තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

කවුරුත් දන්නා ග්‍රී ලංකන් චාලි

මොඩ් යකා කිව්වාම ඔහුව කවුරුත් හොඳින් හඳුනනවා. විශේෂයෙන්ම මේ දවස්වල මොඩ් යකා, මෝහිනී වගේම ශ්‍රී ලංකා චාලි ලෙසත් කා අතරත් ජනප්‍රියයි. මේ චරිත රඟමින් ප්‍රේක්ෂකයන් වගේම කුඩා දරු දැරියනුත් විනෝදයෙන් පුරවාලන ශ්‍රී ලංකා චාලිගේ සැබෑ නම කපිල බාලසූරිය. කපිල මේ දවස්වල ගෙවන්නේ හරිම අපූරු ජීවිතයක්. ඒ ගැන අපිත් එක්ක කිව්වේ මේ විදිහට.

‘ශ්‍රී ලංකා චාලි‘,මෝහිනී වැනි චරිත මගේම නිර්මාණ. මම මේවා නිර්මාණය කළේ සමාජය වෙනුවෙන්. මේ දවස්වල නිතරම පෙර පාසල්වල ප්‍රසංග සඳහා මම සහභාගි වෙනවා. පුංචි දරුවන් මා වට කරගෙන මාත් එක්ක නටන්නේ හරිම ආදරණීය ලෙසයි.

ඒ සතුට වගේම අප රටේ මුළු ලොවම දැන ගත යුතු වටිනා ගුණ ධර්ම රැසක් තිබෙනවා. මේ වායින් අපේ වැඩිහිටි පරපුර වගේම කුඩා දරුවනුත් පෝෂණය කළ යුතුයි. එනිසා මේ චරිත ඔස්සේ මම මේ ගුණ ධර්මයන්ගෙන් අපේ සමාජය දැනුම්වත් කරනවා.

මේ කර්තව්‍යය වෙනුවෙන් මට පෙරපාසල්,පන්සල්, පල්ලි වගේම ප්‍රසංග වේදිකාවේත් සහයෝගය වගේම ආරාධනා නිතරම ලැබෙනවා. ඒ වගේම මම මේ සමාජටත් සතාසිවුපාවුන්ටත් මට හැකි අයුරින් මගේ ආදරය , සේවය ලබා දෙනවා. මේ ළඟ දි දවසක පණ අදිමින් මහ මඟ වැටී සිටි සුනඛයෙකුට මම බණ කිව්වා. තවත් දවසක් මස් කට්ටක් හිර කරගෙන මරණය පෙනි පෙනී සිටි බල්ලෙකුගේ ජීවිතය බේරුවා. මේ දේවල් මම සිදු කරන්නේ මේ ලෝකයේ සියුලු දේ අනිත්‍ය බව මෙනෙහි කරමින්.


පැතුමක් ඉටුවෙලා

 

ආදර හැගුම්, සිහිවටනයක් ගීත ඇල්බම් ඔස්සේ රසික ආදරය දිනාගත් රංජිත් නන්දන කුමාර රසිකයන්ට අමතක නොවන නමක්. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි රංජිත්ව කලා ලොවේ කවුරුත් හොඳින්ම හඳුනන්නේ රංජි නමින්. මේ දවස්වල ඔහු ගැන හුඟදෙනෙක් කතාබහ කරන්නේ ඔහුගේ නවතම ගී එකතුව නිසා. ‘මම සංගීත ක්ෂේත්‍රයට එක්කාසු වුණේ 1989 වසරේ දී පමණ. දැන් කලා ජීවිතයට දශක තුනක් පමණ වෙනවා. එදා මෙදා තුර මම මගේ රසිකයන් වෙනුවෙන් සෑහෙන ගීත ප්‍රමාණයක් ගයා තිබෙනවා. විශේෂයෙන්ම මම හුඟක්ම ආස ගායකයෙක් තමයි මිල්ටන් මල්ලවාරච්චි. මිල්ටන් සංගීතවේදියා වෙනුවෙන් වසරකට වරක් උපහාර ගීත ප්‍රසංගයක් පවත්වන්න මම අමතක කරන්නේ නැහැ. ඒ වගේම මගේ සංගීත දිවියේ සිහිනයක් වී තිබුණා කෙදිනක හෝ ගුවන් විදුලියේ සරල ගී ගායකයෙක් වෙනවා කියා. ඒ පැතුම ඉටු වුණා. මේ වෙනකොට ගුවන්විදුලියේ සරල ගී ගායකයෙකු විදිහට මා තේරී ති‍බෙනවා. ඒ වගේම මගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් නවතම ගීත කිහිපයක් මම නිර්මාණය කළා. ඒ ගීත කිහිපයම මේ දිනවල විවිධ නාලිකා ඔස්සේ ප්‍රචාරය වෙනවා. ‘දෙගුරුන්ගේ බර...‘ මව් ගුණ ගීතය ජාතික රූපවාහිනියේ පසුගිය දිනවල විකාශය වුණා. එහි තනු නිර්මාණය කළේ මම. ඒ වගේම යූටියුබ් එකෙන් ෆේස් බුක් එකෙන් ඕනම කෙනෙකුට මේ ගීත රසවිදින්න පුළුවන්. ඒ වගේම මේ ක්ෂේත්‍ර යේ දිගු ගමනක් එන්න මට අත දුන් හැම දෙනාම ආදර‍යෙන් අදත් සිහිපත් කරනවා.


කලාකරුවනට තිළිණයක්

හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ මාධ­්‍යවේදියෙක්. දශක ගණනාවක සිටම ඔහු කලා ලොවේ කවුරුත් හොඳින්ම හඳුනන මාධ්‍යවේදියෙක්. පසුගිය දිනෙක ඔහු අතින් විශේෂ දෙයක් සිදු වුණා. ඒ කලා ලොවේ ප්‍රවීණයන් රැසක් ගැන ඔහු ලියූ ලිපි අතරින් ලිපි ප්‍රමාණයක් ‘රිදී තිරය ඔප කළ තරු‘ නමින් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීම. මේ අවස්ථාවට බොහෝ පිරිසක් එක් වුණා. ‘ මම දිවයින පුවත් පතට ලියූ ලිපි එකතුවක් තමයි මේ විදිහට සංස්කරණය කළේ. මොකද එදා ඉඳලම කලා ක්ෂේත්‍රයේ ලේඛකයෙක්, ඡායාරූප ශිල්පියෙකු ලෙස මම කලාකරුවන් සමඟ සමීපව ඇසුරු කළා. ප්‍රවීණ කලා ශිල්පියකුට මොන ම අන්දමේ දෙයක් සිදු වුණත් ඔවුන් මට කතා කරලා මාව දැනුම් වත් කරනවා. සිරි කහවල මෙතැන දි මතක් කළ යුතුමයි. ඔහුත් මට සහයෝගයක් ලබා දෙනවා. කලාකරුවන් වෙනුවෙන් ඉදිරියටත් මට කරන්න පුළුවන් උපරිම සේවය මම සිදු කරනවා. රිදී තිරය ඔප කළ තරු කලාකරුවන් වෙනුවෙන් පිදෙන උපහාරයක්.

 


මල්ෂාගේ සුපිරි වෙළෙඳ සංකීර්ණය

මල්ෂා රවිහාරි ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇය තමයි ‘සිරස ඩාන්සින් ස්ටාර්ස් සීසන් ත්‍රී‘හි ජයග්‍රාහිකාව. මල්ෂා පසුගිය දා විවාහ වුණා. ඒ සිරස ආයතනයේම සේවය කරන රොෂාන් මනෝජ් එක්ක. මේ දෙන්නා එකතුවෙලා ක්ෂේත්‍රයේ කවුරුත් නොකරපු අලුත්ම දෙයක් කරන්න සුදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි මල්ෂාගෙන් විමසා බැලුවා. ‘විවාහ වුණාට පස්සේ අපි දෙන්නගේම අදහසක් තිබුණා ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියලා. ඒ වෙනුවෙන් පසුගිය කාලය පුරාම මහන්සි වුණා. ඒ පැතුම මල් ළුල ගැන්වී තිබෙනවා. ඒ තමයි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් විවෘත කිරීම. මීගමුව ප්‍රදේශයේ තමයි මෙය විවෘත කළේ. ඒ වගේම නර්තනය හා රංගනය ඔස්සේත් ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී සිනමා නිර්මාණයකින් රසිකයන් අතරට එන්නත් මම බලාපොරොත්තු වෙනවා.


හර්ෂට උදාවූ වාසනාව

හර්ෂ උඩකන්ද මේ දවස්වල ඉන්න කාර්ය බහුලම අධ්‍යක්ෂවරයා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයෙකුට එක පිට එක චිත්‍රපට නිර්මාණයන් සඳහා අරාධනා ලැබෙනවා කියන්නේ එය සැබෑම වාසනාවක් වගේම කලාතුරකින් සිදු වන දෙයක්. ඒ අපූරු වාසනාව හර්ෂටත් උදා වෙලා. මේ වසරේ පිට පිට චිත්‍රපට කිහිපයක්ම හර්ෂට ලැබී තිබීම එයට හේතුවයි. ඒ ගැන හර්ෂ අපිත් එක්ක කතා කළා. ‘මේ දවස්වල ‘ෆේස් ටු ෆේස් ‘චිත්‍රපටයේ රූගත කිරිම් නිමයි. එහි සංස්කරණ කටයුතු තමයි මේ දිනවල සිදු වන්නේ. ඒ අතර ‘රෙඩ් ‘චිත්‍රපටයටත් මට ආරාධනා ලැබුණා. එයත් තරමක් ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපටයක්. ඒ වගේම ‘වන්-ටූ- ත්‍රී‘චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නත් ආරාධනා ලැබී තිබෙනවා. මේ වැඩකටයුතු සාර්ථකව කර ගෙන යන්නයි ඉදිරි බලාපොරොත්තුව. 

 

Comments