
- මාධ්‍යවේදී තමීර මංජු
රෙජීමයක රිඳුම්. මාධ්‍යවේදී තමීර මංජු රචනා කළ විශාරද කපිල මැද්දේගොඩ සංගීතවත් කළ ගීතාවලියක්. එහි නිෂ්පාදනත් තමීර මංජුගෙන්. වියැළු පොළොවේ අරගල ගී නමින් හඳුන්වන එම ගීත ජනගත කිරීමේ කලා ප්‍රසංගය හෙට( 03 වැනිදා) සවස 6.00ට කොළඹ ග්රීන්පාත්හි නව නගර ශාලාවේදී පැවැත්වෙනවා. මේ ඒ ගැන මාධ්‍යවේදී තමීර මංජු සමඟ කළ සංවාදයක්.
•රෙජීමයක රිදුම් ගීතාවලිය ඔබ හඳුන්වන්නේ අරගල ගී සම්ප්රදායේ නව පිම්මක් ලෙසින්. මෙය මාකටින් යෙදුමක්ද ? නැතිනම් එහි අර්ථය කුමක්ද ?
දේශානුරාගී ගීත, විමුක්ති ගීත, ජාතිකානුරාගී ගීත සහ දේශාභිමානී ගීත යනාදී වශයෙන් සංගීත සම්ප්‍රදායන් රැසක් අපේ සාහිත්‍යයේ පවතිනවා. ලෝක සාහිත්‍යයේත් එය අපිට දකින්නට පුළුවන්. අඩු වැඩි වශයෙන් මේ ගීතවලට අරගලය, විප්ලවය සහ විමුක්ති සටන් පාදක වී තිබෙනවා. නමුත් තත්කාලීන සමාජයේ යහපාලනය උදෙසා නිහඬ අරගලය අරමුණු කර ගත් වෙනම ගීත සම්ප්රදායක් ප්‍රචලිතව දක්නට ලැබෙන්නේ නැහැ. රෙජීමයක රිදුම් එම අඩුව සපුරාලීමේ අරමුණින් ඉදිරිපත් කෙරෙන්නක්. අපි මේ ගීත සම්ප්රදාය හැඳින්වීමට අරගල ගී නමින් නමක් යොදනවා. එය පිළිගැනීම හෝ නොගැනීම සමාජයට භාරයි. නමුත් අපි කරන්නේ සමාජ ව්‍යාපාරයක්. අපේ අරගල ගී සියයට සියයක්ම දේශපාලනිකයි.
•ඔබගේ ගීතාවලිය හැඳින්වීමට රෙජීමය යන වචනය යොදා ගන්නවා. එයින් අර්ථවත් වන්නේ වත්මන් ආණ්ඩුවද ? නැතිනම් පසුගිය ආණ්ඩුවද ?
රෙජීමය කියන වචනය දේශපාලනික අර්ථයකින් අපේ භාවිතය ට පැමිණියේ මෑත කාලයේදී. මර්දනය, ප්රචණ්ඩත්වය, බලහත්කාරය සහ අවනීතිය බහුල පාලන ක්‍රමය හැඳින්වීමට අපි රෙජීමය කියන වචනය භාවිත කරනවා. සාමාන්‍යයෙන් පැරැණි රාජාණ්ඩුවලදී මෙන්ම නූතන ආණ්ඩු ක්රමවලදීත් මර්දනය, ප්රචණ්ඩත්වය, බලහත්කාරය නීතිගත කරලා තියෙන්නේ. එය සමාජයක පැවැත්මට අත්‍යවශ්‍යයි. නමුත් මර්දනය, ප්රචණ්ඩත්වය සහ බලහත්කාරයතම පෞද්ගලික පැවැත්ම උදෙසා හෝ තම පවුලේ අභිවෘර්ධිය උදෙසා හෝ යොදා ගැනීමට ගිය විට එතැන රෙජීමයක් නිර්මාණය වනවා. 2010 වර්ෂයෙන් පසුව අපේ රටේ රාජපක්ෂ පාලනයේදී එවැනි ලක්ෂණ දක්නට ලැබුණා. එම යුගය හැඳින්වීම රාජපක්ෂ රෙජීමය යන යෙදුම සමාජ භාවිතයට පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙසින්. හමුදාහරණය වෙනුවට හමුදාකරණය, සුදුවෑන් සංස්කෘතිය, ගස්බැදීමේ ප්රචණ්ඩත්වය සහ අතිරසාර සංවර්ධනය යනාදී ලෙස අයහපාලන ලක්ෂණ අපි මේ යුගයේදී අත්දුටුවා. රෙජීමයක රිදුම් ගීතාවලියට පාදක වන්නේ එවැනි අයහපාලන මාතෘකා කිහිපයක්.
•කෙසේනමුත් ඔබගේ ගීතවල සෞන්දර්යාත්මක ලක්ෂණවලට වඩා අමු ගතිය වැඩියි. එයින් පෙනෙන්නේ ඔබගේ අසාර්ථකත්වය නෙවේද ?
ඉතා පැහැදිලිවම අරගල ගී කියන්නේ සාහිත්‍යමය නියැලීමක් නෙමෙයි. එතැන නියත වශයෙන්ම සමාජ ව්‍යාපාරයක් පවතිනවා. එය සම්පූර්ණයෙන්ම දේශපාලනිකයි. ඒ නිසාම අරගල ගීවලින් උසස් සාහිත්‍යමය ලක්ෂණ අපිට කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. වක්‍රෝත්ති, උපමා රසය වැනි සාහිත්‍ය ගුණාංග අපේක්ෂා කරන්නත් බැහැ. එහි ප්‍රධානතම සාහිත්‍ය රසය වන්නේ ශබ්ද රසය පමණයි. අදහස් ඍජුව අමුවෙන් ඉදිරිපත් කෙරෙනවා. නමුත් ඒ ගීත හිතට වගේම ඇඟටත් දැනෙනවා. එය ඇතැම් විට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. උදාහරණයකට දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයේ සාමාජිකයකුට අරගල ගී දැනෙන්නේ අඩුවෙන්. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් වාමාංශික ව්‍යාපාරිකයකුගේ ඇඟට අරගල ගී දැනෙන්න පුළුවන්.
•දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. එසේ තිබියදී අරගල කරන්නේ කාට එරෙහිවද ?
ඇත්ත 2015 ජනවාරි 8 වැනිදා රාජපක්ෂ රෙජීමය පරාජය වුණා. නමුත් එහි සෙවණැලි තවම තිබෙනවා. ඔවුන් තවමත් බලයට පැමිණීමට උත්සාහ කරනවා. එම උත්සාහයන් හමුවේ රාජපක්ෂ රෙජීමය පරාජය කළ බලවේග සිටින්නේ මලානිකව. ඔවුන් වැඩේ අවසන් කියා සැහැල්ලුවෙන් සිටිනවා. එයම තමයි වැරැද්ද. ඔවුන් සැහැල්ලු වන තරමටම රාජපක්ෂ රෙජීමයේ සෙවණැලි නැවත වරක් බලයට පැමිණීමේ අවස්ථාව වැඩියි. මේනිසා අපිට නිදා ගෙන සිටීමේ හැකියාවක් නැහැ. අමාරුවෙන් දිනා ගත් යහපාලනය සුරක්ෂිත කිරීමට නම් අපි නිරන්තරව අරගලයක නිරත විය යුතුයි. එහි විවාදයක් නැහැ.
•ඔය කියන විදියට අපි අරගල කළ යුත්තේ රාජපක්ෂ රෙජීමයට හෝ රාජපක්ෂ රෙජීමයේ සෙවණැලිවලට එරෙහිව විතරද ?
නැහැ. අද අපේ සමාජය සමාජය කොතරම් දියුණුවුවත් සාමාන්‍ය ජනතාව වූ අපි දේශපාලනික අසාධාරණකම්වලට ගොදුරු වීම වළක්වන්න බැහැ.
රාජාණ්ඩු කාලයේදීත් වර්තමාන යුගයේදීත් අපි නිරන්තරව දේශපාලනික අසාධාරණකම්වලට ලක් වනවා. ඒ දේශපාලනික අසාධාරණකම්වලින් විමුක්ත වීමට නම් ඊට එරෙහිව අරගල කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඒ විතරක් නෙමෙයි මේ ධනවාදී වෙළඳපොළ ක්‍රමය තුළ අපිට බහුජාතික සමාගම් ආයතන සහ පාර්ශ්වයන්ට එරෙහිවත් අරගල කිරීමට සිදු වෙනවා. ඒ සඳහා අපි යොදා ගත යුත්තේ සාමකාමී ප්රජාතන්ත්රවාදය. ඉස්සර වගේ අපිට පොලු අරගෙන දැන් ප්‍රශ්න විසඳා ගන්න බැහැ.