
ගීත සාහිත්‍යය මඟින් පරිසරය සුරැකීමට ගත් තැත සදානුස්මරණයයි
- මහාචාර්ය විමල් දිසානායක
රටේ ජෛව විවිධත්වය සුරැකීමට කළ මෙහෙය විශිෂ්ටයි හිටපු අතිරේක ලේකම්
ගාමිණී ගමගේ
පරිසරය සුරැකීමේ පණිවුඩය ජනතාවට සරල ලෙස කාවැද්දීමට ක්‍රම හා විධි රැසක් ඇති කළා
මහාචාර්ය සරත් කොටගම
ධරණීය සංවර්ධනයක් සිදු කරමින් රටත් පරිසරයත් සුරකින හැටි කියා දුන්නා මහාචාර්ය සී.බී. දිසානායක
පරිසර සන්නිවේදනය පිළිබඳ ජනාධිපති සම්මානයෙන් හා හරිත සම්මානයෙන් පිදුම් ලබා ඇති සුනිල් සරත් පෙරේරාට හිමිව ඇති ලොකුම සම්මාන වන්නේ රටේ පරිසර හිතකාමී
ජනතාවගෙන් සහ පරිසර සන්නිවේදකයන්ගේ හදවතින් කවදත් දෙන සම්මානයන්ය.
දෙනිපිටිය නුගරුක සුරැකීමේ ගෞරවයත් හිමිවිය යුත්තේ සුනිල් සරත්ටයි ආචාර්ය සිරිල් විජේසුන්දර
අද ‘කෲඩියා සිලනිකා’ ශාකයේ සංරක්ෂණය පිළිබඳව අපි කතා කරමු. නමුත් මේ ගස තවමත් හොඳින් නිරුපද්‍රිතව තිබෙන ගසකි. එසේ වුවත් සම්පූර්ණයෙන් කපා දැමූ ඓතිහාසික දෙනිපිටිය නුග රුක යළි වර්ධනය කිරීමට කටයුතු කිරීමත් එය සාර්ථක වීමත් පිළිබඳව අපිට 2001 දී දැනගන්නට ලැබිණි. එහි ප්‍රධාන මෙහෙයුම්කරු වූයේ අන් කවුරුවත් නොව අපේ රටේ පරිසරය සුරැකීමට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වසර 40 ක් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පරිසරවේදී ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා සූරීන් ය.
ඒ සුවිශේෂී ඓතිහාසික නුග රුක කපා දැමීම පිළිබඳව හා යළි වර්ධනය පිළිබඳව ඇත්තේ සිත්ගන්නා සුලු කථාවකි.
ඒ 2001 මුල් භාගයයි. බත්තරමුල්ලේ සම්පත් පායේ පිහිටි පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කාර්යාලයට ලහි ලහියේ වඩින හිමිනමකි. උන්වහන්සේ වැලිගම ධම්මිස්සර හිමිය. එවකට අතිරේක ලේකම් වූයේ සුනිල් සරත් පෙරේරාය.
“මහත්තයෝ, අර සුප්‍රසිද්ධ දෙනපිටියේ නුග රුක සම්පූර්ණයෙන් කපා දාලා. ඒක ජාතික අපරාධයක්.” ධම්මිස්සර හිමිපාණෝ මහ හඬින් පැවසූහ.
“අපොයි අපොයි මේ අර ගජමන් නෝනා කවි ලියපු තැන තිබූ නුගරුක නේද?”
“ඔව් මහත්තයෝ ඒක තමයි.”
සුනිල් සරත් පෙරේරා නළලේ අත තියා ගත්තේය. ඔහුට මතක් වූයේ එහි සිට ගජමන් නෝනා ලියූ කවි පිළිබඳවය.
පිනවන දුටු තැන සෑම
ගඟ ළඟ පිටිය කදිම
තරු පෙළ අවට සෑදීම
යුත් සෙවණැල්....
“ඒක කැපීම ජාතික අපරාධයක් තමයි. අපි මේ පිළිබඳව සොයලා ඒ ගහ නැවත හදන්න පුළුවන්ද කියලා බලන්නම්” සුනිල් සරත් කීය.
“එහෙම කළොත් ඒක වාර්තාවක් වේවි. ඒත් ගහ කපලා තියෙන විදියට ඒක කරන්න අමාරු වගේ” හාමුදුරුවෝ පැවසූහ.
හාමුදුරුවන් ආපසු වැඩමකිරීමෙන් පසු සුනිල් සරත් පෙරේරා එවකට ජෛව විවිධත්ව අංශයේ අධ්යක්ෂ ගාමිණී ගමගේ මහතා කැඳවා ඒ ගස සුරකීම පිළිබඳ මූලික සාකච්ඡාව පැවැත්වීය. පසුව සුනිල් සරත්, ගාමිණී ගමගේ හා එවකට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දරයන් ඇතුළත් කමිටුවක් මගින් මේ රුක නැවත ප්‍රවර්ධනයට කටයුතු කළේය.
පසුව ඒ තිදෙනා දෙනිපිටියට ගොස් නුග රුකේ තිබූ පටක කීපයක් රැගෙන පැමිණියහ. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඒ පටක වර්ධනය කර ඒ පටක මඟින් අලුත් පැළ දෙකක් වර්ධනයට ආචාර්ය සිරිල් සමත්විය.
පසුව සුනිල් සරත්, සිරිල් විජේසුන්දරයන් සමඟ ගොස් ඒ පැළයක් දෙනිපිටියේ පොල්අතුමෝදර අසල පැරැණි නුගරුක තිබූ ස්ථානයේම රෝපණය කළහ. දැන් එම නුග ගස හොඳින් වර්ධනය වී ඇත. ඊට අමතරව පැරැණි නුග රුකේ මහ මුලෙන් ද පැළයක් වර්ධනය කරවීමට ආචාර්ය සිරිල් විජේසුන්දරයන් සමත් විය.
අද තරම් කෑගසන පරිසර සංවිධාන හා සමාජ මාධ්‍ය තිබුණේ නැති කාලයක එය යළි වර්ධනය කර සංරක්ෂණය කිරීමට නියම රාජ්‍ය නිලධාරියෙක් ලෙස සුනිල් සරත් පෙරේරා සිදු කළ සංවිධානාත්මක පාරිසරික සත්කාරය රටම අගේ කළ යුතු ය.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ එම නුග රුක වර්ධනය කිරීමට පූර්ණ සහාය දුන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්යක්ෂ හා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දරයන් පවසන්නේ මේ නුග රුක සංරක්ෂණයට සුනිල් සරත් පෙරේරා කළ සංවිධානාත්මක මෙහෙයුම නිසා දෙනිපිටියේ නුග රුක තවමත් සංරක්ෂණය වී ඇති බවයි. “අපිටත් මේකට දායක වෙන්න ලැබුණේ ඔහු නිසා... එක ලොකු සතුටක්” සුනිල් සරත් තමන් නොදන්නා විද්‍යාත්මක කරුණු අපෙනුත් අසාගෙන ම නිර්මාණ සකස් කරනවා. පරිසර ලිපිවලට, පරිසර ක්ෂේත්රයේ පරිපාලන කටයුතුවලට ඔහුගේ ග්රන්ථවලට මෙන් ම ගීත රචනාවලටත් අදාළ විද්‍යාත්මක කරුණු නිවැරැදිව දැනගෙන තමයි ඔහු පරිසර සංරක්ෂණ ක්ෂේත්රයේ කටයුතු කරන්නේ. මෙවැනි අය අපේ රටට ලොකු සම්පතක්” ආචාර්ය සිරිල් විජේසුන්දරයන් පවසයි.
සුනිල් සරත් පෙරේරා උපත ලැබුවේ 1943 මාර්තු 5 වැනිදාය. ඒ කොළඹ කිරුළපනේදීය. එකල කිරුළපන ප්‍රදේශයත් ගම්බද සිරිය ගත්තේය. ඔහු සිටි නිවස අසල ගලා යන ඇළ මාර්ගය එය තවත් ඔපවත් කළේය. ඒ අනුව සුනිල් සරත් පරිසරයට ළබැඳිකම් දක්වන්නට වූයේ පාසල් සමයේ සිටමය.
කලක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්රචාරක නිලධාරි ලෙස කටයුතු කළ සුනිල් සරත්ගේ ජීවිතය පරිසරය හා බැදුණේ 1991 මෙරට ප්‍රථම වරට පිහිටුවූ පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීමක් සමඟය. මෙරට ප්‍රථම පරිසර ඇමැති වූයේ වින්සන්ට් පෙරේරා මහතාය. එකල පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීල් ප්‍රනාන්දුය.
ඒ 1991 වසර යනු අපේ රටට පාරිසරික අභියෝගාත්මක වසරකි. ඒ 1992 බ්‍රසීලයේ රියෝ නගරයේ පැවැති පරිසරය හා සංවර්ධනය පිළිබඳ ජගත් සමුළුව හෙවත් මිහිතල සමුළුවට සූදානම් වීමටතිබීම නිසාය. මෙම සමුළුව මඟින් 21 වැනි සියවසේ න්‍යාය පත්‍රය සකස් කිරීමට ඒ ඒ රටවලවල ජාතික පාරිසරික වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව අපේ රටේ වාර්තාව සකස් කළ යුතුව තිබුණේ පරිසර අමාත්‍යාංශයයි.
ඒ අනුව එකල ජනපති ඩී.බී. විජේතුංග පරිසර ඇමැති වින්සන්ට් පෙරේරා පරිසර අමාත්‍යාංශ ලේකම් දේවනේෂන් නේසයියා යන මහත්වරුන්ගේ උපදෙස් අනුව අමාත්‍යාංශයේ උපදේශක ලෙස්ලි විජේසිංහ මහතා එම වාර්තාව සකස් කළේ සුනිල් සරත් පෙරේරාගේ පූර්ණ සම්බන්ධීකරණය ඇතිවය.
ඒ පිළිබඳව සුනිල් සරත් තම මතකය අවදි කළේ මෙසේය.
“මම මේ සමුළුවට මුලින් ම ගිහින් ඒකේ මහලේකම් හමුවෙලා අපේ වාර්තාව දීමට දිනයක් වෙලාවක් ඉල්ලා ගත්තා. ඒ අනුව අපේ ඇමැතිතුමා ඒක එතුමාට බාරදුන්නා. ඊට පසු සමුළුව පටන් ගත් විට සමුළුවේ මහලේකම් අපේ ජාතික පාරිසරික වාර්තාව අගය කළා සුනිල් සරත් කියයි.
සුනිල් සරත් මෙරට පරිසර සන්නිවේදනයට සොබා සඟරාව බිහි කළේ ඊට පසුවය. මෙරට ප්‍රථම පරිසර සඟරාව වූ එහි අදහස නිර්මාණය හා නාමය ඔහුගේය. රෙට් විවිධ ක්ෂේත්රවල ඉහළම විද්වතුන්ගේ පරිසරය හා සම්බන්ධ ලිපි පළකර පාරිසරික ජන විඥානය පුළුල් කිරීම එහි අරමුණ විය.
විවිධ ක්ෂේත්රවල මෙරට සිටි ඉහළම මට්ටමේ විද්වතුන් පරිපාලන නිලධාරීන් සොබා සඟරාවට පරිසර විෂයට සම්බන්ධව ලිපි ලියූ අතර සඟරාව මෙරට සියලු පුස්තකාලවලට හා පාසල්වලට ලබාදුන්නේ කිසිම මුදලක් අය කරගෙන නොවේ. මේ සඟරාවේ ඇති කාලීන බව සාර ගර්භ බව නිසාම එය පසුව ඉංග්‍රීසි හා දෙමළ බසින් පළ කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු කළේය. මේ සඟරාවට පාසල්වලින් පමණක් නොව සරසවි සිසුන්ගෙන් ද හොඳ ප්‍රචාර ලැබිණි. පසුව සුනිල් සරත් මෙරට පරිසර සන්නිවේදන කටයුතුවලට පෙරමුණ ගෙන කටයුතු කළේය. ඒ අනුව විශ්වවිද්‍යාලවල ප්‍රාමාණික විද්වත්හු හා පරිසර ක්ෂේත්රයේ ප්‍රධානීහු පරිසර සංවිධානවල අය උදවු කරගෙන රටපුරා පාරිසරික සම්මන්ත්රණ හා වැඩමුළු රැසක් පැවැත්වීය. ඊට අමතරව ජනාමාධ්‍යවේදීන් සඳහා පරිසර සන්නිවේදන වැඩමුළු රැසක් පැවැත්වූයේ පාරිසරික සංරක්ෂණ කලාපවල සිටම වීම ද විශේෂත්වයකි. ඒ අතර සජීවී ගුවන් විදුලි හා රූපවාහිනි වැඩසටහන් ද විය.
ඊට පසු සුනිල් සරත් තවත් සුවිශේෂී පරිසර ග්රන්ථයක් පළ කළේය. ඒ උඩරට මැණිකේ පරිසර වාර්තා ග්රන්ථයටයි. ඉන් විද්‍යාත්මක ගැඹුරු දේ ඉතා සරලව පාසල් සිසු දරුවන්ටත් ඉතා හොඳින් පැහැදිලි වන සේ ඉදිරිපත් කළේය.
මේ අයුරින් සුනිල් සරත් පෙරේරා මෙරට පරිසරය වෙනුවෙන් කළ කටයුතු රැසක් අපට මතක් කළේ පරිසර අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් හා ජෛව විවිධත්ව ඒකකයේ ප්‍රධානී වූ ගාමිණී ගමගේ මහතායි.
සුනිල් සරත් පෙරේරා මහමෙවුනා උයනේ ජෛව විවිධත්වය සුරැකීමට එහි රුක් රෝපණ ව්‍යාපෘතියෙන් ද 1993 දී ආරම්භ කර ඇති පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකයේ අනුග්‍රහය ඇතිවය. වඳ වී යන මහමෙවුනාවට ආවේණික ශාක විශේෂ රැසක් මහමෙවුනා උයනේ හා පාර දෙපස සිටුවීමත් එම ව්‍යාපෘතියේ දී සිදු විය. ඒ පිළිබඳව අටමස්ථානයේ ම හිමිවරුන්ගේ ප්‍රශංසාව ද පරිසර අමාත්‍යාංශයට හිමිවිය.
ඊට අමතරව අටවිසි බුදුවරුන් බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් බෝධින් වහන්සේ සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ ඒ බෝධින් වහන්සේ පිළිබඳව දරු පරපුරටත් දැනීමක් ලබාදීමේ අරමුණෙන් බව ගාමිණී ගමගේ මහතා පවසයි.
අපේ පාරම්පරික දැනුම හා අපේ ඖෂධීය පැළෑටි සංරක්ෂණය කිරීමට පෙරමුණගත් සුනිල් සරත් පසුව ආදිවාසීන් සංරක්ෂණයට පෙරමුණ ගත්තේ ආදි වාසීන් විසින් කරන පරිසර සංරක්ෂණ ක්‍රියාදාමය ඔපවත් කිරීම අරමුණු කරගෙනය.
දේශීය දැනුම හා අපේ රටේ වඳවී යන පැළෑටි සංරක්ෂණය මෙන් ම අපේ රටේ උප භාෂා සංරක්ෂණයට ද ඔහු අමිල මෙහෙවරක් කළ බව ගාමිණී ගමගේ පවසයි.
ඒ මඟින් සුනිල් සරත් අදහස් කර ඇත්තේ මෙරට ජෛව විවිධත්වය සුරැකීම මඟින් මෙරට පරිසරය සංරක්ෂණය කිරීම බව පැහැදිලිවේ.
ඩී.බී. විජයතුංග මහතා ජනාධිපති වූ කාලයේ සුනිල් සරත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස පත්විය. මෙරට ප්‍රථම වරට සජීවී පාරිසරික වැඩසටහන් ජාතික රූපවාහිනියට හඳුන්වා දුන් ඔහු හෝර්ටන්තැන්න, යාල, සිරිපාදය, නකල්ස් හා තවත් පාරිසරික සංවේදී කලාපවල සිට ජාතික රූපවාහිනිය මඟින් සජීවී වැඩසටහන් ඉදිරිපත් කළේ හුදෙක් ඒවා සංරක්ෂණය කිරීමේ පණිවුඩය ප්‍රේක්ෂක ජනතාවගේ සිත් සතන් තුළ පැළ පදියම් කිරීමේ අරමුණ ඇතිවය.
සුනිල් සරත් පෙරේරා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත්වූ පසු ගුවන් විදුලියේ පරිසර සංරක්ෂණ සන්නිවේදන කටයුතු විධිමත් කළේය. ‘මිහිතලය’ හා ‘පරිසර සිරිසර’ වැඩසටහන් ක්‍රමවත්ව පවත්වාගෙන ගිය ඔහු ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා භාෂා විද්‍යාගාරයක් ඇති කළේය. එයට කොත්මලේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ද පූර්ණ සහාය ලැබිණි. ලොව ප්‍රථම ළමා ගුවන්විදුලිය ලෙස ‘විදුල’ ගුවන් විදුලිය ආරම්භ කළ සුනිල් සරත් එහි තේමා ගීතය හා වැඩසටහන් වැඩිපුර යොමු කළේ පාරිසරික සංරක්ෂණය උදෙසාය.
සුනිල් සරත් නිසා මෙරට පරිසර සන්නිවේදනයේ විප්ලවීය ප්රවර්ධනයක් ඇතිවූ බව කිව යුතුමය. 1991 එතුමා පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීමක් සමඟ යුනිටි ප්ලාසා හි පිහිටි ඔහුගේ කාර්යාලයට නිතරම පරිසර සන්නිවේදකයෝ පැමිණියහ.
ඒ අනුව එතුමා රටේ පාරිසරික විනාශයන් සිදුවන ස්ථාන කරා රජයේ වියදමෙන් පරිසර සන්නිවේදකයන් රැගෙන යාමට කටයුතු කළේය. ඊට අමතරව පාරිසරික ලිපිවලට අවශ්‍ය මැති ඇමැතිවරුන්, පරිපාලන නිලධාරීන්, විද්වතුන් රැසක් පරිසර සන්නිවේදකයන් වන අපට සම්බන්ධකර ගැනීමට ඔහු අපට අත්වැලක් විය.
අනූව දශකයේ ජනප්‍රිය වුණ සම්මාන ලැබූ පරිසර සන්නිවේදකයන්ට තම වෘත්තීය දක්ෂතා ප්‍රවර්ධනයට සුනිල් සරත් දුන් අනුබලය අතිවිශාලය. ඒ නිසාම මෙරට පරිසර ප්‍රශ්නයක් ඇතිවූ විට ඒ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය මඟින් කතා කරන මාධ්‍යවේදීන් පිරිස වැඩි විය. එහි ප්‍රතිඵලයක් ලෙස වික්ටෝරියා - රන්දෙනිගල අභය භූමිය, මලේ කොස් කැලේ ආදිය බේරා ගැනීමටත් නීති විරෝධී අහුන්ගල්ල සත්ව උද්‍යානය වසා දැමීමටත් ජන මතයක් ගොඩනැංවීමට අපට හැකි විය.
එතුමා ලියූ පරිසරයට අදාළ පොත් පත් ප්‍රමාණය ද අපේ මේ පරිසරය ගැන ඉගෙන ගන්නා සිසු පරපුරට සන්නිවේදකයනට ඉතා ප්‍රයෝජනවත් ය.
විශේෂයෙන් සුනිල් සරත් ලියූ පරිසරය හා සන්නිවේදනය ග්‍රන්ථය හා මහාචාර්ය විමල් දිසානායක සමඟ ලියූ පුද්ගලයා පරිසරය හා සන්නිවේදනය ග්රන්ථ පාරිසරික මාධ්‍යවේදය ලෙස අපට ද ඉතා ප්‍රයෝජනවත් විය.
පරිසර සන්නිවේදනය පිළිබඳ ජනාධිපති සම්මානයෙන් හා හරිත සම්මානයෙන් පිදුම් ලබා ඇති සුනිල් සරත් පෙරේරාට හිමිව ඇති ලොකුම සම්මාන වන්නේ රටේ පරිසර හිතකාමී ජනතාවගෙන් පරිසර සන්නිවේදකයන්ගේ හදවතින් කවදත් දෙන සම්මානයන්ය.
සුනිල් සරත් පෙරේරා ලියූ පරිසරයට සම්බන්ධ ගීත රැසකි. පරිසර ගීතය ඕසෝන් ගීතය, කොස් ගීතය, මහවැලි ගීතය, කඩොලාන ගීතය, ධීවර ගීතය, ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
පරිසර විඥානය පුළුල් කිරීම සඳහා සුනිල් සරත් සිය ගීත සාහිත්‍ය යොදා ගැනීම පිළිබඳව හවායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විමල් දිසානායක මෙසේ විග්රහ කරයි.
“සුනිල් සරත් පෙරේරාගේ ගීත රචනාවල දක්නට ලැබෙන එක් විශේෂ ලක්ෂණයක් නම් සිය නිර්මාණ තුළින් රසිකයන්ගේ පරිසර විඥානය පුළුල් කිරීමයි.
බොහෝ ගීත රචකයන්ගේ ගීත ප්‍රබන්ධවල පරිසරය හා සම්බන්ධ සංකල්ප රූප, විස්තර වර්ණනා එමට තියනවා. සුනිල් සරත් පෙරේරා මිට අමතරව සිය ගීත රචනා මගින් පරිසර භක්තියක් ඇති කිරීමට වෑයම් කරනවා.
උදාහරණයක් වශයෙන් ඕසෝන පටලය ගැන සුනිල් සරත් පෙරේරා ලියා ඇති ගීතය සලකා බලමු. ඕසෝන් පටලය යනු විද්‍යාත්මක සංකල්පයක්, එය සංකල්ප රූප මඟින් සාමාන්‍ය ශ්රාවකයාට ග්‍රහණය කොට ගත හැකි ආකාරයට ඔහු ඉදිරිපත් කරනව. මෙවැනි නිදර්ශන ඔහුගේ රචනා අතර එමට තියෙනව.
ඕසෝන් වියන - ගීතය එයට කදිම උදාහරණයක් බව කිව යුතුයි.
“ගීත රචනා මඟින් ශ්‍රාවකයන් තුළ පරිසර භක්තියක් දැනවීම ඔවුන්ගේ පරිසර විඥානය දියුණු කිරීම සුනිල් සරත් පෙරේරා අතින් ඉටුවී ඇති වැදගත් ජාතික මෙහෙවරක්. “සුනිල් සරත් පෙරේරාගේ ගීත නිර්මාණවල දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම් ශ්ලේෂාජන්යන්ට මුල් තැනක් දීමයි. එනම් එකම පදය අර්ථ කීපයක් දැනෙන පරිදි භාවිතා කිරීමයි. එක් උදාහරණ වශයෙන් ‘ඇය යන්න ගියා - මැකිලා’ ගීතය දැක්විය හැකි ය.
ඊට අමතරව සුනිල් සරත් රචනා කළ පරිසර දින සමරු ගීතය ද අපි අමතක නොකළ යුතු බව ද මහාචාර්ය විමල් දිසානායක පවසයි.
සුනිල් සරත් පෙරේරා පිළිබඳව ඇගැයීමට මෙරට විද්වත්හු ඉතා කැමැත්තෙන් සිටිති. පේරාදෙණිය සරසවියේ භූ විද්‍යා උපදේශක මහාචාර්ය සී.බී. දිසානායක ඒ අතර ප්රමුඛයෙකි.
“සුනිල් සරත් පෙරේරා මම හඳුනාගත්තේ අවුරුදු 40 කට පෙර සිට ඔහු නිහඬ සමාජ සේවයක් කරන ජාතික සම්පතක් වගේ කෙනෙක්”
ඒ සමඟම පරිසරයට ඔහු කරපු දැවැන්ත සේවයක් තමයි සොබා සඟරාව සංස්කරණය කරමින් රටට ඉදිරිපත් කිරීම ඒක ඉතාම සුවිශේෂී ගවේෂණශීලී පාරිසරික සඟරාවක්. ඒක මුල් කලාපය ඉදන් රටේ විවිධ ක්ෂේත්රවල ඉහළම විද්වතුන් පරිසරය සුරැකීම ගැන ලිපි ලිව්වා. මමත් ඒකට භූ විද්‍යාව සම්බන්ධව ලිව්වා.
එමෙන් ම සුනිල් සරත් පරිසරය හා ධරණීය සංවර්ධනය අතර සමතුලිතතාව පිළිබඳව අවධානය යොමු කළා.
ආදි වාසීන් සමඟ සුනිල් බොහොම හිතවත්. වැදි පරපුරේ හැම වැදි නායකයාම ඔහුගේ පෞද්ගලික මිතුරෝ. වැදි පරපුර අපිට වඩා පරිසරය සමඟ ඉන්න අය. ඒ අය සුරැකීමට ඔහු කටයුතු කළේ ඒ පරිසරය සුරැකීමටත් අත හිත දෙමින්.
මේ සියලු කරුණු අනුව සුනිල් සරත් පෙරේරා යනු මෙරට පරිසරය සුරැකීමට සිය කාලය ශ්‍රමය ඥානය ලබාදුන් රටේම පරිසර ප්‍රශ්න ගැන තුන්කල් දක්නා නුවණක් ඇති අයකු ලෙස හඳුන්වන්න පුළුවන්. මහාචාර්ය සී.බී. දිසානායක පවසයි.
මේ අතර සුනිල් සරත් පෙරේරා පරිසර සන්නිවේදකයකු ලෙස මෙන්ම පරිසරය සුරැකීමට එක්වූ රාජ්‍ය පරිපාලන නිලධාරියකු ලෙස රටේ පරිසරය සුරැකීමට අත හිත දුන් සුවිශේෂී විද්වතෙක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සරත් කොටගම මහතා පවසයි.
සරත් කොටගම තවදුරටත් පවසන්නේ අපේ රෙට් පරිසරය සුරැකීමේ පණිවුඩය ජනතාවට විවිධ අයුරින් කා වැද්දීමට සුනිල් තමන්ටම ආවේණික විවිධ උපක්‍රම භාවිත කළ බවයි.
“එතුමා රූපවාහිනියේ අධ්යක්ෂ ජනරාල් වුණාම ඒකටත් පරිසරය වැඩිපුර සම්බන්ධ දේවල් එක් කළා. ගුවන් විදුලියේ සභාපති වුණාම ඒකටත් වැඩිපුර පරිසරය සම්බන්ධ දේවල් එකතු කළා. ලොව ප්‍රථම ළමා ගුවන් විදුලිය ‘විදුල’ එතුමා ආරම්භ කළ එහි පරිසර වැඩසටහන් රැසක් තිබුණා.
පරිසර විද්‍යාව හොඳ සිංහලයෙන් ජනතාව අතරට ගෙන යාමට ඔහු කළේ මහ මෙහෙයක්. මේ වගේ අය රටට සම්පතක්. ඒ අය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. අපි ඒ අය සුරැකීම වගේ ම ඒ අය ක්‍රියාත්මක දේවල් අනුගමනය කර අපේ පරිසරය සුරැකීමට කටයුතු කළ යුතුයි” මහාචාර්ය සරත් කොටගම පවසයි.
පරිසරය පිළිබඳව විද්‍යාත්මක කරුණු සරල සුගම බසින් ජනතාව වෙතට ගෙන යාමට ඔහු ගෙන ගිය උපක්‍රම රැසක් ඵල දැරුවා. ජෛව විවිධත්වය, පාරම්පරික ඥානය සුරැකීමට රටපුරා විවිධ වැඩසටහන් ඉදිරිපත් කළ සුනිල් සරත් දරු පරපුරේ සිට වැඩිහිටි පරපුරට ද පරිසරය සුරැකීමේ පණිවුඩය ලබාදුන්නා යැයි මහාචාර්ය කොටගම පවසයි.
මෙලෙස මෙරට පරිසරය සුරැකීමට ස්ථානීය විඥානය ඇතිව බාල තරුණ මහලු සැමට සුදුසු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ සුනිල් සරත් පෙරේරා සූරීන්ට මෙරට පරිසරය වෙනුවෙන් තවත් ‘රාජකාරියේ’ යෙදෙන්නට ශක්තිය ධෛර්ය ලැබෙනු ඇතැයි සැමගේ ප්‍රාර්ථනයයි.
සේයාරූ - විමල් කරුණාතිලක