
පාසල් වියේ සිටම ඔහුට තිබුණේ සමාජවාදී අදහස්ය. පාසල් පුස්තකාලයෙන් ලැබුණු කාල්මාක්ස්ගේ කොමියුනිස්ට් ප්රකාශනය ඔහුට කටපාඩම්ය. මාක්ස්ගේ, ලෙනින්ගේ, මාඕසේතුංගේ ජීවිත කතා සහ මැක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාව ලොව පිළිබඳව ඔහු තුළ නව බලාපොරොත්තු ඇති කළේය.
“උඩරට සන්දේශය” සතිපතා තීරු ලිපිය මඟින් කන්ද උඩරට පමණක් නොව මේ දිවයිනේ සිව් දිගෙහිම ජනතාව ආකර්ෂණය කැර ගත් නිලමේ පසුගිය දා මහනුවර මහයියාවේ දී අවසන් ගමන් ගියේය.
රත්නායක වනසිංහ නමින් රටම හඳුනාගත් මේ තීරු ලිපි රචකයා ලේඛකයකු, පරිවර්තකයකු, දේශකයකු, කවියකු, වෘත්තීය සමිති නායකයකු, කොමියුනිස් පක්ෂ ප්‍රාදේශීය නායකයකු, ජන සාහිත්‍ය පර්යේෂකයකු, වේදිකා නාට්‍ය ශිල්පියකු ආදි විවිධ ක්ෂේත්රයන්හි පතළ අත්දැකීම් ලැබූවකු මෙන්ම ඒ සෑම තැනකටම පොදු වූ සැබෑ ජනතා හිතවාදියෙක් ද වූයේය.
1935 අප්‍රේල් 10 වැනිදා පස්සර දී උපන් අපේ මේ ලේඛකයා 2021 අප්‍රේල් 11 වැනිදා මහනුවර දී අවසන් හුස්ම හෙළුවේය.
බදුල්ල පස්සර මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහුට වයස අවුරුදු විස්සේ දී බදුල්ල කච්චේරියේ සැලසුම් ශිල්පි තනතුරක් ලැබිණ.
පාසල් වියේ සිටම ඔහුට තිබුණේ සමාජවාදී අදහස්ය. පාසල් පුස්තකාලයෙන් ලැබුණු කාල්මාක්ස්ගේ කොමියුනිස්ට් ප්රකාශනය ඔහුට කටපාඩම්ය. මාක්ස්ගේ, ලෙනින්ගේ, මාඕසේතුංගේ ජීවිත කතා සහ මැක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාව ලොව පිළිබඳව ඔහු තුළ නව බලාපොරොත්තු ඇති කෙළ්ය.
“මා උපන් මේ බිමේ ද සමාජවාදී සමාජයක් බිහි කිරීමට කැපවෙමි” ඔහු සිතුවේය.
ඒ සඳහා සම්බන්ධවිය යුතු යයි ඔහුට සිතුණේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂයයි. ඔහු ඒ පක්ෂයට බැඳුණේ ය. බදුල්ලේ කොමියුනිස්ට් පක්ෂ ශාඛාව රත්නේට දේශපාලන හා සාහිත්‍ය පොත් සපයා දුන්නේය. ඔහු කච්චේරිය තුළදී සැලසුම් ශිල්පියකු වශයෙන් අකුරටම සේවයේ යෙදෙන අතර විවේක කාලයේදී සමාජවාදී සමාජයක් පිළිබඳ සැලසුම් සිය මනෝ ලෝකයේ ඇන්දේය.
රත්නායක වනසිංහ පාසලේ විවාද කණ්ඩායමේ ප්රධානියාය. දක්ෂම කථිකයාය. මේ ගැන ඇසූ බදුල්ල කොමියුනිස්ට් පක්ෂ නායකයෝ පක්ෂයේ තරුණ සමිති ඇමතීමට ඔහු යොදා ගත්තේය. නිවාඩු දිනවල ඈත ගම්වල කොමියුනිස්ට් පක්ෂයේ ප්රචාරක කටයුතුවලට ඔහු සහභාගි විය.
1965 දී එ.ජා.ප. රජය බලයට පත්වීමත් සමඟ බදුල්ලේ සමාජවාදීන්ට දඬුවම් ලැබිණ. ඇතැමකුට රැකියා ද අහිමි විය. රත්නේ අම්පාර කච්චේරියට මාරුකැරිණ.
“එන්න සහෝදරයා අපි ඔබ පිළිගන්නවා”
අම්පාර කච්චේරියේ සමාජවාදියෝ ඔහු සාදරයෙන් පිළිගත්හ. ඒ පිරිස අතර ජනපද ගොවියකුගේ පුතකු හා ගුරු නායකයකු වූ ලේඛක පියසේන කහඳගමගේ ද විය.
රත්නේට අමුත්තක් නොදැනිණ. ගංගානිම්න සංවර්ධන මණ්ඩලයේ කුරිරු අණසකට යටත් වූ ජනපද ගොවීන්ගේ පීඩනය ඔහු මුලදීම හඳුනා ගත්තේය. ‘අම්පාර යනු අරගලවලින් පිරුණු හා පිරෙන තැනක්’ ඔහු සිතුවේය.
එස්.ජී. පුංචිහේවා, අයි. සුවඳරත්න, සේන ජයකොඩි වැනි ගුරු නායකයන් හා කම්කරු නායකයන් සමඟ එක්ව ඔහු වෘත්තීය අරගලවලදී සිය සටන්කාමී සහාය පළ කෙළේය. හැම විරෝධතා පෙළපාළියකම ඔහු ඉදිරියෙන්ම ගමන් කෙළේය.” ඔහුගේ හඬ සියලු හඬ අබිබවා නැඟිණ.
ඔහුගේ කට බස සිනා රසයෙන් පිරී තිබිණ. ඒ නිසාම ඔහුගේ දෙසුම් ශ්‍රාවකයන්ගේ මන බඳනා සුලුවිය.
ඔහු සේවය කළ යුගය අම්පාරට තාමත් මතකය. අම්පාරේ සෑම ගමකම, කැලෑබද ගම්වල පවා කොමියුනිස්ට් පක්ෂයේ ශාඛා පිහිටුවා තිබිණ. කච්චේරියේ සේවයෙන් පසු හැන්දෑවේ පියසේන කහඳගමගේ ද සමඟ ගම්වදින රත්නේ රෑ මැදියම වනතුරු මාක්ස්වාදයේ මූලධර්ම ජනතාවට පැහැදිලිකොට දුන්නේය.
භෞතිකවාදය, අතිරික්ත ශ්‍රමය, මනෝ මූලික, විෂය මූලික, කම්කරුපන්ති ආඥා දායකත්වය වැනි වචනවලින් තොරව එහෙත් ඒ අදහස් සිත් තුළ ගැඹුරට කාවදින සේ ඔහු ජනතාවට ඉදිරිපත් කෙළේය.
‘රාජ්‍යය’ පිළිබඳ දේශනය පැවැත්වූ ඔහු එය අවසන් කොට සවන්දෙන්නන් දෙස මඳ වේලාවක් බලා සිටියේය. හීන් හඬක් ඔහුට ඇසිණ.
“ඔව්, සහෝදරයා මේ රාජ්‍යය වෙනුවට අපේ ම එකක් අපට ඕනෑ. අපි එහෙම එකක් හදා ගන්න ඕනෑ.”
රත්නේගේ මුහුණ මහත් සතුටකින් පිරිණ.
එදා මම ද ඒ දේශනයට සවන් දුනිමි. ඒ යුගයේ මම අම්පාරේ වලිගම්පුර පාසලේ පියසේන කහඳගමගේ සමඟ එකට සේවය කළෙමි.
සිය දෙසුම සරු වී දැයි රත්නේ බැලුවේ සවන් දෙන්නන්ගේ මුහුණුවලිනි.
ඔහු පසුපස රහස් පොලිසිය ද ඇවිද්දේය.
“ඉතින් කොහොමද සහෝදරයා?”
ඔහු ඔවුන්ගේ පිටට තට්ටු කරමින් ඇසීය.
රජයේ සේවය සඳහා පැය අටක් ගත කළ රත්නේ ඉන්පසු වැඩිම කාලයක් දේශපාලන හා වෘත්තීය අරගල සඳහා කැප කළේය. ඔහු ලිවීමට හා කියවීමට කෙසේ හෝ පැය දෙකක් ඉතිරි කැර ගත්තේය.
රත්නේ ඉංග්‍රීසි, සිංහල දෙබසම මැනවින් දැන සිටියේය. ඉංග්‍රීසි බසින් ලියැවුණු ලිපි රාශියක් ඔහු ඇත්ත පුවත්පතේ පළකළේය. ‘ඇත්ත’ ට කවි ලීවේය.
විශිෂ්ට සාහිත්‍යධරයකු හා ප්‍රවීණ පරිවර්තකයකු වූ එස්.ජී. පුංචිහේවා මහතා අම්පාරේදී හමුවීම ඔහුගේ ලේඛන කලාව දියුණුවීමට හේතුවක් විය. ඛලීල් ජිබ්රාන්, ලුශුන් වැනි එදා ලංකාවට නුහුරු විදෙස් කවීන් හඳුන්වා දුන් පුංචි හේවා මහතාගේ ඇසුර ඔහුට ධෛර්යයක් විය. ඔහු පුංචිහේවා මහතා සමඟ සාහිත්‍ය හා දේශපාලනය ගැන දීර්ඝ සාකච්ඡාවල යෙදුණේය.
1970 මහ මැතිවරණයෙන් එ.ජා.ප. ය පැරදීමත් සමඟම රත්නේට මහනුවරට ස්ථාන මාරුවක් ලැබිණ. ගොවීන්, කම්කරුවන්, ලිපිකරුවන් හඬා වැදෙද්දී ඔහු අම්පාරෙන් සමුගත්තේය.
මහනුවර නිවාස දෙපාර්තමේන්තුවේ බලය ලත් නිලධාරියා ලෙස විශ්‍රාම ලබන තුරු ඔහු සේවය කළේය.
එහිදී ඔහුට කෑගල්ල දිස්ත්‍රික්කයේ සංගීත අධ්‍යාපන අධ්යක්ෂ වීරසේන ගුණතිලක මහතාගේ ඇසුර ලැබිණ. එතුමා ජන සංගීතය පිළිබඳ පර්යේෂණ කටයුතුවල යෙදුණේය.
“අපේ සංගීතය ගොඩනැඟිය යුත්තේ දේශීය ජන සංගිතය පදනම් කරගෙනයි.” යන මතයේ පිහිටි රත්නේ වීරසේන ට එකතුවිය. ඔහු දන්නා ගම්මානවල පරපුරෙන් පරපුරට ආ සංගීතය ගුණතිලක මහතාට සමීප කෙළේය. ඒ ගමන් රසමුසු විය.
වේදිකා නාට්‍ය ශිල්පියකු වශයෙන් ද රත්නේ සතු කුසලතා අවස්ථා රැසකදී මතු වූවේය.
මධ්‍යම පළාත් ලේඛක සංවිධානය බිහිවීමට ඔහු ද මුල් විය. දස වසරක්ව ඔහු එහි සභාපති ධුරය දැරුවේය.
ඉංගිරිසියෙහි ආ උසස් නවකතා රැසක් ඔහුගෙන් සිංහලයට නැඟිණ. චීන ජනකතා නමින් ඔහු ලියූ පොත පාසල් දරුවෝ සතුටින් පිළිගත්හ.
දිවයින ඉරිදා සංග්‍රහය ආරම්භ කරන විට එහි සංස්කාරක දයාසේන ගුණසිංහ මහතා එක් එක් ප්‍රදේශ නියෝජනයට සුදුසු ලේඛකයන් තේරුවේය. උඩරට ජනතාව නියෝජනයට සුදුස්සා ලෙස ඔහුට පෙනුණේ රත්නායක වනසිංහය.
ඔහු ‘උඩරට සන්දේශය’ නමින් සතිපතා තීරු ලිපියක් දිවයින ඉරිදා සංග්‍රහයට ලීවේය. ඒ තීරු ලිපිය උඩරට ජනතාවගේ හඬ විය. ගුණසිංහ මහතාගේ බලාපොරොත්තු ඉන් ඉටුවිය.
“කොන්ද පණ නැති, මන්දගාමී, කන්ද උඩරට ලොකු උන්දැලාගේ අන්ධ භාවයට බේත් දෙන්නට කාලය ඇවිත්” ඔහු ලීවේය.
කන්දඋඩරට දිසා ඇමතිවරුන්ට, ඇමතිවරුන්ට, නගරාධිපතිවරුන්ට, රත්නේ දෙන පහරින්, කන්ද පහළ පහතරට සිටින දිසා ඇමතිවරුන්ට ද ඇමතිවරුන්ට ද නගරාධිපතිවරුන්ට ද රිදිණ. උන්ගෙන් මේ පරුෂ බස් නැඟිණ.
“මං ගැහුවේ මුන්ට. උන්ටත් වැදිලා තියෙනවා. ඒකට මං මක් කරන්නටද ආයිබෝං”
රත්නේ දිනක් සංස්කාරකවරයාගෙන් ඇසුවේය.
ඔහු ලියූ හැම තීරු ලිපියක්ම ජනප්‍රිය විය. සිය දයාබර බිරිඳ වන කමලා වනසිංහ මහත්මියගේ සාදර සත්කාර මැද ලෙඩ ඇඳට වැටී දිගුකලක් ගෙවූ, රත්නේට තමා බැලීමට එන සටන් සගයකු, ලේඛක මිත්‍රයකු වන මාතලේ පියදාස වැලිකන්නගේ දකින විට ඔහුගෙන් මෙසේ කියැවෙයි.
“වැලි, උඹ කාලද ඉන්නේ? කාල නැත්නම් කුස්සියට ගිහින් පිඟානක් අරගෙන කෑම ටිකක් බෙදාගෙන කාල වරෙන්.”
“මං කාල ආවෙ රත්නේ,” වැලිට කියැවෙයි.
ඉන්පසු කතාව ඇරැඹෙයි. ඒ එකම කතාවකි.
“වැලි, අපි හිතලු දේවල් කර ගන්න බැරි වුණා. මේ බිමේ සමාජවාදය ගොඩනඟන්නනේ හිටියේ. ඒක අපට බැරිවුණා. උඹ කියන්නෙ ඒක හරියන වැඩක් නොවේද?
“එහෙම කියන්න එපා රත්නේ, උඹ කොමියුනිස්ට් පක්ෂෙ ඉදන් එහෙම හිතුව. මම සමසමාජෙ ඉදන් එහෙම හිතුව. අපි දෙන්නම පක්ෂයක් නැතුවත් එහෙම හිතුව. මේ ලෝකෙ තිබෙන ප්‍රශ්න විසඳන්න මොන වාදයකටවත් බැහැ. බල අරගල මෝරල මෝරල යුද්ධ වලින් මහා විනාශයක් එනව. විසඳුම් නැහැ. ප්‍රශ්න විසඳන්න තියෙන්නෙ සමාජවාදයෙන් බව මිනිසුන්ට එතකොට තේරුම් යාවි. කවදහරි ලෝකයම සමාජවාදී වෙනවා.”
“ඒ කාලය වෙන කොට මම නැහැ”
“මමත් නැහැ” පසුගිය කාලයේ ඒ දෙදෙනා හමුවූ බොහෝ දිනවල සංවාදය කෙළවර වූයේ එසේය.
ෙම් අප්‍රේල් 11 වැනිදා වැලි රත්නේ හමුවීමට පැමිණි විට “උඹ කාලද ආවේ” යි ඇසීමටවත්, සමාජවාදය මේ රටේ ගොඩනැඟෙන දවසක් ගැන කතා කරන්නටවත් රත්නේ කෙනෙක් සිටියේ නැත.