ජාතික නාලිකාවේ අලුත්ම වෙනස | සිළුමිණ

ජාතික නාලිකාවේ අලුත්ම වෙනස

ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය කලාවේ නවතම පෙරළියක් ඇති කරමින් ජාතික රූපවාහිනිය තම තිස්පස්වැනි සංවත්සරය සැමැරුම වෙනුවෙන් දිනපතා රාත්‍රී හත- අට හෝරාව ‘හවසට ගෙදර‘ නමින් නවතම විශේෂාංග වැඩසටහන් පෙළක් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම පසුගිය විසි වැනිදා සිට ඇරැඹීය. ඒ අනුව සෑම සඳුදා දිනෙකම රාත්‍රී 7 සිට අට දක්වා හෝරාව වෙන් වනුයේ ‘මිහිකත ඔබේය‘ විත්ති කතාමාලාව වෙනුවෙනි.

ජාතික රූපවාහිනියේ වාර්තා ඒකකයේ සුවිශේෂී නව වාර්තා වැඩසටහන් රැසක් සමඟ විදේශ වාර්තා වැඩසටහන්ද එකතුව සෑම සඳුදාවකම 7-8 පැය ප්‍රේක්ෂකයාගේ පැයක් ලෙස මෙම වැඩසටහන ඉදිරිපත් කෙරේ. නරඹන්නන්ට විශ්ව දැනුම හා පරිසරයේ දැනුම බෙදාදීම මෙහි මුලික අරමුණයි.

සෑම අඟහරුවාදා දිනෙකම 7-8 පැය වෙන්වනුයේ ‘හිත ළඟ 7 ‘විශේෂාංගය වෙනුවෙනි. ජාතික රූපවාහිනියේ අතීත රූ සයුර කිමිද , එදා නිර්මාණවල රසමුසු තැන්, රංගවේදීන්, ගායනවේදීන්, ලලිත කලා හා සෞන්දර්යය ක්ෂේත්‍ර යේ මෙන්ම සාමාජීය හා අධයාපනික , විද්‍යාත්මක තොරතුරු අැතුළත් මෙය ප්‍රවීණ නිවේදක හේම නලීන් කරුණාරත්නයන්ගේ ඉදිරිපත් කිරීමෙන් හැඩ වෙන සාම්ප්‍රදායික සඟරාමය වැඩසටහන් රාමුවෙන් මිදී නවතාවයෙන් යුතුව පිදෙන සාර සංග්‍රහයකි. සෑම බදාදා දිනෙකම 7-8 පැය වෙන්වනුයේ ‘කවුද ස්ටාර්‘ප්‍රහසන වැඩසටහන් මාලාව වෙනුවෙනි.

ස්ටාර්ස් ලා බුරුතු පිටින් බිහිකරන මේ යුගයේ ඒ දෙස උපහාසාත්මකව බලා නිර්මාණය වූ මේ වැඩසටහන් පෙළින් ‘කුකරි ස්ටාර්‘,‘මන්ත්‍රී ස්ටාර්‘,‘ත්‍රීවිල් ස්ටාර්‘,‘ඇමැති ස්ටාර්‘ වැනි ස්ටාර්ස්ලා රැසක් ප්‍රේක්ෂක හමුවට ගෙන ඒමට නියමිතය.

සෑම බ්‍රහස්පතින්දා දිනෙකම 7-8 පැය වෙන්වනුයේ ‘එක්ස් ෆයිල්ස් ‘ නවතම කතාමාලාව වෙනුවෙනි. සදා අමරණීය කතාමාලාවක් ලෙස ඇමෙරිකාවේ ෆොක්ස් නාලිකාවේ විකාශය වූ මෙය වසර 14කට පසු එනම් 2016 වසරේ දී කොටස් 06 කින් සමන්විත එක්ස් ෆයිල්ස් නවතම කතාමාලාව මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයන් දෙදෙනකු වන ෆොක්ස මොල්ඩර් සහ ඩේනා ස්කිලීගේ වික්‍රම සහ ඔවුන් මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මෙයට අතුළත්ය. සෑම සිකුරාදා දිනෙකම රාත්‍රී 7-8 හෝරාව වෙන්වනුයේ ‘මහෝඝය‘ සංගීත මියැසිය වෙනුවෙනි. ගීතය හා සංගීතය දෙස අපූර්ව ආකාරයකින් බලා රූප මාධ­්‍යයට විෂය වන පරිදි සැලැසුම් කළ ඇසිදිසි නිර්මාණ පෙළහරකි මෙය.

 

Comments