මේ මාධ්‍ය සංගායනාවකට කාලයයි - ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන තඹවිට | සිළුමිණ

මේ මාධ්‍ය සංගායනාවකට කාලයයි - ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන තඹවිට

රාත්‍රියේ ජොබ්  එක කරලා  උදේට  කැම්පස් ගියා

ජනමාධ්‍යවේදියා මාධ්‍ය නිදහස දරා ගන්නවා සේම ජනතාවගේ පැත්තෙනුත් කල්පනා කළ යුතුයි.  අපි එදිනෙදා දකින, අහන, බලන මාධ්‍ය ඔස්සේ අද එකිනෙකා පරයමින් ගමන් කරන්න හදන  ඒ උත්සාහයේ දී නැති වෙන්නේ  මානව ගෞරවනීය තත්ත්වයන්.

මගේ තාත්තා  රැකියාව විදිහට කළේ  රියැදුරුකම වුණාට  ජීවිත අරගල අතර  මනුෂ්‍යත්වය රකිමින් ජීවත් වීමට මට කියා දුන් ඔහු තමයි මගේ ජීවිතේ මා ගරු කරන සම්මානිත මහාචාර්යවරයා.

ඇය මට මුලින්ම  මුණ ගැහෙන්නේ  මම ඡායාරූප  ශිල්පියෙක් ලෙස  කටයුතු කළ කාලේ සමූහ ඡායාරූපයක් ගනිද්දී

උසස්පෙළ විභාගේ අන්තිම දවසේ දී මිත්‍රයකුගෙන් ඉල්ලන් දාගෙන ගිය සපත්තුවේ අඩිය ගැලවුණා. මට එදා අභියෝගාත්මක වුණේ විභාගේ ලියන එකට වඩා අඩිය ගැලවුණු සපත්තුව වෙනුවට සපත්තුවක් මිත්‍රයට දෙන එක.

 

මේ රටේ පුවත්පත් කොමසාරිස්වරයා ඔහුය. හසරක් නැතිව මහා වාණිජ රැළි අතර ගැටෙමින් කරන මාධ්‍ය භාවිතයේ දී අගතියට පත්වන අපේ රටේ හඬක් නැති අසරණ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ වගකීම දරන එකම ආයතනය වූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය තුළ ප්‍රධානම භූමිකාව දරන රාජ්‍ය නිලධාරියා වූ ඔහු නිරෝෂන තඹවිටය.

 

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ නිලධාරියෙක් ලෙස වෘත්තීය ජීවිතය අරඹා පුවත්පත් මණ්ඩලයේ ද්විතියික සහකාර කොමසාරිස්වරයෙක්, සහකාර කොමසාරිස්වරයෙක්, නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් හා වැඩබලන කොමසාරිස්වරයෙක් ලෙස පුරා වසර 12ක් කටයුතු කර අද පුවත්පත් කොමසාරිස්වරයා ලෙස ජාතික වගකීම දරන නිරෝෂන තඹවිට මෙවර රසඳුන පිළිසඳරට එක් වන්නේ ඒ මහා ජීවිත අත්දැකීම් සම්භාරයක් සමඟිනි.

කෙටි සල්ලාපයකින් අනතුරුව ඔහු සිය ජීවන පුවත පිළිබඳ අතීත මතක පෙළ ගැසුවේ ඒ සිය ළමා කාලයේ මතක සමඟිනි.

“ මගෙ ළමා කාලය අනිත් අයට වඩා වෙනස්. ඒ කතාව ගොඩ දෙනෙක් දන්නේ නෑ. මට තිබුණෙ බොහොම දුෂ්කරව ගෙවපු ජීවිතයක්. මගෙ තාත්තා රියැදුරෙක්. මගේ අක්කලා දෙන්නත් අම්මත් එක්ක ගමේ හැදුණේ. මමයි තාත්තයි හිටියෙ කොළඹ. මම ඉස්කෝලෙ ගියෙ කොළඹ වේළුවන විද්‍යාලයට. තාත්තා වැඩ කළේ කොලොන්නාව ප්‍රදේශයේ ආයතනයක. “

“තාත්තට රිය­ැදුරෙක් විදිහට ලැබෙන්න ඉතා අඩු වැටුපක්. අම්මා ගෘහණියක්. අක්කලා දෙන්නටයි මගෙ අධ්‍යාපනයටයි, කොළඹ තාත්තටයි මටයි ජීවත් වෙන්නයි උපයන මුදල සතේට කළමනාකරණය කරන්න තාත්තට සිද්ධ වුණා. තාත්තා මාව නැවැත්තුවේ නැන්දලා දෙන්න ළඟ. ඔවුන් දෙන්නා මට මගේම අම්මා වුණා. මාමා තමයි මට දෙවෙනි තාත්තා වුණේ.“

“සමහර මතක තියෙනවා පොඩි කාලෙ කවදාවත් අමතක නොවෙන. අ.පො.ස උසස් පෙළ විභාගයේ අන්තිම දවසෙ මම විභාගෙට ගියේ මගෙ මිත්‍රයකුගේ සපත්තු දෙකක් දාගෙන. එදා සපත්තුවේ අඩියත් ගැලවුණා. මට අභියෝග­ාත්මක වුණේ විභාගේ ලියන එක නෙමෙයි. අඩිය ගැලවුණු සපත්තුව වෙනුවට සපත්තුවක් මිත්‍රයට දෙන එක. “

ඒ දුෂ්කරතා මැද ඔහු උසස්පෙළ සමත් වන්නේය. සරසවියට ප්‍රවේශ වන්නේය. සරසවි ජීවිතය වින්දනය කරන්නේය. ඒ ඇසුරෙහි ගොඩනැඟෙන සාහිත කලා සමාජය ප්‍රායෝගිකව ස්පර්ශ කරන්නේය.

“සරසවි කාලය තුළ මම වේදිකා නාට්‍ය කළා. රාජ්‍ය නාට්‍ය උලෙළට දිගු නාට්‍ය වගේම කෙටි නාට්‍ය ඉදිරිපත් කළා. ‘නිම්නයක්ම විය‘ කියන දිගු නාට්‍යය 1999 දි රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය තෙක් ආවා. නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ දුලීකා මාරපන හා කුසුම්සිරි ලියනආරච්චි. කෙටි නාට්‍යයක් කළා ‘ඔබත් සඳ වගේමයි‘. ඒ ගැනත් සංවාදයක් ඇති වුණා. “

“ඒ හැරුණු විට මම ඒ කාලයේ විවිධ නාට්‍යවලට සම්බන්ධ වුණා. ප්‍රසන්නජිත් අබේසුරියගෙ ‘දොර්දණ්ඩා‘ වගේම ‘බෙරහඬ‘, ‘රතු හැට්ටකාරී‘, ‘තලමල පිපිලා‘, ‘දොන් ඩියාගෝ‘, ‘පස්වැන්නා‘, ‘මෝදර මෝල‘ වගේ නාට්‍යවලට විවිධ භූමිකා කළා. ඒ හැම අත්දැකීමක්ම මගෙ ජීවිතයට බලපෑවා. ප්‍රසන්නජිත් මහතා මේ වෙලාවෙ සිහිපත් කළ යුතුයි. ඔහු මගේ ජීවිතයෙ එක්තරා කාලයක පරිවර්තන ලක්ෂ­්‍යයක්. ඔහුව මට මුලින්ම මුණගැහෙන්නෙ මගෙ පාසල් අවධියේ. මුල් අවස්ථාවේ උසස් පෙළ වාණිජ විෂයයන් කරලා සරසවි ප්‍රවේශයට ඉඩ නැතිව ඉන්නකොට ඔහු තමයි මාව දිරිමත් කළේ කලා විෂයයන් කරන්න. ඔහු නොමැති නම් මගේ ජීවන ප්‍රවේශය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.“

කලාවේ සංවේදී ඉසව් ස්පර්ශ කරන නිරෝෂනට මේ සියල්ල අතර ජීවිතය ආර්ථික වශයෙන් කළමනාකරණය කරගැනීමේ අභියෝගය තිබිණි. සරසවි සිසුවෙක් ලෙස අධ්‍යාපනය, කලාව හසුරුවන අතර විවිධ රැකියා කරමින් ජීවන අරගලයට මුහුණ දීමට ඔහුට සිදුවිය.

“සරසවි කාලෙත් ජීවත් වීම සඳහා විවිධ රැකියා කළා. එක්තරා කාලෙක රක්ෂණ ආයතනයක අලෙවි නියෝජිතයෙක් ලෙස රැකියාව කළා. ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කළා. පුංචි ව්‍යාපාරයක් විදිහට පොත් කඩයක් පටන් ගත්තා. සිකියුරිටි ජොබ් එකක් කළා. මේ හැම දේම කළේ කශේරුකාව කෙළින් තියාගෙන කොහොමද ජීවත්වෙන්නෙ කියන කාරණය සාක්ෂාත් කරගන්න.

සිකියුරිටි ජොබ් එක නැවැත්තුවේ 1993 දි. මමයි කැම්පස් එකේ යාළුවෝ කීපදෙනකුයි මේ රැකියාවේ නිරත වුණා. රෑ ජොබ් එක කරලා උදේට කැම්පස් එකේ දේශනවලට යනවා. එදා තමයි කොළොන්නාවේ තෙල් ටැංකිවලට බෝම්බ ගහපු දවස. කොටි ඒ ප්‍රහාරය එල්ල කළේ අපි හිටපු තැනින් ගිහින්. එදයින් එදා සිකියුරිටි රස්සාව කරන එක නවත්වන්න වුණා. තාත්තා බරපතළ විදිහට ඒ වැඩේ නවත්වන්න බලපෑම් කළා.“

“ඇත්තටම මම තාත්තා ගැන කියන්නෙ හරිම ආඩම්බරෙන්. තාත්තා රැකියාව විදිහට කළේ රියැදුරුකම බව ඔබට කිව්වා. ඔහු නිදියගත්තේ වාහනේ. වැඩිපුර දවස ගත කළේ වාහනේ. ඔහු මිය ගියෙත් වාහයනයක් යට. නමුත් අපි මේ විශ්විද්‍යාලවල දකින සම්මානිත මහාචාර්යවරයෙක් ළඟ තිබූ දැනුම පරිනතිය තාත්තා ළඟ තිබුණා. අපේ පවුලේ අපි දැක්කෙ අම්මලා දෙන්නෙක්. තාත්තා අම්ම කෙනෙක් වගේම අපිට ළං වෙලා හිටියා. ජීවිතේ ගැන, ජීවිතේ අභියොග ගැන, ඒ අභියෝග දුෂ්කරතා මැද්දෙ මනුෂ්‍යත්වය ආරක්ෂා කරගෙන ජීවත් වීම ගැන මට කියලා දුන්නෙ මගෙ තාත්තා. මගේ ජීවිතේ මා ගරු කරන සම්මානිත මහාචාර්යවරයා ඔහුයි.“

ඒ තාත්තා සිය එකම පුතා සිය පළවෙනි උපාධිය ජයවර්ධනපුර විශ්විද්‍යාලයෙන් ලබා ගන්නා හැටි දුටුවේය. පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නා ආකාරය දුටුවේය. මීට අවුරුදු 15කට පෙර ඔහු මෙලොව හැර ගියේය. ඒ සිය කැපකිරීම්වල ප්‍රතිඵල දකිමිනි.

“ ඒ වනවිට මම වෘත්තීය ජීවිතයේ මේ තරම් දුරක් ඇවිත් නෑ. ඒත් මගෙ ජීවිතෙන් මම ලබා ගත්තු අත්දැකීම් සාර්ථක වෘත්තිකයෙක් විදිහට රැකියාව කරන්න මට ඉඩ හසර සැලසුවා.

පුවත්පත් කොමසාරිස්වරයා විදිහට කරන රැකියාව මිනිස්සුන්ගෙ දුකට ඇහුම්කන් දීම, ඔවුන්ගෙ නැතිවූ ගෞරවය, කීර්තිය වගේම අයිතිවාසිකම් ලබා දී ඔවුන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉෂ්ට කිරීමයි. ඔවුන්ගේ වේදනාව සම්බන්ධ අත්දැකීමවලට මුහුණ දෙන පළමු පුද්ගලයා වෙන්නේ මම. එයට මුහුණ දෙන්න මම ගෙවූ ජීවිතය මට විශාල පිටිවහලක් වුණා. හොඳ වගේම පොදුවේ හැම දෙයක්ම දකින්න මනස හුරුකර ගැනීම මගේ ජීවන දර්ශනය කරගත්තා. මම බොහෝ විට බලන්නේ තනතුරු සහ කෙනකුගේ අධ්‍යාපනයට වඩා ඔවුන් තම රාජකාරියේදී වගකීම් වෙනුවෙන් කරන කැපකිරීම ගැනයි.“

ඔහු කියන්නේ මේ වාණිජ සමාජය තුළ ප්‍රතිමාණ බිඳීයන සේ භාවිතවන මාධ්‍යය හරහා පීඩාවට පත් මිනිසුන්ගේ ඛේදවාචකය ය. වෙළෙඳ ප්‍රවාහ අතර තරගකාරී මාධ්‍ය භාවිතයේ දී සිදුවන වැරැදි සමාජයට ඇතිකරන අහිතකර ප්‍රතිඵලය රස්සාව ලෙස අත්විඳින්නේ ඔහුය. මේ අවභාවිතය සම්බන්ධව අපි ඔහුව විමසුවෙමු.

“ පොදුවේ ගත්තොත් අපේ රටේ මාධ්‍ය භාවිතය ප්‍රශස්ථ මට්ට්මක් තිබෙනවා. නමුත් යම් අවස්ථාවලදී අපට පේනවා අපගමනය වීම්. ජනමාධ්‍ය නිදහස වැදගත් තමයි. නමුත් ජනමාධ්‍යවේදියා මාධ්‍ය නිදහස දරාගන්නවා වගේම ජනතාවගේ පැත්තෙනුත් කල්පනා කළ යුතුයි. ජනමාධ්‍යයකින් විය යුත්තේ මිනිසුන් අතර තිබෙන දුරස්වීම් අවම කර විවිධ ජන කණ්ඩායම් සංස්කෘතීන් පුද්ගලයන් එකතුවී කිරීමයි. ඇතිවුණු පුද්ගල සම්බන්ධතා තහවුරු කර ඉදිරියට ගෙනයෑමයි.

නමුත් අපි එදිනෙදා දකින බලන රූපවාහිනිය, සමාජ මාධ්‍ය ජාලා, පුවත්පත මේ ඇතිවෙලා තියන තරගය ඇතුළේ අද එකිනෙකා පරයා ගමන් කරන්න හදන උත්සාහයේ දී නැතිවෙන්නේ මානව ගෞරවනීය තත්වයන්.

මාධ්‍යකරුවෙකුට කිසිසේත්ම වෙන අයෙකුගේ ගෞරවය, ප්‍රතිරූපය, කීර්තිය නැති කිරීමේ අයිතියක් නෑ,. ඔබ හෝ මම දෙවියන් වහන්සේ නොවෙයි. ආගමික ශාස්තෘවරයෙක් නොවෙයි. එහෙම නම් අපිට කෙනෙක්ව අගතිගාමීව විවේචනය කරමින් විනාශ කරන්න තිබෙන අයිතිය මොකක් ද?.

“එදිනෙදා අපි දකින මාධ්‍ය භාවිතයෙ තියෙන්නෙ කවුරුන් හෝ විවේචනය කිරීම. මේ වෙනස් න්‍යාය පත්‍රය අවසන් වෙන්නෙ වෙළෙඳපොළ කාරණා හමුවේ. මේ ගමන නැවැත්විය යුතුයි. දැන් අපි හැමෝම එකතුවෙලා මාධ්‍ය සංගායනාවක් තියන්න කාලය හරි. මොකද මිනිසකුගේ වෘත්තීය ජීවිතයේ අවසාන ප්‍රාර්ථනාව මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීම නිසා.“

පුවත්පත් මණ්ඩලය යනු දිසා අධිකරණයක බලතල සහිත ආයතනයකි. එම ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. විවිධ ජනාධිපතිවරු යටතේ පත්වූ අධ්‍යක්ෂ මණ්ඩල ගණනාවක් සමඟ කටයුතු කර ඒ සියල්ලන්ගේ විශ්වාසය හා ප්‍රසාදය දිනාගත හැකි වෘත්තීය පෞරුෂයක් නිරෝෂන තඹවිට ට තිබිණි. රාජ්‍ය නිලධාරියෙක් ලෙස එවැනි විරල අත්දැකීමක් ලැබීම පහසු නැත. ඒ ඇගයීම ඔහු සිය සේවයට කරන අවංක කැපකිරීමය.

ඒ කැපකිරීම් සහිත රාජකාරි දිවියට අසීමිත පිටුබලය සපයන්නේ ඔහුගේ බිරිය ශෂිකලා ජයතිලකය. ඇය ගුරුවරියකි. තවමත් හුරතල් වයසේ පසුවන දෙදරුවන් වූ සිතුලි මිහින්සා තඹවිට දියණිය හා කවිත් කවිදුල් තඹවිට පුතණුවන් සමඟ ඔහු ගෙවන කුටුම්භය විචිත්‍ර කරන්නී ඇයය.

“ඇය මට මුණ ගැහෙන්නෙ අවුරුදු 15ට කලින්. ඒ මම ඡායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කළ කාලේ සමූහ ඡායාරූපයක් ගන්න ගිය අවස්ථාවෙදි. මුලින්ම මම ඇයව දැක්කේ කැමරාවෙන්. තුන්වෙනි ඇහෙන් දැකපු ඇය දැන් මගෙ බිරිය.“ ඔහු සිනාසෙමින් පවසන්නේය.

“ මම කරන්නෙ වෙහෙසකර රැකියාවක්. දිනපතා කිලෝ මීටර 100ක් යනවා එනවා. ඇය දන්නවා මගෙ රැකියාව වෙනුවෙන් මම ගොඩක් කැප වෙන වග. මගෙ තනතුරින් ඉහළ ගියා කියලා මම කවදාවත් මගේ රැකියාවේ වගකීම අත්හැරියේ නෑ. ඇය දන්නවා මම බොහොම අවිවේකී බව. ඒ නිසා ගෙදර දොර සහ දරුවන්ගේ කටයුතුවලින් ඇය මාව නිදහස් කර තියෙනවා. ඇයත් ගුරුවරියක් ලෙස වැඩි කාලයක් ගත කරන්නෙ දරුවන් එක්ක. ඇගේ පාසලත් හරිම දුෂ්කර පාසලක්. අන්තර්ජාලයෙන් පන්ති තියෙන අවස්ථාවල එහා පැත්තෙ ඉන්න දරුවන්ට ඩේටා කාර්ඩ් එක යවමින් තමයි ඇය උගන්වන්නෙ. ඇය විශ්වාස කරනවා පොදුවේ දරුවන්ට ඇස් පාදන්න කරන උත්සාහය අපේ දරුවෝ දෙන්නට ආශීර්වාදයක් වෙනවා කියලා.“

අප ඉදිරියේ ඉන්නේ ලෝකය ලස්සන තැනක් කරන්නට කැපවුණු විරල අඹුසැමි යුවළකි. නොදරුවන්ගේ ඇස් පාදා තෘප්තිය සොයන ගැහැනියක් හා අගතියට පත් මිනිසුන්ගේ දුක් පීඩා සමනය කරමින් වෘත්තීය තෘප්තිය පතන මිනිසෙකි. ඔවුන්ගේ මනුෂ්‍යත්වය ඒ මහා බරසාර තනතුරුවලට වඩා බෙහෙවින්ම විශාල බව දුටුවෙමි.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments