
ලෝකයේ ආදර්ශවත් පුද්ගලයින් බිහිවන්නේ කලාතුරකින්. ඒ නිසාම ඔවුන් සමාජයේ කතාබහට හා පිළිගැනීමට ලක්වෙනවා. එවැනි පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඔබ වෙත නිරන්තරයෙන් ගෙන එන්නේ ඔවුන්ගේ අධිෂ්ඨානය හා ධෛර්යය මඟින් අපිට ඉගෙන ගැනීමට බොහෝ පාඩම් තිබෙන නිසායි. අද මෙම පිටුවෙන් ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ කරණවෑමියකු ගැනයි. දන්නා භාෂාවෙන් කියනවා නම් බාබර් කෙනකු පිළිබඳවයි.
අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ බැංගලෝරයේ සිටින රමේෂ් බාබු නම් කරණවෑමියා ගැන නොදන්නා කෙනකු බැංගලෝරයේ සොයාගැනීමට නැති තරම්. එයට හේතුව වන්නේ මොහු එසේ මෙසේ කොණ්ඩා කපන්නකු නොව කෝටිපති කොණ්ඩා කපන්නකු වීමයි. රෝල්ස් රොයිස් ගෝස්ට් (Rolls Royce Ghost) මෝටර් රථ බැංගලෝරයටම තිබෙන්නේ 5ක් වන අතර රමේෂ් බාබු එයින් එක් සුපිරි රථයක සාඩම්බර හිමිකරුවකු වනවා. පාසල් ගමනවත් හරිහැටි නිමා නොකර කොණ්ඩා කපන්නකු ලෙස ඔහු මෙසේ පැමිණ තිබෙන දුර අපි සියලු දෙනාටම ආදර්ශයක්.
බාබු කුඩා කාලයේ එනම් වර්ෂ 1989 දී කරණවෑමියකු ලෙසින් සේවය කරමින් සිටි බාබුගේ පියා මිය යන්නේ පවුලේ එකම ආදායම් මාර්ගය පියා සතු වූ එම කොණ්ඩා කපන ස්ථානය බවට පත් කරමිනි. මේ නිසා එම ස්ථානය බාබුගේ මව විසින් දිනකට ඉන්දියන් රුපියල් 10කට කුළියට දී තිබෙන්නේ පවුලේ වියදම් සොයා ගැනීමටයි. ඉන්පසුව 1994 වසරේ දී බාබු පාසල් ගමන අත්හරින්නේ පියාගේ රැකියාව ඉදිරියට කරගෙන යෑමේ අරමුණ ඇතිවයි.
බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල තිබෙන මෙම කොණ්ඩා කපන ස්ථානය ‘Inner Space’ යන නමින් නම් කරන අතර වැඩිකල් නොගොස් එම ස්ථානය ජනප්‍රියත්වයට පත් වී තිබේ.
මේ නිසාම බාබුගේ ආදායම තරමක් සරු වන අතර මෝටර් රථයක් මිලදී ගැනීම ජීවිතයේ විශාලම හීනය වී තිබූ බාබු විසින් එම සිහිනය වර්ෂ 1997 සැබෑ කරගන්නේ මරුටි ඔම්නි (Maruti Omni) රථය මිලදී ගැනීමෙන් පසුවයි.
එතැන් පටන් ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වීමට පටන් ගන්නේ ඔහු එම රථය කුළියට දීම ආරම්භ කිරීමත් සමඟයි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් මෝටර් රථ කුළියට දීමේ ව්‍යාපාරය දියුණුවට පත් කරගන්නා ලද බාබු 1999 වසර වන විට ‘Ramesh Tours & Travels’ නම් සාර්ථක ව්‍යාපාරයක් බවට එය පරිවර්තනය කර තිබුණා.
මෙයින් නොනැවතුණු මොහු 2004 සුපිරි බෙන්ස් රථයක් මිලදී ගන්නේ සුඛෝපභෝගී මෝටර් රථ වෙත ඔහු දක්වන ඇල්ම නිසා සහ ඒ වනවිට සුඛෝපභෝගී මෝටර් රථ කුළියට දීමේ කිසිඳු සේවාවක් බැංගලෝර් නගරයේදී ක්‍රියාත්මක නොවූ නිසායි. පසුව එම බෙන්ස් රථය යොදාගනිමින් ප්‍රභූවරුන් සඳහා සුපිරි මෝටර් රථ කුළියට දීම ආරම්භකරන්නේ ඉන්දියාවේ ජීවත්වන ධනවත්ම කරණවෑමියා බවට පත්කරමිනි.
මරුටි මෝටර් රථයකින් ආරම්භ කරන ලද ව්‍යාපාරයේ අද වන විට ඔහු සතුව සුපිරි මෝටර් රථ 256ක් පමණ තිබෙනවා. මේ අතර රොල්ස් රොයිස් රථයක්, BMW රථ 6ක්, බෙන්ස් මෝටර් රථ 9ක්, ජගුවර් මෝටර් රථයක් හා Audi රථ 3ක් තිබෙනවා.
මොහුගේ මෙම සුපිරි මෝටර් රථ සේවාව නගරයේ ධනවතුන්, දේශපාලකයන් හා ඓශ්වර්යාරායි, අමිතාබ් බච්චන් හා ශාරුක් ඛාන් වැනි සුපිරි නළු නිළියන් පවා භාවිතයට ගෙන තිබෙනවා. කොතරම් විශාල ධනවතකු වූවත් රමේෂ් බාබුගේ විශේෂත්වය වන්නේ ඔහු තමන්ගේ මුල් ව්‍යාපාරය වූ කොණ්ඩා කැපීම අමතක කර නොතිබීමයි.
සෑම දිනකම උදෑසන 6.00 ට ගරාජය වෙත ගොස් සියලුම වාහන පරීක්ෂා කරන මොහු උදෑසන තමන්ගේ කාර්යාලය වෙත ගොස් එහි වැඩ ආරම්භ කරනවා. ඉන්පසුව සෑම දිනකම නොවරදවා සවස 5.30ට කොණ්ඩා කපන ස්ථානයට ඔහු ගමන් කරන්නේ ඔහුගෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්හට සේවය සැලකීමටයි.
ඔහු සතුව තිබෙන මිල අධිකම කාරය වන රොල්ස් රොයිස් රථය (ලංකාවේ මුදලින් රුපියල් කෝටි 10ක් පමණ) මොහු විසින් කුළියට දෙනු ලබන්නේ ඉන්දීය රුපියල් 75000කට (දිනකට) වන අතර තවමත් මොහු කොණ්ඩා කැපීම සිදු කරන්නේ ඉන්දීය රුපියල් 65ක් වැනි සුළු මුදලකටයි.
රමේෂ් ඔහුගේ දූවරු දෙදෙනාට හා පුත්‍රයාටත් විටින් විට කොණ්ඩා කැපීම පිළිබඳව කියා දෙන්නේ ඔවුන්වත් මෙම ක්ෂේත්‍රය වෙත ගෙන්වා ගැනීමටයි. දුප්පත් කම දුරලා ධනපතියන්ගෙත් ධනපතියෙකු වීමට ඔහුට වරම් ලබා දුන් මෙම කොණ්ඩය කපන ව්‍යාපාරයට ඔහු දේවත්වයෙන් සළකන අතර ඔහු මියගිය පසුවත් ඔහුගේ දරුවන් විසින් මෙම ස්ථානය මේ ලෙසින්ම පවත්වාගෙන යනු දැකීම මොහුගේ එකම බලාපොරොත්තුවයි.
පාසල හැර ගොස් ව්‍යාපාරය ආරම්භ කළද පසුව ඔහු ඉලෙක්ට්‍රොනික් පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරා එය සමත් වන්නේ අධ්‍යාපනයේ වටිනාකම ඔහු හඳුනන නිසායි. අපේ රටේ මුදලින් රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමක් සහිත සුසුකි ඉන්ටෘඩර් (Suzuki Intruder) නම් අති සුපිරි මෝටර් බයිසිකලයක්ද මොහුගේ භාවිතය සඳහා තිබෙන අතර දරිද්‍රතාවය හමුවේ සමාජයට වෛර කරමින් නීති විරෝධී ක්‍රියාවන්හි නිරත වනවා වෙනුවට ස්වඋත්සාහය මගින් තම දෛවය වෙනස් කරගත් රමේෂ් අපි සියලු දෙනාටම ආදර්ශයට ගත හැකි චරිතයක් බව මුළු ලෝකයම පිළිගෙන හමාරයි.