
කාලෙකට පස්සේ ඔහුව පුංචි තිරයේ දක්නට ලැබෙනවා. ඔහු නිතර දෙවේලෙ නිර්මාණවලින් දකින්න නොලැබෙන, එහෙත් තමන් එක්වන නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න කැපවන යොවුන් කලා ශිල්පියෙක්. ඔහු සජිත ඇන්තනි. තමන් නිර්මාණ දායකත්වය සපයන මුල්ම නිර්මාණය වූ ‘බොහීමියානුවා‘ හරහා අමතක නොවන මතක ප්‍රේක්ෂකයා තුළ තැබුවා.
දැන් සජිත පළමු වතාවට සතියේ දින පහේම විකාශය වන ටෙලි නාට්‍යයකට එකතු වෙනවා. ඒ තමයි සද්දාමංගල සූරියබණ්ඩාර විසින් පිටපත රචනා කළ, ජී.සිවගුරුනාදන් විසින් අධ්‍යක්ෂණය කළ “නාඩගම්කාරයෝ...“ ටෙලි නාට්‍යයෙන්.
මේ අලුත් නිර්මාණ ප්‍රවේශය මුල් කරගෙන මේ දීප්තිමත් තරුණ කලාකරුවා මෙවර රසඳුන පිළිසඳරට එක් වෙනවා.
“මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගන්නෙ ක්ෂේත්රයේ ප්‍රවීණ අධ්යක්ෂවරයෙක් වුණු සිවගුරුනාදන් මහත්මයා. සද්ධාමංගල මහත්මයා ලියපු නාට්‍ය පිටපත මම කියෙව්වා. ඒ පිටපත හරිම විශේෂයි. කියවන්න ගත්ත වෙලාවේ ඉඳන් මම ඒකට ඇබ්බැහි වුණා. හරිම කැමැත්තෙන් මේ වැඩේ කරන්න භාරගත්තේ. සිවා මාමා සහ සද්දා මාමා කියන්නේ මම ආදරය කරන දෙන්නෙක්. ඒ නිසා ‘නාඩගම්කාරයෝ‘ නිර්මාණයට ආසාවෙන් ආදරයෙන් සම්බන්ධ වුණේ.“
රසිකයන් විසින් මේ දිනවල ‘නාඩගම්කාරයෝ‘ ඉතාම ආදරයෙන් වැලඳ ගෙන තියෙනවා. විකාශය වුණු සෑම කොටසක්ම යූ ටියුබ් රැල්ලක් නිර්මාණය කර තිබෙනවා. මේ නාට්‍යයේ සජිත විසින් රූපණය කරන්නේ වෙනස්ම චරිතයක්.
“ අහිංසක ප්‍රේමවන්තයා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වගේ චරිත කරපු මට වෙනස්ම තැනකට යන සාරාගෙ චරිතය ගොඩනගන්න ලේසි වුණේ නෑ. ඒ චරිතය මේ සමාජ ක්‍රමය විසින්ම නිර්මාණය කරන චරිතයක්. ආවේගශීලී හැසිරීමක් පෙන්නුම් කරන, කසිප්පු විකුණන සමාජ විරෝධී හැසීරීම් සහිත මේ තරුණයා ඇතුළෙ ඉන්නවා කලාවට ආදරය කරන, මිනිස්සුන්ගේ දුකේදී හිත උණුවෙන ඉතාම සංවේදී චරිතයක්. සියලු දෙනාගෙම සහයෙන් මම උපරිමයෙන් මගෙ දායකත්වය දුන්නා. මම අසාර්ථක නෑ කියලා ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පෙනෙනවා...“
සජිත ඇන්තනිගෙ පියා සම්මානිත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි. සජිත නාඩගම්කාරයෝ තුළ කරන රංගනය විටෙක ජැක්සන්ගේ ප්‍රතිභාව එක්ක සසඳන්න උත්සාහ ගැණුනා. ඒ ගැන සජිත කියන්නෙ මෙහෙම කතාවක්.
“ පොඩි ආඩම්බරයක් තිබෙනවා. ඒත් අප්පච්චිගේ තැනට තව ගොඩක් දුර යන්න තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මට තියෙන ලොකුම ආඩම්බරය මගේ අප්පච්චි දුන්න ප්‍රතිචාරය. අප්පච්චි මට කිව්වා “'චූටි පූතා, ලොකුම වාසනාව කරලා තියෙන්නේ මම. අපේ රටේ හිටපු ගොඩක් රංගන ශිල්පීන්ට තමන්ගේ ලස්සනම හොඳම කාලය පහුකළාට පස්සේ ආපහු පස්සට ගිහින් ඒ හොඳම කාලේ ඉන්න බැරි වුණා. හැබැයි මට ඒක ලැබුණා“ කියලා. මම අප්පච්චිව ආයෙම තරුණ කළා කියලා තමයි අප්පච්චි කිව්වේ.“
එහෙත් ජැක්සන් ඇන්තනිගෙ නිර්මාණ කිහිපයකටම සජිත සම්බන්ධ කරගෙන තිබුණේ නෑ. අප ඒ ගැනත් ඔහුගෙන් විමසුවා.
“ තමන්ගේ දරුවෝ කියලා අප්පච්චි ඔහුගේ නිර්මාණවලට අපිව ගන්නේ නැහැ. මගේ අප්පච්චි මේ ක්ෂේත්රයට ආවෙත් කාගෙවත් අතේ එල්ලිලා නෙමෙයි. ඔහු එහෙම ආවා නම් අපිටත් තනියම ගමනක් එන්න පුළුවන් කියලා අප්පච්චි කියලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති අප්පච්චි ඔහුගේ නිර්මාණවලට මාව වැඩිපුර සම්බන්ධ කර නොගත්තේ.“
සජිත ආරාධනා කරන හැම නිර්මාණයකටම සම්බන්ධ නොවන, අධ්‍යයනයක් සහිත සැලසුම් සහගත ගමනක නිරත වන තරුණ ශිල්පියෙක්.
“ මගෙ ලොකුම ඉලක්කය වුණේ සිනමා නළුවෙක් වීම. ‘ගාඩි‘, ‘එකගෙයි සොකරි‘, ‘දුෂ්රා‘, ‘සිහින සමීකරණ‘ කියන චිත්‍රපට හතරට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. නමුත් කොවිඩ් ප්රශ්නය එක්ක ඒ නිර්මාණ තිරගත වීම කල්ගියා. ඒ ගැන පොඩි දුකකුත් තිබුණා. මේ කල්යාම එක්ක චිත්‍රපට විතරක්ම කරනවා කියන ස්ථාවරයෙ ඉන්න බැහැ. මේ හැම දෙයක්ම ‘නාඩගම්කාරයෝ‘ නාට්‍යයට සම්බන්ධ වෙන්න මට හේතුවක් වුණා. ඒ වගේම ‘අඳුන්ගිර‘ සහ ‘මෝක්ෂ‘ යන නිර්මාණ දෙකකත් මේ දවස්වල රූගත කිරීම් කෙරෙනවා . “
සජිතගෙ ඊළඟ බලාපොරොත්තුව නිර්මාණ අධ්‍යක්ෂණය. අවසන් වශයෙන් අප ඒ ගැන විමසුවා.
රංගනය, ගායනය, නර්තනය වගේම අධ්‍යක්ෂණය කියන්නෙත් මම ආසා කරන ක්ෂේත්රයක්. ඒ නිසයි මම සජ් ක්‍රියේෂන් පටන්ගත්තේ. සජ් ක්‍රියේෂන් ආයතනයෙන් මේ වෙනකොට ‘කළුවර‘ සහ ‘ආදරියේ‘ කියන ගීත දෙක කළා. තුන්වැනි නිර්මාණයත් ළඟදිම එළියට එයි. මියුසික් වීඩියෝ විතරක් නෙමෙයි ටෙලි නාට්‍ය චිත්‍රපට පවා සජ් ක්‍රියේෂන් හරහා තමයි එළියට ගේන්න බලාපොරොත්තු වෙන්නෙ. මම ටීවී සීරිස් එකකුත් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරගෙන යනවා. සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන පාදම තමයි මේ මම සකස් කරගෙන යන්නේ.“
සජිත මේ වනවිට ඉතාම කාර්යබහුල නිර්මාණකරුවෙක්. ඔහුගේ බිරිය බුවිනිකා. ඔවුන් දෙදෙනා ඉතාම අවබෝධයෙන් යුතුව ඔවුන්ගේ ජීවිතය රැගෙන යනවා.
“ ඇය දෙන සහාය නිසා මට වෙහෙසක් දැනෙන්නෙ නැහැ. ඇත්තටම මම හරිම වාසනාවන්තයි ඇය වගේ කෙනෙක් මගේ ජීවිතයට ලැබීම ගැන. මම පිං දෙනවා ඇය මට ලැබීම ගැන.“ ඔහු කීවේ ඉතිරෙන තෘප්තිමත් හැඟීමකින්...