ග්‍රේෂන් දිවියේ සැබෑ තතු චිත්‍ර­ප­ට­ය­කින් | සිළුමිණ

ග්‍රේෂන් දිවියේ සැබෑ තතු චිත්‍ර­ප­ට­ය­කින්

තාත්තා ගැන සමහරු වැරදි අර්ථකථන දෙද්දි ඔහු ගැන හරි කතාව කියන්නයි අපි උත්සාහ කළේ...

හොඳ ජීවිතයක් ගත කළොත් එහි ප්‍රතිඵල පරම්පරා ගණනකට ලැබෙන බව තාත්තා ඔප්පු කළා...

ලාංකේය සංගීතයේ සුවිශේෂි මෙහෙවරක් ඉටුකරමින් නොමැකෙන සලකුණක් තැබූ ග්‍රේෂන් ආනන්දයන් සුවහසක් රසික සිත් හඬවමින් මෙලොවින් නික්ම ගොස් වසර දහයක් ගතව ඇත. එවන් මොහොතක ග්‍රේෂන් ආනන්දයන්ගේ ආදරණීය දියණිය දුලාංජලී සේම පුත් මාරියෝ ආනන්ද තම පියාණන් වෙනුවෙන් සුවිශේෂි නිර්මාණයක් එළි දැක්වීමට නියමිතය. ඒ පිළිබඳ රසඳුනට අදහස් දක්වන්න එකතු වුණේ දුලාංජලි ආනන්ද යි.

 

“තාත්තා අපි අතරින් නික්ම ගොස් මේ වසරේ දෙසැම්බර් 29 වැනිදාට වසර දහයක්. තාත්තා නැති වුණාට පස්සේ හැම අවුරුද්දකම අපි තාත්තාගේ ජීවිතේට පවුලට සෑබෑවටම සමීපව සිටි පිරිස වෙනුවෙන් ආරාධනා පත්‍ර ලබාදීලා ප්‍රසංගයක් කළා..කිසිදු අනුග්‍රහයක් ලබා ගන්නේ නැතුව තමයි අපේ වියදමින් තමයි වසර හතක් එක දිගට ඒ ප්‍රසංගය සංවිධානය කළේ. එවැනි දෙයක් ප්‍රායෝගිකව කරන්න සාමාන්‍යයෙන් අපහසුයි.

මෙදා සැරෙත් අපි විවෘත ප්‍රසංගයක් කරන්න හිතාගෙන හිටියේ. නමුත් පවතින කොරෝනා තත්ත්වය නිසා එය කරන්න අපහසු බව දැනුණා. ඔය අතරේ මල්ලිගේ අදහසක් තිබුණා තාත්තා ගැන වාර්තා වැඩසටහනක් කරන්න. කාලෙක ඉඳන් අපි ඒකටත් ලෑස්ති වෙලා තිබුණේ. තාත්තා පිළිබඳ ගොඩක් අය දන්න දේ සීමිතයි. තාත්තා ගායකයෙක් සින්දු කළ බව මිසක් එතැනින් එහා සමහර අය තාත්තා ගැන මුකුත් දන්නේ නැහැ. ඇත්තටම සමහර තැන්වල අපේ තාත්තා ගැන වැරදි අර්ථකථන දෙනවා අපි දැකලා තියෙනවා. තාත්තගේ නම පාවිච්චි කරලා යූ ටියුබි එකේ ගීත යනවා. ඒවා ඇතුළට ගිහින් බලද්දි තියෙන්නේ වෙන කෙනෙක් කිසිම රසයක් නැතුව ගායනා කළ ගීත. තාත්තගේ ගීත බලාපොරොත්තු වෙන කෙනෙක්ට වැරදි දෙයක් අහන්න දෙනවා නම් ඒක තාත්තට කරන අසාධාරණයක්.

තාත්තා හිටපු කාලේ ඔහු මාධ්‍යවලට වුණත් ඇත්ත කතා කළා. ග්‍රේෂන් ආනන්දයන් ගැන කෙනෙක්ට කවදා හරි හොයන්න හිතුණොත් ඔහු ගැන හරි දෙයක් සටහන් වෙලා තියෙන්න ඕනේ කියලා අපි හිතුවා. ඒ නිසයි මේ වගේ වාර්තා චිත්‍රපටයක් කරන්න සැලසුම් කර තිබුණේ.

මගේ මල්ලි මාරියෝ ආනන්ද තමයි මෙය අධ්‍යක්ෂණය කරන්නේ. තාත්තා හැම වෙලාවෙම ඔහුගේ නිර්මාණ කළ අයට නිසි ගෞරවය දුන්නා. තාත්තගේ සමකාලිනයෝ ගොඩක් දැන් නැහැ. නමුත් ඉන්න කිහිප දෙනාගෙන් අපි තාත්තා ගැන අහනවා. තාත්තා කියන්නේ කවුද, ඔහු මොනවද කළේ, කොහොමද වැඩ කළේ කියලා අපි දන්නවා. තාත්තා ගැන සමහරු වැරදි අර්ථකථන දෙද්දි තාත්තා ගැන හරි කතාව කියන්නයි අපි උත්සාහ කළේ. මේ නිර්මාණය මාරියෝ ආනන්ද යු ටියුබ් නාළිකාව ඔස්සේ තමයි එළිදක්වන්නේ. රූපවාහිනි මාධ්‍ය තුළ ඉඩක් ලැබුණොත් ප්‍රේක්ෂකයන් අතරට ගේනවා.“

සංගීත කරළියේ රසික සිත් ඇදබැඳගත් ගී නිර්මාණය කරමින් ඉදිරියට පියවර තබමින් සිටි වකවානුවක ග්‍රේෂන් ආනන්දයන් තම පාසල් කාලයේ ප්‍රේමය වූ ශ්‍රීමා චන්ද්‍රානි සමඟ යුග දිවි ඇරඹුයේ ජීවිතයේ මහඟු ශක්තිය සේම ආශීර්වාදය ඇය බව හැගුණු නිසාවෙනි. ජීවන ගමන් මඟට එක්වූ සෙනෙහෙබර බිරිය සිතූ පරිද්දෙන්ම ඔහුගේ ගමන්මඟ පුරාම සෙවණැල්ලක් ලෙස රැඳුණි. ඒ නිසාවෙන්ම සිය නිර්මාණකරණයේ නිදහස්ව සැරිසරන්නට ඔහුට අවකාශය තැනුණි. කලාව තුළ සිය පියාණන්ගේ ගමන් මඟ සේම පවුලක් තුළ දුටු සිය ආදරණීය පියාණන් පිළිබඳ දුලාංජලීට පවසන්නට තව බොහෝ දෑ තිබුණි.

“ පවුලක් විදිහට අපි හරිම ආදරණීයව ජීවත් වුණා. තාත්තාගෙන් අපිට උපරිම ආදරය ලැබුණා. තාත්තයි මල්ලියි එකතු වෙලා නිර්මාණ කළා. තාත්තා නැති වුණාට පස්සේ තමයි මම ගී ගායනයට යොමු වුණේ. තාත්තා දැනන් හිටියා අපි වැරදි මඟ නොයා හොඳ ගමනක් යාවී කියලා. ඒ නිසා පොඩි කාලේ ඉඳන් අපිව තාත්තා ඇගැයුවා. අපේ තාත්තා ගෞරවාන්විත ජීවිතයක් ගත කළේ. තාත්තා හිත හොඳ සරල මනුස්සයෙක්. ආශ්‍රය කළ අයට හරිම හිතවත්. බොහෝ අවස්ථාවල තාත්තා පරිත්‍යාගශීලි චරිතයක් ලෙස කටයුතු කළේ. තාත්තා හිත හොඳ මනුස්සයෙක්. ඔහු ගේ ඒ උතුම් ගතිගුණ නිසා තාත්තා නැති වෙලා අවුරුදු දහයක් ගියත් එහි ප්‍රතිඵල අපිට ලැබෙනවා. තාත්තා කොච්චර මිනිසුන්ට කිට්ටු වුණාද කියතොත් අපි ග්‍රේෂන් ආනන්දගේ දරුවෝ කියලා දැනගත්ත මොහොතේ පටන් ඔවුන් තාත්තට දක්වපු ආදරයම අපිට දක්වනවා. අපි එක්ක කතා කරද්දි ඔවුන්ගේ ඇස්වලට කඳුළු එන අවස්ථා පවා තියෙනවා. හොඳ ජීවිතයක් ගත කළොත් ඒ ජීවිතය අමාරු වුණත් එහි ප්‍රතිඵල පරම්පරා ගණනකට ලැබෙන බව තාත්තා ඔප්පු කළා.“

“ මට මතකයි තාත්තා ගීතයක් කළාම අලුත් ගීතයක් කළා කියලා අපිට අහන්න දෙනවා. අපිව රෙකෝඩින්වලට එක්ක ගිහින් ඒ දේවල් බලන්න ඉඩ සකසා දෙනවා. අපේ තාත්තලාගේ කාලේ නිර්මාණ කෙරුණු විදිහ හරිම සුන්දරයි. එකමුතුව හැමෝම වැඩ කළේ. ග්‍රේෂන් ආනන්දයන්ගේ දරුවෝ විදිහට ඇත්තටම අපි ආඩම්බර වෙනවා ඔහු ගිය ගමන්මඟ ගැන.“

සිය පියාණන් ජීවන ගමන් මඟෙන් නික්ම ගොස් වසර දහයක් ගතවන මොහොතක දුලාංජලි සිය පියාණන් පිළිබඳ මතක දිග හරිමින් සිය පියාණන්ට ගෞරාවාන්විත වටිනාකමක් හිමි කර දුන්නාය.

Comments