත් කරමින් උසභ රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

පෙරවාගෙන අඹ දලු පැහැ ඇති සිවුරක්

ඇතුපිට නැඟ යන විට නුවර වීදියේ

මිනිස් කැලට මැදි වූයෙමි ලජ්ජාවෙන්

පිරුණා සිත, වහා ඇතු පිටින් බැස්සෙමි.

මා දුටුවේ සිහිනයකි, අහංකාරය

තිබුණා පිරී සිත තුළ රජ කුලේ නිසා

හීලෑ කෙළෙමි සිත, ආසවයන් නැසුවා.

නිවන් සුව විඳිමි මම දැන් සැනසිල්ලේ.

 

Comments