
ඔහුට ජීවිතයේ ලොකු බලාපොරොත්තුවක් නොතිබිණි. පාසල් වියේ පටන්ම සිතේ තිබූ ලොකුම බලාපොරොත්තුව වූයේ ගුවන් නියමුවෙකු වීමය. උත්සාහයෙන් ඒ සිහිනය සැබෑ කරගත් ඔහු අදද ඒ අතීතය සිහිපත් කර තුටුවන්නේය. අනූපස් වැනි වියේ පසුවන කපිතාන් ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන හෙවත් ‘පයිලට් සීයා‘ ගේ කතාවයි. ඔහුගේ මේ යටගියාව ගැන දැන ගන්නට ලැබුණේ ඔහු සතුව තිබූ වටිනා අතීත තොරතුරු, ලියකියවිලි රැසක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට බාර දුන් දිනය.
අපි ඔහුගේ කතාව ගැන සවන් යොමු කෙළෙමු.
“මම ෂෙල්ටන් ටෙරන්ස් ගුණවර්ධන. උපන්නෙ 1927 වසරේ අගෝස්තු 17 වැනිදාය. ඒ කටුනායක ආඩිඅම්බලම ගමේ. පාසල් අධ්‍යාපනය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. පාසල් කාලෙ ඉදල ගුවන් නියමුවෙක් වෙන්න ඕන කියන සිතුවිල්ල ආවා. අපේ පාසලේ මට වඩා පන්ති දෙකක් විතර ඉහළ පන්තියක ශිෂ්‍යයෙක් හිටියා පිලිප් රේවත විජයවර්ධන කියල. රේවත අයියා ඉස්කෝලෙ බැල්කනියට ඇවිත් කඩදහි කොළ නවල එක එක හැඩවල ප්ලේන් මොඩල් හදලා එළිමහනට විසිකරනවා. අපි ඉතින් පොඩි උන් නිසා ඒ ටික අහුලාගෙන ඇවිත් දුන්නහම ටොපි චොකලට් වගේ දේවල් තෑගි හැටියට ලැබෙනවා. මේ විදිහට රේවත අයියා අපේ හිත්වල ප්ලේන් ගැන ලොකු ආසාවක් ඇති කළා.
ඒ වගේම අපේ ඉස්කෝලෙ හිටිය ළමයි දෙන්නෙකුගෙ තාත්තා කෙනෙක් ‘කලම්බු ප්ලයින් ක්ලබ්‘ එකේ ලොක්ක වෙලා හිටියා. එයාගෙ නම හෙලින්ස් එල්ලාවල. නිවාඩුවට එයා දරුවන් බලන්න එනවා. ඒ ආවාම ඔහු ප්ලේන්වලට කැමති අපි වගේ අය රත්මලානට චාරිකාවක් එක්ක යනවා.
මම මේ කියන 1932 විතර කාලෙ රත්මලාන ගුවන්තොටුපොළක් වෙලා තිබුණේ නෑ. එහෙම තමයි මගේ හිතේ ගුවන් යානා පදවන්න ආසාවක් ඇති වුණේ. ඔය ආසාව තමයි පාසල් කාලයෙන් පසුව ගුවන් නියමුවෙක් වෙන්න මාව උනන්දු කළේ ෂෙල්ටන් ගුණවර්ධන සිය අතීත මතකයන් අවදි කරමින් පවසන්නේය.
“මට කලම්බු ප්ලයින් ක්ලබ් එකෙන් පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබාගන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකත් රස කථාවක්. මේකෙ තෝරගන්න පරීක්ෂණයට තිබුණේ කොහෙ හරි තැනකට ප්ලේන් එක අරන් ගිහින් දුන්නහම ඒක නිවැරදිව රත්මලානට පදවගෙන එන කෙනාට ශිෂ්‍යත්වය ලැබෙන විදියට. ඉතින් මාවත් ප්ලේන් එකේ ගෙනිහින් කීව දැන් රත්මලානට යන්න කියල. උඩ ඉදං වටපිට බලපුහම කොළඹ වරාය. ටිකක් වෙලා කල්පනා කරපු මට මතක් වුණා වැල්ල දිගේ ගියොත් රත්මලානට යන්න පුළුවන් නේද කියල. ඉතින් මම එහෙම කළා. ඒකෙන් මට ප්ලේන් පදවන්න ඉගෙන ගන්න ශිෂ්‍යත්වයක් ලැබුණා.“ ඔහු සිනාසෙමින් පවසන්නේ ජයග්‍රාහී ලීලාවෙනි.
එසේ වුවත් ගුවන් නියමුවෙකු වෙන්නට පාසල් කාලයේ සිටම හීන මැවූ ගුණවර්ධන බැංකුවක සේවයට ගියේය. එහෙත් ගුවන් නියමුවෙකු වීමේ සිහිනය සිතෙහි පැලපදියම් වී තිබුණේය.
“මම ඉස්කෝලෙන් අයින් වෙලා බැංකුවක රැකියාවක් කළා. එහෙම කළේ රස්සාවක් ඕනැ නිසා මිසක් හිතේ කැමැත්තෙන් නෙවේ. මගේ හිතේ තිබුණෙ කවද හරි ගුවන් නියමුවෙක් වෙන්න ඕනැ කියන බලාපොරොත්තුවයි. ඔය කාලෙ දෙවෙනි ලෝක යුද්දෙ ලංකාවටත් ආව. ඉංග්‍රීසි සුදු මහත්තුරු ටිකක් එකතුවෙලා ඒරෝ ක්ලබ් එකක් පටන් ගත්තා. ඒකෙන් ලැබුණ අවුරුදු තුනක ශිෂ්‍යත්වයකින් තමයි මම වාණිජ ගුවන් ගමන් වලට ගැළපෙන විදියට ප්ලේන් එළවන්න ඉගෙනගත්තෙ. ඒ පාඨමාලාව අවසන් වුණ ගමන් මම 1947 දී එයාර් සිලෝන් එකට බැඳුණා. 1959 වගේ වෙනකන් සේවය කරල පස්සේ එයාර් සිලෝන් එකෙන් ඉවත්වෙලා එංගලන්තෙට ගියා. එංගලන්තයේ ගුවන් සමාගම් කිහිපයකම වැඩකරල 1985 අවුරුද්දෙ මම විශ්‍රාම ගත්තා.
වසර ගණනක් තුළ ගුවන් නියමුවෙකු ලෙස සමාගම් කිහිපයක සේවය කළ ඔහු අතීත තොරතුරු සිහිපත් කරන්නේ දැඩි ආඩම්බරයෙනි. ඔහුට ඇත්තේ බී ශ්‍රේණියේ ගුවන් බලපත්‍රයකි.
“50 දශකයේ ලංකාවෙ තිබුණ හැම යානාවක්ම වගේ පදවන්න පුළුවන් විදියට මට ගුවන් නියමු බලපත්‍රයක් තිබුණා. ඒක නිකුත් කළේ 1949 ඔක්තෝබර් 29 වෙනිදා. සිවිල් ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කෙනෙක් වෙලා හිටිය ඩේවිඩ් පීරිස් මහත්තයාගේ අත්සනින් ඒකෙ Aero 45, Sokol MID, Tiger Moth 82A, Auster MK. V, Auster J. I, Pushpak MK1 වගේ යානා මාදිලි සටහන් කරලා තිබුණා. පස්සෙ මම වාණිජ නියමු බලපත්‍රයත් ලබාගන්න කටයුතු කළා. මගෙ ලයිසන් එක “බී” ගණයේ එකක්. ඒ කාලේ නියමු බලපත්‍ර වර්ග තුනක් තිබුණා. A, A 1, B විදියට තමයි නම් නම් කරලා තිබුණේ. ලයිසන් එකක් තියෙන කෙනෙකුට අයිති වෙන්නේ පෞද්ගලික නියමුවෙක් විදියට වැඩකරන්න විතරයි. ඒ කියන්නෙ තමන්ට තනියම යානාවක් පැදවිය හැකියි. ලයිසන් එකක් තියෙන කෙනෙකුට මෘත දේහ වගේ දේවල් ගෙනියන්න හැකියාව තිබුණා. වැදගත්ම A ලයිසන් එක. ඒක තියෙන කෙනෙකුට විතරයි ගුවන් බඩු අරගෙන වාණිජ ගුවන් ගමන් යන්න අවසර තිබුණේ. ් 1 ලයිසන් එකක් තියෙන කෙනෙක්ට පුළුවන් මෘතදේහ වගේ දේවල් අරගෙන යන්න.වැදගත්ම ලයිසන් එක තමයි ා ලයිසන් එක. ා ලයිසන් තියෙන කෙනෙකුට පුළුවන් මිනිස්සු, ගුවන් බඩු ආදිය අරගෙන වාණිජ ගමන් යන්න අවසර තියෙනවා.
ඉස්සර ප්ලේන් එක හසුරවන්න බොත්තම් කියල මහා ගොඩක් තිබුණේ නෑ. අතින් ඇන්ජිම කරකවල පණගන්වල තමයි අපි වැඩ කළේ. ටයර්වලට හුළං ගහන්නෙ තෙල් දමන්නේ, දූවිලි පිහිදාන්නෙ, නියමුවා විසින්මයි. ප්ලේන් එක අහසට ගත්තහම වේගය පාලනය කරගන්න, මුහුණට වදින හුළං ධාරාව හුඟක් වැදගත් වුණා. ඒ වගේම කනට ඇගෙන ශබ්දය. ඒ කාලෙ ගුවන් යානා පදවන්න හුඟක් මොළේ වෙහෙසන්න වුණා. අද තාක්ෂණය දියුණු නිසා නියමුවාට පහසුවෙන් යානාව එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒ කාලෙ හැමතිස්සෙම පාලක මැදිරි එක්ක කථා කරන්න පහසුකම් තිබුණේ නෑ. ගස්, ගල්, කඳුවැටි, ජලාශ වගේ දේවල් මඟ සලකුණු විදියට තියාගෙන තමයි ගමනාන්තයේ ගුවන්තොටුපොළවල් හොයා ගත්තෙ.
ඒ වගේම ධාවන පථයේ භූමිතෙල් ලාම්පු කුප්පි පත්තු කරල තියල තමයි අඳුරු වෙලාවට යානාව ගොඩබැස්වීම සිදුකළේ. හදිස්සියේ හරි ගොඩබස්සවන්න එපා නම් රතුපාට ටෝච් එළියක් දල්වනවා. එහෙම නැත්නම් කොළපාට එළියක් දැල්වුණොත් ගොඩබහින්න පුළුවන්. අපිට හැමතිස්සෙම අවධානයෙන් ඉන්න වුණා වගේම මොළේ පාවිච්චි කරල වැඩ කරන්නත් වුණා.
නියමු ජීවිතයේ අමතක නොවන සිදුවීම් එහෙම බොහොමයක් ඇති.
අනන්තවත් සිදුවීම් තියෙනව, ඒ වගේම පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවට අයිති රජයේ උක් වගා බිමකට තෙල් හා දියර පොහොර ඉසින්න ගුවන් යානාවක් යොදාගන්න ඕන කියල යෝජනාවක් ඒ කාලෙ ආව. ඒකට වෙන කෙනෙක් හිටියෙ නෑ, මම තමයි ඉදිරිපත් වුණේ. Tiger Moth කියන වර්ගයේ යානාවක් යොදාගෙන එක වතාවකට ගැලුන් 35 ක් විතර වගේ කෘමිනාශක තෙල් ඒ යානාවෙන් උඩට ගෙනිහිං කිහිපවතාවක්ම උක් වගාවට යෙදුවා. එදා ඒ වගේ දෙයක් සිදුවුණේ ලංකාවෙ පළවෙනි වතාවටයි. අහල පහල තිබුණ ගස්වලින් යානාව පරෙස්සම් කරගෙන හොඳින් වැඩේ අහවර කළා“
යොවුන් වියේදි කළ දස්කම් ගැන ඔහු පවසන්නේ මහත්ම වූ ආඩම්බරයෙනි. මේ වනවිට අනූපස්වැනි වියෙහි පසුවන කපිතාන් ෂෙල්ටන් ගුණවර්ධනයන් බොහෝ දෙනෙකු හඳුන්වන්නේ ‘පයිලට් සීයා‘ යන අන්වර්ථ නාමයෙනි.
තම ජීවිතයේ බොහෝ සුන්දර වූ ගුවන් සේවාවේ සන්ධිස්ථාන පිළිබඳව සිය මතකය ආවර්ජනය කරන කපිතාන් ගුණවර්ධන සිය ගුවන් නියමු බලපත්‍ර සහ ඔහු විසින් සිදුකළ පියසැරීන් පිළිබඳ සියලු සටහන් තැබූ ලොග් සටහන් පොත් ද සංරක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට භාරදීම පසුගියදා සිදු කරන ලදී. එම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ අතිරේක අධ්යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මහතා එක් විය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් ගුවන්සේවා ක්ෂේත්රයේ ඉතිහාසගත තොරතුරු ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීමේ අරමුණින් එම තොරතුරු සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත මූලිකත්වයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන්ගේ උපදේශකත්වය සහ මඟපෙන්වීම යටතේ ය.