නැවත කියමි: නොදන්නා දෙමළයට ගොස් වරිගය නසා ගෙන ඇත | සිළුමිණ

නැවත කියමි: නොදන්නා දෙමළයට ගොස් වරිගය නසා ගෙන ඇත

පසුගිය පෙබරවාරි 26 ඉරිදා සිළුමිණ - සත්මඬල සාහිත්‍ය අතිරේකයට මා විසින් ලියනු ලැබූ ලිපියට පිළිතුරක්, පසුගිය 19 වන දින රෝහණ වංශතිලක නමැත්තකු විසින් ලියනු ලැබ ඇත. මා විසින් ලියනු ලැබු උක්ත ලිපියේ සිරස්තලය ව පැවතියේ “නොදන්නා දෙමළයට ගොස් වරිගය නසා ගැනීම” යන්නයි. යට දැක්වූ සිරස්තලය යටතේ මා ලියූ ඒ ලිපියට, මෙ වර පිළිතුරු සපයා ඇත්තේ පෙර ලිපියෙන් බිම ඇද වැටීමෙන් ලත් පිරිහුණ මානසික වේදනාවකින් බව පෙනේ. ඔහුට තැන්පත් නුවණක් නැත. ඉවසීමක් හෝ සංයමයක් ඇතැයි කිව නොහැකි ය. තව දුරටත් හෙතෙම නොදන්න දෙමළය ම බදාගෙන වරිගය නසා ගනිමින් සිටිතැයි සඳහන් කළ හැකි ය.

මා ඇරඹු මේ සංවාදයට අදාළ කර ගත හැකි පොත්පත් රාශියක් ඇත. එහෙත් මෙම සංවාදයට අවම වශයෙන් අදාළ කරගත හැකි ප්‍රධාන කෘති ඇත්තේ දෙකක් පමණි. එ නම්, 1969 දී මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද “සිංහල නවකතාව හා ජපන් කාම කතා සෙවණැල්ල” යන කෘතියත්, 1985 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් ලියන ලද “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” යන ස්වයං චරිතාපදානයත් ය. මෙම කෘති දෙකෙහි පෙරවදන්වල ඒ ඒ කෘතිවල මුඛ්‍ය අරමුණ සඳහන් වෙතැයි මම කල්පනා කරමි. එහි ලා වික්‍රමසිංහ මහතා මෙසේ සඳහන් කර ඇත.

“පේරාදෙණිය ගුරු කුලය මෙහි තරුණ පරපුර අතර පතුරුවන්ට වෑයම් කළ ජපන් කාම කතා වූ කලී යුද්ධයෙන් පැරදුණු ජපන් සමාජය නමැති අළු ගොඩ උඩ පහළ වූ ක්ෂණභංගුර අපරිණත සාහිත්‍යයකි. ඒ සාහිත්‍යයෙහි, ඇතැම් රචනා කියවීමෙන් පිබිදුණු තරුණ සිංහල ලේඛකයන් ගේ කාම කතා ආචාර්ය සරච්චන්ද්‍ර වර්ණනා කළේ ය. ඔහු ගේ ‘වල්මත් වී හසරක් නුදුටිමි’ නමැති ආත්ම චරිත නිබන්ධය ද ක්ෂණභංගුර ජපන් කාම කතා විසින් පිබිදුණු කල්පනාව හැඳින්වෙන රචනයකි. සිංහලයන්ගේ ඉතිහාස සත්තාවත් සමාජ සත්තාවත් විකෘති කරන ‘යළි උපන්නෙමි’ කතාව එහි කර්තෘ වන ගුණදාස අමරසේකර ළඟදී පරිභව කොට අවඥාවෙන් බැහැර කළේ ය.”

“මේ නිබන්ධයෙහි ලා විභාග කෙරෙන කාම කතා පමණක් නොව සොසෙකි තත්සුමේ ගේ I am a cat, සකේ සුබෝයි ගේ Twenty four eyer, ජුහිබිරෝ තනිශකි ගේ The makioka sinters, කවබතාගේ Snow country, Thomand cranes වැනි උසස් ජපන් නවකතා ද මා කියවා තිබේ. ඒ නවකතා නො ව ක්ෂණභංගුර සමහර ජපන් කාම කතා පමණක් මෙහි ලා විභාග කළේ, ව්‍යාජ සිංහල කාම කතා ලියුවන්ගේ කල්පනා ප්‍රවාහය උපන් තැන හෙළි කරනු පිණිසය. හොඳ ජපන් නවකථා නො ව නොපැසුණු හැඟීම් ඇත්තන් ගේ සිත් ගන්නා ක්ෂණභංගුර කාම කතා අප රට තරුණ පරපුරට හඳුන්වා දීම ගැන වග කිය යුත්තෝ පේරාදෙණිය ගුරුකුල ඇදුරෝ ය.”

මහාචාර්ය සරත්චන්ද්‍ර මහතා ගේ “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” යන කෘතියෙහි පෙරවදනෙහි ලා වික්‍රමසිංහ මහතා ගේ යට සඳහන් අදහස් ගැන හෝ ඒවාට විරුද්ධව ඉදිරිපත් කළ යුතු යම් සමර්ථන ගැන කුමන ආකාරයක හෝ අදහසක් එම කෘතියේ ඇතුළත් ව නැත. එහෙත් මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා ගත වූ ඉතිහාසයෙහි තමා මුහුණ පෑ දුෂ්කර සමාජ - සාහිත්‍ය කලා තොරතුරු ගැන ඉතා නිර්ව්‍යාජ ව සඳහන් කර ඇත. එමෙන් ම තමාට ගුරුවරයෙක් වූ වික්‍රමසිංහ මහතා ගෙන් සැලසුණ සේවය ගැන සිහිපත් කර ඇත්තේ ඉතා සංවේදීව උත්තර මානුෂීය ගුණාංගයෙන් යුතුව ය. සිය පෙරවදනෙහි ලා සරච්චන්ද්‍ර මහාචාර්ය තුමා ඉදිරිපත් කර ඇති අදහස් කිහිපයක් විමසමු.

“ස්ව චරිතාපදානයක් ලිවීමට මා තුළ කැමැත්තක් නැත්තේ මගේ ජීවිතය අනුන්ට ආදර්ශයක් වීමට සුදුසු යයි මා නොසිතන බැවිනි. ජීවිතයේ අවසාන කාලයට පැමිණ සිටින මා තුළ, ආපසු හැරී බලන විට, මා විසින් මගේ ජීවිතය සාර්ථක කර ගන්නා ලදැයි ජයග්‍රාහී හැඟීමක් ද නූපදී.”

“සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි හා කලා ශිල්ප ක්ෂේත්‍රයෙහි මගේ ප්‍රයත්නයට ජනතාව ගෙන් එක්තරා ප්‍රමාණයක පිළිගැනීමක් ලැබී ඇති නමුත්, මධ්‍යම පන්තික මිනුම් දණ්ඩකින් මනින විට - මගේ පුද්ගල ජීවිතය සාර්ථක වුවක් සේ නොගැනෙනු ඇත.”

“මා සාහිත්‍ය නිර්මාණයෙහි යෙදෙන්නට පටන් ගත්තේ, මගේ ජිවිතයෙහි ද බලවත් හැල හැප්පුම් ඇති වන්නට වූ විට බව ආපසු හැරී බලන කල මට පෙනේ. ඉතා සන්සුන් ලෙසත්, සන්තුෂ්ටියෙනුත් ඇරැඹුණු මගේ පේරාදෙණි ජීවිතය, සෝචනීය අන්තයකට පත් කරන ලද්දේ නොසන්සුන්කම, අසන්තුෂ්ටිය ආදිය විසිනි. එහි ඒකාකාර ස්වභාවයට විරුද්ධව මගේ උප විඥානය කැරලි ගැසුවා සේ විය. එසේ ලැබු කටුක අත්දැකීම් විසින් ය මා නිර්මාණ කාර්යයට පොළඹනු ලැබුවේ.”

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ උක්ත ප්‍රකාශ හෙතෙම ම පාපොච්චාරණයකට භාජනය කරන්නේ හෘදයංගම ව ඉතා නිහතමානීව ය.

සරච්චන්ද්‍ර මහාචාර්ය තුමා “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතිය ලියා පළ කළේ 1985 දීය. ඒ වික්‍රමසිංහ මහතාගේ උක්ත ග්‍රන්ථය ලියා වසර 16කට පසු ව ය. එදා ගත වූ වසර 16 තුළ දී සරච්චන්ද්‍ර මහතා වික්‍රමසිංහයන්ට විරුද්ධව කිසියම් හෝ පිළිතුරක් නොලියූ අතර ඔහුට ඊට පිළිතුරු ලිවීමට සුදුසු ම අවස්ථා එළඹියත් හෙතෙම එහි ලා නිහඬ ව්‍රතයක් අනුගමනය කළ බව පෙනේ. වික්‍රමසිංහ මහතාගේ ජපන් කාමකතා සෙවණැල්ල ලියැ වී වසරකට පසු 1970 දෙසැම්බර් 2 වන දින ‘ශ්‍රී ලංකාදීප’ පත්‍රයේ පළ වූ “සාහිත්‍යයෙන් ජීවිතයට” යන දේශනයෙන් තමාට අවශ්‍ය පිළිතුරක් සැපයිය හැකි ව තිබිණි. (එම ලිපිය, පී. බී. ගලහිටියාව සහ කේ. එන්. ඕ. ධර්මදාස මහාචාර්ය වරුන් 1993 දී සංස්කරණය කළ “එදිරිවීර සරච්චන්ද්‍ර සාර සංග්‍රහය” නමැති කෘතියෙන් අධ්‍යයනය කළ හැකිය.)

මගේ කල්පනාවේ හැටියට මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා තම පර්යේෂණ කාර්යයේ විශේෂයෙන් ම ජපන් නවකතාව පිළිබඳ ව කළ අධ්‍යයනයන් නැවත සමාලෝචනයට භාජනය කළේ, මේ ගත වී ඇති 16 වසර තුළ ය. එම කාලය ඔහුගේ ජීවිතයේ ප්‍රබලතම සන්ධිස්ථානය (Turning point) විය. එතුමාට නොයෙක් අන්දමේ ප්‍රශස්ති ගායනා කරන එතුමාගේ දුබල අවස්ථා වසා ගැනීමට සුදු හුණු ආලේප කරන ඇතැම් පඬිවරුන් දැකිය යුතු ව තිබුණේ සරච්චන්ද්‍ර මහාචාර්ය තුමාගේ මේ සන්ධිස්ථානය ගැනය. මෙම කාලය එතුමා ගේ ජිවන චරිතය නිහඬව සෙමින් පරිවර්තනය වූ යුගය ලෙස සැලකිය හැකිය. එහි දී සරච්චන්ද්‍ර මහාචාර්ය තුමා ගේ කල්පනාව සංවිධානය වූ අන්දම පහසුවෙන් අවබෝධ කර ගැනීමට හොඳම ක්‍රමය වනු ඇත්තේ, මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන ඔහු විසින් පළ කරනු ලැබු අදහස් කීපයක් විමසා බැලීමයි.

“පිං ඇති සරසවි වරමක් දෙන්නේ” යන කෘතියේ දෙවන මුද්‍රණයේ 98 පිටුව බලන්න.

“වික්‍රමසිංහ මහතාගේ කෘති අධ්‍යයනය කිරීමෙන් පසු වර්තමාන සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මගේ කුතුහලය ඇවිස්සුණු බැවින්, ඒ පිළිබඳව පුළුල් පර්යේෂණයක් කිරීමට මට සිත් විය. ඒ සඳහා රාජ්‍ය ලේඛනාගාරයට ගොස් පැරැණි පුවත්පත් හා සඟරාදිය බැලීමට අවශ්‍ය විය...”

“නවීන සිංහල සාහිත්‍යයක් තිබේ ය කියාවත්, එය අපේ සාහිත්‍ය වංශයෙහි ‘නවීන යුගය’ වශයෙන් පිළිගත යුතුය යි කියා වත් පාරම්පරික සිංහල පඬිවරුන් පමණක් නො ව, විශ්වවිද්‍යාලයේ ඇදුරෝ ද එකල නො සිතූහ. මාතර යුගයෙන් මොබ්බෙහි සැලකිය යුතු කිසිවක් නිර්මාණය වී නැත යනු ඔවුන් ගේ මතය විය.”

“නවීන සිංහල සාහිත්‍යය විවිධ අත්දැකීම් ගෙන දෙන කුතුහල ජනක, අභිනව විසිතුරු ලෝකයක් බව එහි සැරීමෙන් මට පෙනිණි. එක් අතකින් එය, පුරාණ සම්භාව්‍යය සාහිත්‍යයට වඩා අපේ අධ්‍යතන ජීවිතයට අදාළ බැවින්, එය නොසලකා හැරීම හෝ හෙළා දැකීම නොවටී යයි මට හැඟුණි. එතෙක් කල් එය ප්‍රබුද්ධ පාඨකයන් ගේ අවධානයට යොමු වී නොතිබීම අභාග්‍යයක් යයි මම සිතුවෙමි.”

 

“පිං ඇති සරසවි වරමක් දෙන්නේ” ඉහත මුද්‍රණයේ 95 වන පිටුව බලන්න.

“වික්‍රමසිංහ මහතා සමඟ ආශ්‍රය, මගේ ඥාන පථය පුළුල් කිරීමට හේතු විය. නිර්මාණාත්මක කුසලතාව මෙන් ම, ඔහුට බහුශ්‍රැතය ද තිබිණි. මේ දෙක එක් කෙනෙකු තුළ පිහිටන්නේ කලාතුරකිනි. ඔහු ගේ අභිලාෂයන් ගේ පරිමාණය විශාල විය. සිංහල භාෂාව, සාහිත්‍ය, ජීව විද්‍යාව, බටහිර දර්ශනය, රුසියානු සාහිත්‍යය, ප්‍රංශ සාහිත්‍යය, වර්තමාන දේශපාලනය හා ඉතිහාසය යන විෂයන් දක්වා එය පැතිරී ගියේ ය.

ඒ වාගේ ම ඔහු ගේ පුස්තකාලයත්, මේ විෂයන් පිළිබඳ පත පොතින් සමන්විත වූයේ ය. ඔහු විදේශ සඟරා බලා, ඒවායේ විවේචනය කොට තිබෙන අලුත් ම පොත් ගෙන්වා ගත්තේ ය. මානව විද්‍යාව (Anthropology) කෙරෙහි මගේ කුතුහලය ඉපදීමට හේතු වූයේ, ඔහු සමඟ කතාබහ කිරීමෙනුත්, ඔහුගේ පුස්තකාලයේ ඒ පිළිබඳ තිබු පොත් කියවීමෙනුත් ය. අලංකාර ශාස්ත්‍රය ගැන වර්තමාන භාරතීය පඬුවන් ලියා ඇති ඉංග්‍රීසි පොත් කියවීමට ද මට ලැබුණේ, ඔහු ගේ පුස්තකාලයෙන් ය. රුසියානු සාහිත්‍යයේ දොරටුව ද මට හැර දුන්නේ ඔහු ය.”

මහාචාර්ය සරච්චන්ද්‍ර මෑත යුගයේ මෙරට පහළ වූ ඉතා නිහතමානී, සංවේදී ශාස්ත්‍රඥයෙක් බව විවාද රහිතය. හෙතෙම තම ජීවිතය ශාස්ත්‍රීය ලෝකය තුළ මෝරත්ම තමාගේ ම දුබලතා කෙබඳුදැයි අධ්‍යයනය කළ විද්වතෙක් විය. තමා ගැන ම කළ පාපොච්චාරණ තුළ වික්‍රමසිංහ මහතා ගැන කළ සිය ස්වයං විවේචන කෙරෙහි, ඔබගේ අවධානය යොමු කරන්නේ නම් තම පරම සතුරා විය හැකි මාර්ටින් වික්‍රමසිංහ මහතා මිතුරෙකු පැත‍්තෙහි තබා සැලකීම, පෘථග්ජනයකුට කළ නොහැකි කෙතරම් මානුෂික සිදුවීමක් ද? හැම මොහොතක ම සරච්චන්ද්‍ර මහාචාර්ය තුමා තමා නිර්දෝෂ වීම ගැන නො ව නිවැරැදි වීමට උත්සාහ කළ බව ඉන් පෙනේ. ‘පිං ඇති සරසවි වරමක් දෙන්නෙ’ කෘතිය ලියන විට සරච්චන්ද්‍ර මානසික තත්ත්වය පහත් ස්වභාවයකට පැමිණ තිබිණ.

මින් ඉදිරියට මා පිළිතුරු ලිවීමට උත්සාහ කරන්නේ, පිළිතුරු නොලිය යුතු එහෙත් පිළිතුරු ඉල්ලා සිටින වංශතිලක නමැත්තාට ය. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා ගේ පිට කසමින් හා සුදුහුනු තවරමින් ඔහු නිවැරැදිව හඳුනා නොගත් මේ අය, සරච්චන්ද්‍ර නාමයට සිදු කරන්නේ බලවත් අසාධාරණයකි. සරච්චන්ද්‍ර මහාචාර්යතුමාගේ ජිවන චරිතයේ සිදු වූ ක්‍රමික වෙනස්කම් හඳුනා නොගෙන ඔහු ද පිළිගනු ලබන යම් යම් දුර්වලකම්වලට අලගු තියන්නට යෑමෙන් ඔහුගේ මෝඩ මිතුරා කරනු ලබන්නේ රජතුමාට වඳුරා කළ දෙයම ය.

ජනතා ලේඛක පෙරමුණ ඇරැඹු 1969 දී එහි ආරම්භක ප්‍රථම රැස්වීමට මගේ හිතවත් මිත්‍රයකු වූ රත්නසිරි අරංගල මෙ කල මහාචාර්ය තුමා සහභාගි වී යයි සඳහන් ව ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි. එවකට වයස අවු. 07ක් කුඩා ළමයකුට ඊට සහභාගි විය නොහැකි බව ඕන මෝඩයකුට වුවද වැටහෙන කරුණකිි. එම ලිපියේ සඳහන් කිරීමට මා අදහස් කළේ රත්නසිරි අරංගල මහතා ගේ නම නොව, එවකට වයස 20ක් වූ සරත් කෝද­ාගොඩ මහතා ගේ නමයි. ඔහු පැමිණියේ මාතර කෝදාගොඩ සිට ය. සරත් කෝදාගොඩත්, රත්නසිරි අරංගලත් යන අපි තවමත් අතිශයින් ම සුහද මිතුරෝ ය. මගේ මිත්‍ර මහාචාර්ය රත්නසිරි අරංගලයන් ගේ නම ප්‍රමාද දෝෂයකින් වුවද එහි සටහන් වීම ගැන මම මගේ කනගාටුව පළ කරමි. එහෙත් මෙම සිද්ධියේ ගැළපීම කෙසේ බලපාන්නේදැයි අවබෝධ කර ගැනීමට ඥාන ශක්තියක් හා තර්ක ඥානයක් නැති වංශතිලක, මින් මට දැඩි මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට වැර දරා තිබුණේ කවට අන්දරේ යොදාගත් උපක්‍රමයකිනි. හෙතෙම මම චේතිය රජ්ජුරුවන් ලෙස හඳුන්වා තිබුණි. පසුගිය සතියේ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්තියක ඡායාරූපයක් වැරදීමකින් පළවී එය නිවැරැදි කර තිබෙනු මම දුටිමි. වංශතිලකගේ කවට අන්දරේ තියරිය අනුව නම් එම ප්‍රවෘත්තියත් ප්‍රවෘත්ති පත්‍රයත් චේතිය රජ්ජුරුවන්ගේ ප්‍රකාශයක් විය යුතුය.

මෙහි දී වංශතිලක ශාස්ත්‍රීය ලිපි ලිවීමේ මහා විශාරදයෙක් සේ කටමැත දොඩන්නේ හුදෙක් බුද්ධිමත් පාඨකයා හිනස්සන සුලු කතාවකිනි. ඔහු සඳහන් කරන්නේ මා සඳහන් කරන කරුණු තර්කානුකූලව ඉදිරිපත් කර නැති බවයි. එනම්, වෙනත් අයගේ උපුටන උපුටා ගන්නේ අනුන්ගේ මත බැඳ දැමීමට මිස තමන්ගේ අදහස් සනාථ කරවීමට නොවේයයි කියයි. විශේෂඥ මත ඒ දෙපැත්තට ම යොදා ගන්නා බව මේ තැනැත්තා නොදනියි. යම් විශාරදයකුගේ මතයක් විශේෂඥ මතයක්, කිසියම් ආගමික සාකච්ඡාවකදී තමන් ඉදිරිපත් කරන මතය ශක්තිමත් ව ඉදිරිපත් කිරීමට වුවමනා වූ විට ඉහත සඳහන් විශේෂඥ දැනුම අවශ්‍ය කෙරේ.

මෙම කරුණු සම්බන්ධයෙන් වංශතිලකගේ ලිපි දෙක කියවූ මගේ උගත් හිතවත් මිත්‍රයින් සිනාසුණ බව සඳහන් කළ යුතුය. මගේ තවත් මිත්‍රයෙක් පහත සඳහන් කව දුරකතනයෙන් මට කීවේ ය. එනම් අගනුවර තරුණ කවි සමාජයේ, හේමපාල මුනිදාස මහතා මූලාසනයේ සිටි කොළඹ නව රඟහලේ පැවැති රැස්වීමකදී තමාට කවි කතාවක් කිරීමට අවස්ථාවක් දෙන්නයි හක්මණ බැන්ටිස් රණවීර කවියා ඉල්ලීමක් කළේය. එහෙත් ඒ වන විට හෙතෙම අධික ලෙස මත්වී සිටියෙන් මූලාසනය ඊට ඉඩ දුන්නේ නැත. අවසානයේ එක කවියක් පැවසීමට ඉඩ ලැබිණි. එහි දී පැන්ටිස් රණවීර මූලාසනයට අභියෝගයක් කරමින් මෙසේ කීවේය.

තටමා ලියන ජඩයගෙ වැල් වටාරම
මට කළ හැකිය පද දෙකකින් මනෝරම
කට ළඟ තබා ගෙන බිව්වත් තැබෑරුම
තම කළ නොහැක ඒකයි මගෙ උදාරම

මගේ මිතුරන් බොහෝ දෙනෙක් කීවේ වංශතිලකට ද මේ කවිය මෙහි ලියන ලෙසයි.

මහාචාර්ය මීගස්කුඹුරේ සඳහන් කර ඇත්තේ, මහාචාර්ය හෙට්ටිආරච්චිගේ බෞද්ධ සාහිත්‍ය සේවය ඇගැයීමකි. මෙම කරුණු සැලකිල්ලට ගන්නා විට 19 වන සියවසේ අවසාන දශකයේ සිට සංශෝධනය කර මුද්‍රණය කරනු ලැබූ ව්‍යාඛ්‍යාන ග්‍රන්ථ අතර පංචිකා ප්‍රදීපය, ධම්පියා අටුවා ගැට පදය, ජාතක අටුවා ගැටපදය, මහා බෝධිවංශ ගැටපදය, ජාතක කතා සන්නස, අභිධර්මාර්ථ සංග්‍රහ සන්නස, ධර්ම ප්‍රදීපිකා, විශුද්ධි මාර්ග සන්නස, සිදත් සඟරා සන්නස යන කෘති නවය සංස්කරණය කිරීමට වියතුන් අට දෙනෙක් දායකත්වය සපයා ඇතත් වෙසතුරුදා සන්නස, ජාතක අටුවා ගැටපදය සහ ධම්පියා අටුවා සන්න ගැටපදය යන කෘති තුනම සංස්කරණය කරනු ලැබුවේ මහාචාර්ය හෙට්ටිආරච්චි මහතාගේ ශ්‍රමයෙනි. හෙතෙම තනිව ම හෝ හවුලේ සංස්කරණ ලද ග්‍රන්ථ සියල්ල 22 කි. ඒ අතර ශබ්ද කෝෂයේ ද, විශ්ව කෝෂයේ ද වැඩ අවසන් කිරීමට උත්සාහ දරමින් සිටි බව පෙනේ.

පැරැණි සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණය කරමින් යුගයට අවශ්‍ය බෞද්ධ සදාචාර සාහිත්‍යය පෝෂණය කරනවා වෙනුවට සිංහලයන්ගේ ඉතිහාස සත්තාවත් සමාජ සත්තාවත් විකෘති කරන සරච්චන්ද්‍ර මහතාගේ ජපන් කාම කතා සාහිත්‍යය අතපත ගා බැලීමට බෞද්ධ සාහිත්‍ය කලාවෙන් හා ජිවිත පරිඥානයෙන් පැසුණු මහාචාර්ය හෙට්ටිආරච්චිට වුවමනාවක් තිබුණේ නැත.

මගේ පෙර ලිපියේ ඇතැම් ගුරු කුල හඳුන්වා තිබෙන්නේ අන්ත දක්ෂිණාංශික ජපන් සාහිත්‍ය කල්ලිය වශයෙනි. සරච්චන්ද්‍ර මහාචාර්ය තුමා ඇතුළු පේරාදෙණිය ගුරු කුලය අන්ත දක්ෂිණාංශික නම් නැවතිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය වටා යයි වංශතිලක කියයි. මොහුගේ මෙම ප්‍රකාශය අනුව අන්ත දක්ෂිණාන්ත ධනවාදය, දක්ෂිණාංශික ධනවාදය, ධනවාදය අතර ප්‍රභේද දේශපාලන විද්‍යාව අනුව නොදන්නා බව පෙනෙයි. අදත් ලංකාවේ තිබෙන ලිබරල් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට වඩා අන්ත දක්ෂිණාංශික වූවක් බව ඔහු නොදනී. මේ අනුව ඇමෙරිකාවේ, එංගලන්තයේ සහ ජපානයේ මූලික ධනපති න්‍යාය එකක් වුව ද (එනම් 2 + 2 සතර වුවද) එහි වර්ධනීය අවස්ථාවක් සමඟ බැඳුණු ප්‍රතිපත්ති වෙනස් ය.

“1970 - 77 දක්වා බලයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සමඟි පෙරමුණ” ආණ්ඩුවට සරච්චන්ද්‍ර මහතා සහාය දුන් බව ඔහු කියයි. එදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ සමාජ විරෝධි ක්‍රියාවන්ට විරුද්ධව සරච්චන්ද්‍ර මහතා ක්‍රියා කළා විනා ඔහු ශ්‍රී ලංකා පාක්ෂිකයෙක් නො වීය. ඔහු එවකටත් දක්ෂිණාංශික යෙකි. එහෙත් එජාප විරෝධියෙක් ද විය. “ගුරු ගුණ සමර” කෘතියේ මහාචාර්ය සුචරිත ගම්ලත් මෙම කරුණ ගැන සඳහන් කරන්නේ, සරච්චන්ද්‍රයන්ගේ ප්‍රගතිශීලී කාලයේ වුවද ඔහුට වුවමනා කළේ ජපානයේ වැනි ධනවාදයක් විනා ඉන්දියාවේ හා ලංකාවේ පාලකයන් අත්හදා බලමින් සිටි හොර ධනවාදය නොවේ ය යනුවෙනි.

මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාගේ කුලුපග හිතවතෙක් වූ පේරාදෙණිය දර්ශන අංශයේ මහාචාර්ය ආර්. ඩී. ගුණරත්න මහතා විසින් ලියා ඇති “සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා” යන නිබන්ධය කියවන ලෙස මම අපගේ පසමිතුරන් ගෙන් ඉල්ලා සිටිමි. එහි මෙසේ සඳහන් වෙයි:

“එදිරිවීර සරච්චන්ද්‍රයන් තම කීර්ති නාමයට හිමිකම් කියන්නේ නවීන සිංහල නාට්‍ය සම්ප්‍රදායකට පදනම දැමු මනමේ, සිංහබාහු හා නාට්‍යයන්හි නිර්මාතෘවරයා හැටියටය. ඇතැම් විට පේරාදෙණිය ගුරු කුලය නමින් හඳුන්වනු ලැබු විචාරය හා ලේඛනය පිළිබඳ නව රැල්ලක් ජනිත කිරීමට උපකාර වූ විචාරකයා හැටියටත් බවට සැකයක් නැත.”

මෙහි දී මහාචාර්ය ගුණරත්න ඔහුගේ නාට්‍ය ගැන ඍජු ව සඳහන් කර ඇතත් ඔහු ගේ අනෙකුත් පර්යේෂණ ක්‍රියාවලිය වූ නවකතාව ගැන සඳහන් කර ඇත්තේ ඍජුව නොව, පේරාදෙණිය ගුරු කුලය නමින් හඳුන්වනු ලැබු විචාරය හා ලේඛනය පිළිබඳ උපකාර වූ චින්තකයා හැටියටයි සඳහන් කිරීමෙනි. ගුණරත්න මහාචාර්ය තුමා නිසි පරිදි ඔහුගේ නවකතාව වත් ජපන් සාහිත්‍යය ගැන වත් සඳහන් නොකිරීමෙන් පෙනෙන්නේ එය ඔහුගේ නාට්‍ය මෙන් නො ව නවකතා ව බරපතළ ලෙස සමාජයේ විවාදයට හසු වී තිබීම පෙන්වනු සඳහා ය.

මේ අනුව අවසාන කාලයේ සිය අපදානයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා තමාට බොහෝ විට උපකාර වූ තැනැත්තා හැටියට සරච්චන්ද්‍ර මහතා විසින් ම හඳුන්වා දෙන්නේ ඔහුගේ පසුපස අන්ධ භක්තියෙන් යන ඔහුට සුදුහුනු තවරන මෝඩ පසුපස යන්නන්ට වඩා අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් හැටියට ය: බුද්ධිමතෙක් හා ප්‍රාඥයෙක් හැටියට ය. මේ අනුව ඉතාම පැහැදිලි වන කාරණයක් නම් මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරන අන්දමට මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ 125 වන ජන්ම සැමරුමට සිළුමිණ පත්‍රයේ සුමුදු චතුරාණි ජයවර්ධන ලේඛිකාවට ප්‍රකාශයක් කළ ආචාර්ය ගුණදාස අමරසේකර පවසන අන්දමට “මාර්ටින් වික්‍රමසිංහ දෙවැනි වන්නේ ටොල්ස්ටෝයිට සහ ඩොස්ටවුස්කිට පමණයි” යන්න පිළිගැනී ඇති බවයි. එහි ලා තව දුරටත් ආචාර්ය ගුණදාස අමරසේකර මෙසේ සඳහන් කරයි.

“නවකතාව, කෙටිකතාව, ශාස්ත්‍රීය විචාරය, විද්‍යාත්මක ක්‍රමවේද ඈ නන්විධ ක්ෂේත්‍රයන්හි විපුල දස්කම් පෑ මහ ගත්කරු නම් විරුදාවලියෙන් බුහුමනට ලක්වන වික්‍රමසිංහයෝ, මෙරට යථාර්ථවාදී නවකථා හඳුන්වා දීමේ ලා පුරෝගාමි මෙහෙය ඉටු කළ විද්වතාණෝ වෙති.”

මෙරට බෞද්ධ සදාචාරය රැක ගනිමින්, කාම අදහස් භාවිතයෙන් තොර නූතන සිංහල නවකතාවට පදනම දැමුවේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ බව අවිවාදිතය.

Comments