දියත උයනේ අත්කම් පොළ | සිළුමිණ

දියත උයනේ අත්කම් පොළ

 

 

කොළොම්පුරයේ ගිනි අව් කූටකේ අහස සිපගන්නා කොන්ක්‍රීට් වනාන්තරයේ ග්‍රීෂ්මයෙන් විඩාපත් වූ අප, අතීතයේ සිරිලක ශ්‍රී විභූතියෙන් බැබළවූ ශ්‍රී ජයවර්ධනපුරය බලා ලේක්හවුස් රථයෙන් පියෑඹුවෙමු. පේන තෙක් මානයක, හෙමින් සීරුවට නිල් දිය රැළි නංවන, සොඳුරු දියවන්නාව සමීපයේ පිහිටි මනරම් බිම් කඩකට පිවිසුණු අප දෙනෙත් විවර කර හාත්පස සිසාරා බැලුවෙමු. ‘දියත උයන’ ලෑලි පුවරුවක කොටා තිබුණි.

 

තැනින් තැන සුදු නෙළුම්, රතු නෙළුම් මල් හිනැහෙන කුඩා පොකුණුය. පසෙක කාල වර්ණ තුරුලතා, ගහකොළ සපිරි වන පෙතකි. වන පෙතට සමගාමීව ගලා යන දිය අගලකි. සිත් සේ දිය කෙළිනා තිත්ත පැටවු රංචුවකි. ඊට සමීපව ඇවිදින මංතීරුවකි. මංතීරුව දිගේ ගමන් කරන විට අතර මඟ හමුවන ළමා උද්‍යානයකි.

කලබලකාරී අවිවේකී ජීවිතයෙන් මොහොතකට අත්මිදී තම ළමා ළපටින් සමඟ සතුටින්, සැහැල්ලුවෙන් ගත කිරීමටත්, තමන්ට අවශ්‍ය බොහොමයක් දේ එකම පියසකින් මිලදී ගැනීමටත් බොහෝ දෙනෙක් දියත උයනට පැමිණෙති‍. සතියේ දින හතේ ම විවෘතව තබන අතර සතියේ දිනකට සාමාන්‍යයෙන් 500 පමණ පිරිසක් පැමිණෙති.

දේශීය නිෂ්පාදකයන්ගේ නිමැවුම් අලෙවි කරගැනීමටත් ගුරුදා පොළ නමින් ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය සෑම බ්‍රහස්පතින්දාවකම පැවැත්වෙයි. ඊට අමතරව දියත උයනෙන් නිවසට අවශ්‍ය බොහෝ දෑ මිලදී ගත හැකි කුටි රැසකි. දියත උයනේ කෙ‍ළවරකට වන්නට හෙජර්ස් කෝට් හෝටලයයි. හාත්පස ඇත්තේ අපූරු සුන්දර පරිසරයකි. තුරු ගොමු, මල් වියන් අතර කෘත්‍රිම දිය දහරාවලින් විහිදෙන ජල වාෂ්ප ගතට සිසිලසක් දනවයි. මල් ගොමුවේ ඔබ මොබ සරනා සමනලයන්, කීචි බීචි හඬ නගමින් කැලෑ රොදේ එහෙට මෙහෙට ඉගිළෙන බට්ටිත්තන්, දෙමලිච්චන්, ගිරා මලිත්තන්ගේ ප්‍රිය දසුන් නෙතට රසඳුනකි.

මෙහි වෙළෙඳාම ගැන අපි කිහිප දෙනෙකුගෙන් විමසුවෙමු. ගොඩගම සිට පැමිණ තිබුණු එස්. ඩී. ‍ධර්මරත්න (66) අලෙවි කරන්නේ, ආහාර අතිරේක වර්ගයි. කරවිල, වැල්පෙනෙල, මුරුංගා අඩංගු පෙති, කරල්, කුඩු, සුප් කැට මිලදී ගන්න හැකියි. අපි මේ කුටියකට දවසකට රු. 1200 ගෙවනවා; පහත් බිම් සංවර්ධන මණ්ඩලයට”

දියත උයනේ විවිධ වර්ගවල ප්‍රදර්ශන කුටි 250 පමණ ඇත. සමහර කුටි දින 7 විවෘත වන අතර ඇතැම් ඒවා දින කීපයක් විවෘතව පවතී. බියගම සිට පැමිණ මැටි භාණ්ඩ අලෙවි කරන සුසීමා කුමාරි (44) අවු. 10 පමණ සිට මෙහි වෙළෙඳාමේ යෙදෙයි. මැටි මල් බඳුන් කු‍රුලු කූඩ, බොයිලේරු, කරිදීසි, ගුරුලේත්තු, මැටි පහන්, සෑම වර්ගයකම මැටි බඳුන් විකිණීමට ඇත.

ඇය අප හා මෙසේ පැවසීය.

අපි මේ විසිතුරු මැටි බඳුන් අපේ නිවසේ හදන්නේ. සමහර ඒවා පිටිනුත් ගන්නවා. හැම වර්ගයක මැටි නිපැයුම් අපි හදනවා. ගමේ හුඟාක් අය මේ කර්මාන්තය කරන්නේ. ඒත් ගමට ලැබෙන්නේ මැටි කිලෝ 5 යි දවසටම. එක මැෂිමයි වැඩ කරන්න තියෙන්නේ.

විදේශිකයන් පවා එනවා අපෙන් බඩු මිලදී ගන්න. අපේ ගමට මැටි ෆිල්ටර් ෆ්‍රෙස් මැෂිමක් වුවමනායි. එතකොට අපිට පුළුවන් මේ කර්මාන්තේ තවත් දියුණු කරන්න.”

දියත උයන පරිශ්‍රයේ සෑම බ්‍රහස්පතින්දාවකම ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනයකි. එහි ලියාපදිංචි වූ ශිල්පීන් හා ශිල්පීන් හා ශිල්පිනියන්ගේ අත්කම් නිර්මාණ රැසක් මෙහි වේ. තැනක වෙස් මුහුණුය; තවත් තැනක බීරලු හා රේන්දය; තවත් තැනක බෑග්ය; වේවැල් නිපැයුම් හා ගුරුලේත්තු ද ඇත. බැලූ බැල්මට එක යායට විසිරී පැතිරී ඇති මෙම අලෙවි කුටි නෙත් සිත් පැහැර ගනී. ඒ අතර නෙක වර්ණ මල් පිපුණු මල් යායකි; පුංචි පෝච්චිවල සිටවූ පැළවල ගෙඩි පිරිලා ය. බත්තරමුල්ලේ සිට පැමිණි කේ.ඒ. අජන්තාගේ (50) අලෙවි කුටිය අජානි ක්‍රියේෂන් ය. පොල්කටු හා මැටිවලින් නිෂ්පාදිත කරාබු, මාල, කීටැක්, ජුවලරි රු. 50 සිට රු. 1800 දක්වා විකිණීමට ඇත. මේ ඔහුගේ හඬයි. “මේ කී ටැග් හදන්නේ පදම් කළ මැටිවලින්. පිටරටවල අය පවා මේවා රැගෙන යනවා. මට 2013 දී ජනාධිපති සම්මානත් ලැබුණා. සිංගප්පූරුව, අමෙරිකාව, ඉන්දියාව වගේ රටවලින් පැමිණ විවිධ විසිතුරු භාණ්ඩ තොග රැගෙන ගොස් විදේශීය වෙළෙඳ‍පළේ වැඩි මිලට අලෙවි කරනවා. රන් ආලේපිත ඒවා මිල වැඩියි. මම ජාතික මෝස්තර මධ්‍යස්ථානයෙන් ඉගෙන ගත්තා, ජාතික ශිල්ප සභාවත් උදවු කළා. අපිත් සමහර වෙලාවට විදේශ රටවලට ගිහිල්ලත් අලෙවි කරලා එනවා.”

මෙම සියලු නිර්මාණ ඔහුගේ මනසේ මැවී සුරතින් සිත්තම් කළ ඒවාය. ඊළඟට අපට හමු වුණේ හෑන්ඩ්ලුම් අලෙවි කරන යුවළකි. එම්.ටී. මාලනී මාග්‍රට් (72) ඩී.ඩබ්.ඒ.ටී. පද්මසිරි (76) දෙදෙනාගේ ගම ගාල්ලේය. උදේ 10.00 ට දියත උයනට පැමිණෙන මේ යුවළ සවස 8.30 තුරුම රැඳී සිටිති. වූල් රෙදිවලින් වියන ලද අලංකාර ඇඳුම්, ටේබල් මැට්ස්, රේන්ද පටි, කුෂන් කවර, බෙඩ් ෂීට් ආදී විවිධ විසිතුරු නිර්මාණ ඔවුන් සතු ය.‘ බැලූ බැලූ අත විවිධ විසිතුරු නිර්මාණය සමහර අලෙවිසල් අතර සෙනඟ පිරී ඇත. ඇතැම් වෙළෙඳ කුටි කිසිවකුත් නැතිව වේළෙයි. කුඩා දරුවෝ එළිමහනේ එහෙ මෙහෙ දුව පනිමින් කෙළිදෙළෙන් සතුටු වෙති. කෑම අලෙවි හල් අතර රොක් වී සිටින්නේ එ‍වේලේ පිසින උණු උණු ආප්ප, කොත්තු, රයිස් ලෙමන් ජූස්, එළවළු රොටී පීසා මිලදී ගන්නට ය.

අපි බතික් ඇඳුම්, හෑන්ඩ් බෑග්, පර්ස් අලෙවි කරන නන්දනී වික්‍රමගේ (53) අලෙවි කුටිය ළඟ මොහොතකට නතර වුණෙමු. මේ ඇගේ හඬයි.

“අපි කැලණියේ බතික් ඇඳුම් හා වෙනත් අත්කම් නිර්මාණ අපි ගෙදර ඉඳලා Online අලෙවි කරනවා. බිස්නස් හොඳයි. රු. 50 ඉඳලා රු. 2000 දක්වා ශිල්ප සභාව මඟින් ඉදිරිපත් කරන මේ අලෙවි කුටියට එනවා.”

ලෑලිවල විසිතුරු සිතුවම් රැසක් නිමවා ඇති දර්ශනීය කුටියකි. එහි බොහොමයක් චිත්‍ර අතර වැඩිපුරම දක්නට ලැබුණේ බෞද්ධ සිතුවම් ය. දෙගල්දොරුව, දඹුල්ල, මුල්කිරිගල, මාර පරාජය, රාහුල මාතා, සීගිරි බිතු සිතුවම්, දළදා මාලිගයේ කැටයම්, ලී කැටයම්, විසිතුරු ලාම්පු, වෙස් මුහුණු ඒ අතර විය. චිත්‍ර රාමු කර තිබුණේ මහෝගනී, තේක්ක, කොස් ලීවලින් හදන ජනෙල් රාමුවලිනි. මෙම කුටියේ හිමිකරු බොරැලැස්ගමුවේ ඉෂාන් ලක්ෂිත (20) මෙසේ කීය.

“පොඩි කාලේ ඉඳලා මම චිත්‍ර කලාවට දක්ෂයි. සාම්ප්‍රදායික චිත්‍ර අඳින්නෙ වැඩිපුරම කැන්වස් රෙද්දේ පේන්ට්වලින්. සමහර තැන්වල තියන චිත්‍ර ඡායාරූපයට ගෙනැවිත් අඳිනවා. අලි ඇතුන්, ස්වාභාවික දර්ශන වගේ ම බෞද්ධ තේමාවන් අඩංගු චිත්‍ර, බොහොමයක් මම සිතුවම් කරගෙන තියනවා. කොරෝනා නිසා බිස්නස් ටිකක් අඩු වුණා.”‍

දියත උයන පරිශ්‍රයේ විසිතුරු ලාම්පු අලෙවි කරන ජේ. කසුන් හර්ෂණ (42) හා මුල්ලේරියාවේ මධුමාලි පෙරේරා (42) යුවළ සහයෝගයෙන් මෙම ව්‍යාපාරය සිදු කරන්නේ දෙදෙනාගේ දැනුම ද එකතු කරමිනි. කසුන්, කොරියාවේ රැකියාව කරන අතරතුරදී වෑද්දුම් ශිල්පය පිළිබඳව පාඨමාලාවක් හැදෑරූ අතර ජාතික තරුණ සේවා සභාවෙන් පෑස්සුම් ශිල්පය ඉගෙන ගත්තේය. මධුමාලි ෆැබ්රික් ශිල්පය ඉගෙන ගෙන සැමියා සමඟ විසිතුරු ලාම්පු නිර්මාණය කරයි. ගෝනි රෙදි, අමු රෙදි, කෙසෙල් බඩ ආදී විවිධ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන මෙම විසිතුරු ලාම්පු නිපදවයි. මේ ඔවුන්ගේ හඬයි.

“කොරෝනාවට කලින් අපි ලෑම්ප් ෂේඩ් හොටෙල්වලට අලෙවි කළා. සංචාරකයන්ට විකුණුවා. ශිල්ප සභාව අපට අතහිත දුන්නා. ඊට අමතරව ඇණවුම් සඳහා‍ හදලා දෙනවා.”

කෝලම් නාටක සන්නි යකුම ආදියට නැතුවම බැරි වෙස් මුහුණු කර්මාන්තයට ප්‍රසිද්ධ වන්නේ දකුණු ලකේ අම්බලන්ගොඩයි. දියත උයනට වෙස් මුහුණු ගෙන ආ කීප දෙනෙකි. මාලඹේ සනත් කුමාර සිල්වා (34) එක් අයෙකි.

විවිධ හැඩයේ වෙස්මුහුණු කීටැග්, පර්ස්, විසිතුරු නිර්මාණ, සීගිරි බිතුසිතුවම්, අලි රූප, බිත්ති සැරසිලි, විසිතුරු මැටි බඳුන්වලට අමතරව කෑම වර්ග, මුව ආවරණ හා අච්චාරු ද ඔහුගේ අලෙවි කුටියේ තිබුණි. ‘සිළුමිණ’ ට ඔහු මෙසේ කීය.

“වෙස් මූණුවලට කඳුරු, මහෝගනී ලී ගන්නේ ලී මඩුවලින්. සංචාරකයන් මේවට හරි කැමතියි. ඉස්සර බිස්නස් හොඳයි. දැන් අඩුයි. ඒ නිසා මම ත්‍රීවිල් එකක් දුවනවා. මේ කඳුරු ලීයෙන් හැදූ ගණ දෙවි රූපය රු. 10,000 ක් වෙනවා. වෙස් මූණු රු. 2000 – 4000 වෙනවා. මට සම්මාන පවා ලැබිලා තියනවා ශිල්ප සභාවෙන්.”

 

Comments