නිල්වලා ගඟෙන් දිවි ගමන නිමාකරන්නෝ | සිළුමිණ

නිල්වලා ගඟෙන් දිවි ගමන නිමාකරන්නෝ

කිමි­දු­ම්ක­රු­වකු  විසින් දරු­වක් බේරා­ගත් අව­ස්ථා­වක් මවක සහ දරු­වෙකු මහා­නාම පාල­මෙන්   ගඟට පැනී­මෙන් පසු රැස් වූ ජන­තාව

 

දිවි­නසා ගැනීම සඳහා මූලික වන කරුණු අතර සිය­යට පන­හක් (50%) තරම් මාන­සික රෝග හා ඒ ආශ්‍රිත කරුණු මත සිදු­වෙ­නවා. විෂා­දය වැනි මාන­සික ස්වභා­ව­යන් ඊට බෙහෙ­වින් ඉව­හල් වෙනවා. විෂා­දය අප සමා­ජය තුළ හෙම්බි­රි­ස්සාව තර­මට ව්‍යාප්තවී පව­ති­න්නකි. හේතු­වක් ඇතුව හෝ නැතිව දුකෙන් සිටීම එහි ස්වභා­ව­යයි. දිගින් දිග­ටම බලා­පො­රොත්තු කඩ­වීම ඇති­වන (ඉච්ඡා­භං­ග­ත්වය) මාන­සික අස­හ­නය ඊට හේතු භූත වෙනවා. ඒ හැරුණු විට සිය­දිවි හානි කර ගැනී­මෙ­හිලා අව­දා­නම් ඇති පිරිස වශ­යෙන් හඳු­නා­ගෙන ඇත්තේ නිද­න්ගත රෝගීන්, අවි­වා­හ­ක­යින්, වැන්ද­ඹු­වන්, වය­ස්ගත වූවන්, ප්‍රේම සබ­ඳතා බිඳ­වැ­ටුණු අය, මධු­ලෝ­ලීන්, විභාග ආත­ති­යට පත්වූ­වන්, ආත්ම­ග­රු­ත්ව­යට හානි­වූ­වන් ආදී පිරි­සයි.

‘දක්ෂිණ ප්‍රාකාරය‘ යැයි විරුදාවලි ලබන ශ්‍රී ලංකාවෙහි දකුණු දිග උස්බිමෙහි පහළ කඳු පන්ති අතරින් ගලා එන පුළුල් පෝෂක ප්‍රදේශයකට හිමිකම් ඇති නිල්වලා නදිය මාතර නගරයේ කෘතීම කැටයම් ස්වාභාවික සුන්දරත්වයට පත්කෙරෙන සොබා දසුනකි. එය මාතර නගරයට ආභරණයකි. ජනතාවට අභිමානයකි. මතුපිටින් නිසොල්මන්ව තිබුණද ඇතුළතින් වේගවත් ගලායාමක් සහිත නිල්වලා නදියේ අලංකාරයට මෙන්ම ආඩම්බරයටද අභියෝග කරන, නිගාදෙන අසුන්දර ඛේදවාචකයන් වසර කීපයක සිට සිදුවෙමින් ඇත්තේ ප්‍රදේශයටම කළු පැල්ලමක්ද එක්කරමිණි.

මනස දුර්වල වූවන්ගේ ජීවිතයට අවසානය ගෙන දෙන තැනක් මෙන්ම පවුල් අවුල් කරන, දරුවන් මෙලොව තනිකරණ හා අසරණ කරන තැනක් බවට නිල්වලා නදියත් ආකර්ෂණීය මහානාම පාලමත් පත්කර ගැනීම පිටුපස ඇත්තේ සියලුදෙනාගේ අවධානයට ලක්විය යුතු කතාවකි. උසස්වූ මනසක් ඇති හෙයින් මිනිස් යනුවෙන් හැඳින්වුවද එම මිනිසුන්ම දුර්වල මනසකින් යුතුව හැසිරෙනා බවට කදිම සාක්ෂි මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන සියදිවි හානිකර ගන්නා පිරිස් විසින් සපයා ඇත. 2014 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පොලිස් නිල සටහන් ලේඛන අනුව මහානාම පාලමෙන් නිල්වලා ගඟට පැන පස්දෙනෙකු සියදිවි හානිකරගෙන ඇති අතර ගඟට පනින්න සූදානම්වූ කාන්තාවකගේ හා වැඩිහිටි පුද්ගලයෙකුගේ ජීවිත පොලීසිය, මාධ්‍යවේදියෙකු, මඟීන් හා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇත.

2015 වසර තුළ පස්දෙනෙකු ගඟට පැන සියදිවි හානිකරගෙන ඇති අතර එම වසරේ නොවැම්බර් මස 16 දින දහවල් ගඟට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ කාන්තාවක් ප්‍රදේශවාසී තරුණයෙකුගේ උපකාරයෙන් බේරාගනු ලැබී ය.

2016 වසරේ මාර්තු මස පහළොස්වැනි දින මාතර දැල්කඩ ප්‍රදේශයේ පනස් හත් හැවිරිදි පුද්ගලයකු ගඟට පැන සියදිවි හානිකරගෙන තිබූ අතර 2017 වසරේදී මාතර තොටමුණ ප්‍රදේශයේ තිස් අට හැවිරිදි අයෙකු, මාතර හක්මණ පාරේ හතලිස් දෙහැවිරිදි පුද්ගලයකු හා රොටුඹ ප්‍රදේයේ අවුරුද හැත්තෑ හතක් වයසැති අයෙකු ගඟට පැන සියදිවි හානිකරගෙන තිබූ බව පොලිස් වාර්තාවල සඳහන්ය.

මෙයට අමතරව 2018 වසරේ ජූනි, සැප්තැම්බර් හා නොවැම්බර් මාසවලදී මාතර වෙහෙරහේන, වැලිවේරිය හා වේරගම්පිට ප්‍රදේශවල පඳිංචි වයස අවුරුද අසූපහක් හා හැත්තෑ නවයක් වූ පුද්ගලයින් දෙදෙනෙකු හා වයස අවුරුදු අසූ තුනක්වූ කාන්තාවක් ගඟට පැන සියදිවි හානිකරගෙන තිබුණි. 2019 වසරේ වාර්තා වී ඇත්තේ එක් සියදිවි හානිකර ගැනීමක් වන අතර එලෙස මියගොස් සිටියේ හක්මණ ගංගොඩගම පදිංචි පනස් නවය හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය වසරේ එවැනි සිදුවීමක් වාර්තා නොවූව ද ආසන්නතම සිදුවීම ලෙස 2021 මාර්තු මස 24 හා 26 දෙදින තුළ නිල්වලා ගඟට පැන දිවි තොරකරගැනීම් දෙකක් පොලිස් වාර්තාවල සඳහන්ය.

ඉන් 24 වැනි දින ගඟට පැන සියදිවි හානිකරගෙන තිබුණේ කැකණදුර පුදේශයේ විසිනව හැවිරිදි කාන්තාවකි. 26 දින තොටමුණ ප්‍රදේශයේදී නිල්වලා ගඟේ පාවෙමින් තිබියදී තවත් අයෙකුගේ හඳුනා නොගත් මෘත ශරීරයක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ මෘත ශරීරය භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවූයෙන් එම මෘත ශරීරය මේ වන විටත් මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පැවසීය.

දිවි නසාගත්තවුන් අතුරින් වැඩි පිරිසක් මාතර නගරයෙන් දුර බැහැර අයයි. 2014.03.10 ගඟට පැන සියදිවි හානි කරගත් සචින් මධුවන්ත ඩයස් නම් දාහත් හැවිරිදි තරුණයා පානදුරේ පදිංචිකරුවෙකි. 2014.04.24 දරුවන් දෙදෙනාද ගඟට විසිකර ගඟට පැන සියදිවි හානිකරගත් කන්දේ සමින් ද සිල්වා තිස් අට හැවිරිදි දික්වැල්ල රත්මලේ නෙළුම් වැව පදිංචිකරුවෙකි.

2014.05.12 සියදිවි හානිකරගත් හතලිස් එක් හැවිරිදි සමෘර්ධි නියාමකවරියක වූ මධුරප්පෙරුම ආරච්චිලාගේ චිත්‍රා මාග්‍රට් තංගල්ල නාකුළුගමුව පඳිංචි දෙදරු මවකි. 2014.05.22 සිය ජීවිතය නැතිකර ගනිමින් මහානාම පාලමෙන් ගඟට පැන්න ලංකා බැංකුවේ විශ්‍රාමිකයකු වූ පනස් අට හැවිරිදි හේවා ගොඩැල්ලවත්තගේ උපාලි මාතර වල්ගම පඳිංචිකරුවෙකි.

එමෙන්ම සියදිවි හානිකරගත් හොරගොඩ පැලවත්තගේ සංජීව නිශාන්ත නම් විසි අට හැවිරිදි හමුදා භටයා ද තෙලිජ්ජවිල අකුරුගොඩ පඳිංචි අයෙකි. එමෙන්ම 2015.02.18 දින සියදිවි හානිකරගත් හැට හැවිරිදි සුනිල් මනම්පේරි කඹුරුගමුව පදිංචි අයෙකු වන අතර 2015.05.31 ගඟට පැන සියදිවි හානිකරගත් වනිගාබදුගේ සරත්චන්ද්‍ර හා බදුගේ නිමල් වල්ගම හා මිරිස්ස පදිංචි අය වෙති.

මෙම සියදිවි හානි කර ගැනීම් වලින් 90% ක්ම පවුල් ආරවුල් හේතුවෙන් සිදුවූ ඒවා බව ඒ සම්බන්ධයෙන් සිදුකර ඇති පොලිස් පරීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් පෙනී යයි. මාතර මහාමන්තින්ද පිරිවෙන් විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමියන් පවසන්නේ එසේ සියදිවි හානිකර ගන්නා අයට සුගතියක් නොමැති බවයි.

‘ඒ මොහොතේ හටගන්නා සිතිවිලි මත මෙය සිදුවෙනවා. එවැනි අයට සිදුවන්නේ අපාගත වන්නටයි. මූලික බුදු දහමට පටහැනිව අද සමාජයේ ගිහි පැවිදි දෙපාර්ශ්වයම හැසිරෙනවා. මේ තත්ත්වය තුළයි මෙම සමාජ විපර්යාසය සිදුව තිබෙන්නේ. මෙය වෙනස්විය යුතුයි. නරක සිතිවිලි දිගින් දිගටම ක්‍රියාත්මක වීම තුළින් මෙය සිදුවෙනවා. ගෙල වැළලාගෙන මිය යාම, වස පානය කිරීම, කෝච්චියට පැනීම වැනි ඕනෑම සියදිවි හානිකර ගැනීමකදී අත්වන්නේ අපාය. මෙවැනි අයට මිනිස් ආත්මයක්වත් ලබාගත නොහැකි බව බුදු දහමේ දැක්වෙනවා. ආත්ම භාවයක් ලැබීම පිළිබඳ පේත වත්තු විමාන වත්තුවල මැනවින් විග්‍රහ කර තිබෙනවා. නරක චේතනාවකින් කරණ දෙයට නරක ප්‍රතිඵලත් යහපත් චේතනාවෙන් කරන දෙයට යහපත් ප්‍රතිඵලත් අත්වීම ඒකාන්තයි. මෙය බුදු දහමේ මැනවින් විග්‍රහ කර තිබෙනවා.‘

රුහුණු විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය එස්. එල්. ජේ. ප්‍රනාන්දු පවසන්නේ මෙම අසුන්දර ඛේදවාචකය මෑත භාගයේ වර්ධනය වූ බවයි. ‘‘බොහෝ දෙනා තුළ සියදිවි හානි කර ගැනීමට චෛතසික වර්ධනය වන්නේ සමාජ අසාධාරණය, සමාජයීය ආර්ථික ගැටලු, වෛරය, ක්‍රෝධය වැනි සෘණාත්මක සිතිවිලිවලින් පැන නැඟෙන ක්ෂණික තීරණය නිසයි. එම පුද්ගලයාට සමාජ හෝ පුද්ගල අසාධාරණය නැතහොත් ගැඹුරු ගැටලුව සමාජයේ බොහෝ පිරිසකට දැනුවත් කර සියදිවි හානිකරගැනීම වඩාත් ඵලදායී යන අදහසට සාධාරණත්වයක් ඉටු කිරීමට මෙම ස්ථානය තෝරා ගත්තා විය හැකියි.

බොහෝ සියදිවි හානි කරගත් අය ගඟට පැන ඇත්තේ යුද හමුදා කඳවුර තිබෙන සීමාවෙන් වීම ඔවුන්ගෙන් බහුතරය තමාගේ ජීවිතයට වඩා සමාජයට දඬුවම් දීමට කැමති, මුළුමනින්ම ජීවිතය හානි කරගැනීමට නොකැමති අයයි. යුද හමුදා සෙබළුන් විසින් ඔවුන් බේරා ගනීවි යන විශ්වාසය ඔවුන් තුළ පවතින්නට ඇතැයි යන්න මෙහිදී උපකල්පනය කළ හැකියි.‘

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක පේමපාල පතිරණ පවසන්නේ අනෙකුත් ජීවීන්ට මෙන්ම මිනිසාටද ස්වාභාවික මරණය හිමි බවත් ඊට එරෙහිව තමා විසින් තම ජීවිතය අහිමි කර ගැනීම වූ කලී අතිශය ඛේදනීය සංසිද්ධියක් බවයි.

‘එය සමාජ ආර්ථික හා සංස්කෘතික ගැටලුවක්. එය අධ්‍යාත්මික ගැටලුවක්. එය අයහපත්වූ ද ලෙඩවූ ද සමාජයක හැඩරුව කියාපාන්නකි. මානව ශිෂ්ටාචාරයට අභියෝගයකි.

දිවිනසා ගැනීම සඳහා මූලික වන කරුණු අතර සියයට පනහක් (50%) තරම් මානසික රෝග හා ඒ ආශ්‍රිත කරුණු මත සිදුවෙනවා. විෂාදය වැනි මානසික ස්වභාවයන් ඊට බෙහෙවින් ඉවහල් වෙනවා. විෂාදය අප සමාජය තුළ හෙම්බිරිස්සාව තරමට ව්‍යාප්තවී පවතින්නකි. හේතුවක් ඇතුව හෝ නැතිව දුකෙන් සිටීම එහි ස්වභාවයයි. දිගින් දිගටම බලාපොරොත්තු කඩවීම ඇතිවන (ඉච්ඡාභංගත්වය) මානසික අසහනය ඊට හේතු භූත වෙනවා. ඒ හැරුණු විට සියදිවි හානි කර ගැනීමෙහිලා අවදානම් ඇති පිරිස වශයෙන් හඳුනාගෙන ඇත්තේ නිදන්ගත රෝගීන්, අවිවාහකයින්, වැන්දඹුවන්, වයස්ගත වූවන්, ප්‍රේම සබඳතා බිඳවැටුණු අය, මධුලෝලීන්, විභාග ආතතියට පත්වූවන්, ආත්මගරුත්වයට හානිවූවන් ආදී පිරිසයි.

සියදිවි හානි කර ගැනීමට තැත්කරනා අය අතුරෙන් සියයට හැට පහක් (65%) තරම් ප්‍රමාණයක් එබඳු මානසික තත්වයකින් සිටින බව හෝ එබඳු සිතක් නිතර පහළ වන බව ප්‍රකාශ කරනු ඇත. අවම වශයෙන් ඒ බැව් තමාට සමීප වගකිව යුතු හතර දෙනෙකුටවත් ප්‍රකාශ කරන බැව් හෙළිදරව් වෙනවා. එසේ ප්‍රකාශ කිරීමෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න අප වටහා ගත යුතුයි.

ගඟට පැන්න අයෙකු පිළිබඳ විමසිලිමත්වන ජනයා නිල්වලා පාලමේදී.

අවසන් මොහොතේ හෝ තමාට කවුරුන් හෝ පිහිට වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. තමා පිළිබඳව අවධානය යොමු කරවා ගැනීමට ඇති වුවමනාව මෙහි මූලික හැඟීමයි. ඒ නිසා එබඳු අය කරන කියන දෑ පිළිබඳව සමාජයක් හැටියට සංවේදී විය යුතුයි.

එසේ නොමැතිවූ විට තමාට සමීපවූවන්ට පාඩමක් උගන්වන්නට ඔවුන් සියදිවි හානිකර ගැනීමට තෝරාගනු ඇතැයි අනුමාන කළ හැකියි. හුදු මහත් සමාජයටම පාඩමක් කියාදීමට මෙන් වැඩි පිරිසකගේ අවධානයට හා තමාට කථාබහට ලක්වන ආකාරයෙන් එවැන්නක් සිදු නොකළ යුතු බව කිව යුතුමය.

 

 ජයසිරි පේදුරුආරච්චි, ගන්දර සමූහ

 

Comments