
ද්විත්ව පුරවැසිකමට පක්ෂව බැසිල් රාජපක්ෂ වෙනුවෙන්ම ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රී කියන කතාව
එස්. එම්. එම්. මුෂාරෆ් මන්ත්‍රීගේ වතගොත
1983 වසරේ ජූනි මස 10 වෙනිදා පොතුවිල්හි උපත ලද මුෂාරෆ් පොතුවිල් කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ද්විතියික අධ්‍යාපනය ලැබීමට මරදමුණේ මහා විද්‍යාලයට ඇතුළත් විය. උසස් පෙළින් පසුව මාධ්‍යවේදියකු ලෙස ජාතික රූපවාහිනී සංස්ථාවට බැඳුණු ඔහු 2009 වසර දක්වාම එහි සේවය කෙළේය. 2009 වසරේදී ඉන් ඉවත්ව ස්වාධීන රූපවාහිනියේ සේවයට ඔහු සම්බන්ධ වන්නේ එහි ආරම්භ කළ ‘වසන්තම්‘ සේවාව වෙනුවෙනි. එහිදී අවස්ථා ගණනාවකදී සම්මාන උපහාර තිළිණ ලබන ඔහු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන්නේ වසරේ හොඳම දේශපාලන සාකච්ඡා (දෙමළ මාධ්‍යය) ඉදිරිපත් කරන මාධ්‍යවේදියා වශයෙනි. 2017 වසරේ ඔහු ස්වාධීන රූපවාහිනියෙන් ඉවත්ව නීති විද්‍යාලයට ඇතුළත් වුවද නිදහස් මාධ්‍යවේදියකු ලෙස සේවය කෙළේය. ඒ අතර ඔහුගේ දේශපාලන විචාර හා රූපවාහිනි ඉදිරිපත් කිරීම් දුටු අයගෙන් දේශපාලනයට පිවිසෙන ලෙස ඉල්ලීම් ගලා එන්නට විය. නීතිඥයකු ලෙස පත්වීමෙන් පසුව ඒ ඉල්ලුම තවත් වැඩි විය. ඒ ජනතා ඉල්ලීම අනුව මෙවර මහ මැතිවරණයට දිගාමඬුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ සමස්ත ලංකා මහජන පක්ෂයෙනි. එහිදී ඔහු මනාප 18,399ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් විය. පොතුවිල් ආර්.එම්. නගර්හි පදිංචි ඔහු තවමත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරයි.
20 වන ව්‍යවස්ථා සංශෝධනයේදී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වන වගන්තිය සම්බන්ධ ඡන්ද විමසීමේදී එයට සහාය පළ කෙළේය. ඔහු නීතිඥයෙකි; මාධ්‍යවේදියෙකි. ඔහුගේ මේ ඡන්දය ප්‍රකාශ කිරීම ගැන දේශපාලන කරළියේ මෙන්ම සමාජයේ විවිධ ස්ථානවල පැවැති මතවාදයන් සම්බන්ධයෙන් අපි ඔහුගෙන් විමසීමු. එහිදී ඔහු පැවසූ කතාවයි මේ.
‘19 සංශෝධනයේ අපේ රටට වැඩදායක බොහෝ දේවල් තිබුණා. ඒ අතුරින් තොරතුරු දැන ගැනීමේ පනත, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම වගේ රටටත් ජනතාවටත් වැදගත් කරුණු අඩංගු වුණා. ඒත් ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වන වගන්තිය ඇතුළත් කෙළේ රාජපක්ෂ මහත්වරුන්ගේ දේශපාලන ගමනට පහරදීමක් ලෙසින් බව ඉතාම පැහැදිලියි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ සිට නොතිබුණු අලුත් වගන්තියක් 19 වැනි සංශෝධනයට ඇතුළත් කළේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි මහත්වරුන්ගේ දේශපාලන ගමන් මඟ අහුරාලන්නයි. ඒ සඳහා පැහැදිලි බාධකයක් එයින් ඇති කළා.
සුළු ජනකොටසක් හැටියට අපිට එක් එක් පක්ෂවල, නැත්නම් දේශපාලකයන්ගේ න්‍යාය පත්‍ර වැඩක් නැහැ. රටට වැඩක් වෙන ක්‍රියාදාමයකට විතරයි අපි එක්විය යුත්තේ. රටට හිතකර වගේම ජාතීන් අතර එකමුතුභාවය ඇතිවන, ඇති කරන අය තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ.
මේ වනවිට දේශපාලනයේ ක්‍රියාකාරීව ඉන්න පාර්ලිමේන්තුවේ නැති බැසිල් රාජපක්ෂ වැනි කෙනෙක් පාර්ලිමේන්තුවට එනවා නම්, ද්විත්ව පුරවැසිභාවය ඒකට බාධාවක් නම්, ඒ වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. රටට අවශ්‍ය කරන්නේ පක්ෂ පාට අනුව කටයුතු කිරීම නෙමෙයි. සියලු දෙනාම සමඟිව ජාතීන් අතර එකමුතුව කටයුතු කිරීමයි.
ඒ අතින් බැසිල් රාජපක්ෂ ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. එතුමා ඇමැතිධුරය දැරූ කාලයේ ඒ කියන්නෙ 2005 අවුරුද්දෙ ඉදල 2015 දක්වාම ‘උතුරේ වසන්තය‘, වගේම ‘නැඟෙනහිර නවෝදය‘ වෙනුවෙන් කළ කැපවීම අපි දන්නවා. 2009න් පස්සෙ ජනතාව නැවත පදිංචි කරන්න එතුමා ගත්ත වෙහෙස ගැනත් අපි දන්නවා. එතැන දේශපාලනයක් තිබුණෙ නැහැ. ජාතිවාදයක් තිබුණෙ නැහැ, එකම හේතුව ලෙස එතුමා දැක්කේ අවතැන්වීම පමණයි. ඒ විශ්වාසය මගේ විතරක් නෙමෙයි මේ නැඟෙනහිර බහුතර ජනතාවකගේ තියෙනවා. එතුමා පාර්ලිමේන්තු ආ යුතුයි කියන මතයේ නැඟෙනහිර විශාල ජනතාවක් අපට පවසා තිබෙනවා. ඒක නිසා එතුමාට බාධාවක් වෙලා තියෙන ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් එතුමා වෙනුවෙන් පෙනී සිටින්න මම කැමතියි. ඒ සමස්ත ජනතාව වෙනුවෙන්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහිත් අපට ලොකු විශ්වාසයක් තිබෙනවා.
රටක් හදන්න ආණ්ඩු පක්ෂයේම ඉන්න ඕන නැහැ. විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව කරන හොඳ වැඩ අගය කරනවා නම් ඒක ඉතාම වැදගත්. සාම්ප්‍රදායික විපක්ෂයක් ලෙසින් ආණ්ඩුව කරන හැම වැඩේටම විරුද්ධව කතා කිරීමේ සංකල්පයක් මගේ නැහැ. උදාහරණයක් හැටියට මම පාර්ලිමේන්තුවේ කරපු පළමු කතාවෙන්ම නිව් ඩයමන්ඩ් නැවේ ගින්න මැඬ පවත්වපු ආරක්ෂක අංශවලටයි ඒකට මුල් වුණු අනෙක් සියලු අයටයි විශේෂ ස්තුතියක් පළ කළා. ඒ මහා ව්‍යසනය වළක්වා ගත්ත එක ගැන අපි රටක් විදිහට බලනව මිසක් දේශපාලන කෝණවලින් බලල වැඩක් නැහැ.
ආණ්ඩු පක්ෂයේ ඉන්න විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අය මේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව විරෝධය පළ කළා. ඒක ඇත්තෙන්ම අපට අදාළ නැහැ. අපි බලන්නේ ජනතාවට වුණු සේවාව ගැනයි. ඒ පුද්ගලයාගේ ඇති වැදගත්කම ගැනයි. සමහර වෙලාවට ඒ අයට බැසිල් රාජපක්ෂයන් කළ සේවය අමතක වෙලාද දන්නේ නැහැ.
අපි කටයුතු කළ යුත්තේ හෘදය සාක්ෂියට එකඟවයි. 20 වන සංශෝධනයට විරුද්ධව ඡන්දය පළ කරන්න සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ ඒ හා සම්බන්ධ වූ පක්ෂ තීරණය කළා. අපේ පක්ෂයත් ඊට එකඟ වුණා. ඒ අනුව 20 වැනි සංශෝධනයට අපි විරුද්ධව ඡන්දය ලබා දුන්නා.
එම සංශෝධනයේ විගණන කොමිසමේ බලතල අඩු වීම වැනි කරුණුවලට අපිට එකඟ වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒක පක්ෂයක් සන්ධානයක් විදිහට ගත්ත තීරණයක්. ඒ අනුව මමත් 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නා. නමුත් ද්විත්ව පුරවැසිභාවය ගැන හෝ ඒ සම්බන්ධ ඡන්ද විමසීමක් ගැන හෝ අපි කලින් කතා කර කිසිදු ආකාරයක තීරණයක් ගෙන තිබුණේ නැහැ. ඒ නිසා හෘද සාක්ෂ්‍යට එකඟව මම එයට ඡන්දය දුන්නා.
ඇතැම් අය කියනවා ඇමරිකන්කාරයො පාර්ලිමේන්තුවට එයි, චීන අය එයි කියලා. 1978 ඉදල මේ දක්වා ඇමරිකන්කාරයො ආවද? චීන ජාතිකයො ආවද? මේ සේරම දේශපාලන වාසි කතා විතරයිනෙ.
මම නීතිඥයෙක්; ඒ වගේම අවුරුදු 14ක මාධ්‍යවේදියෙක්. මාධ්‍යවේදියෙක් ලෙසින් මම බලන්නෙ මැදිහත්ව. ඒ මැදිහත් තීරණය තමයි මම ගත්තෙ. පක්ෂයේ තීරණයට මම විරුද්ධ වුණෙත් නැහැ. හෘදය සාක්ෂියට විරුද්ධ වුණෙත් නැහැ.
ජනාධිපතිවරයාට විධායක බලතල තිබුණහම රට පාලනය කිරීම ගැන මතුවන අර්බුද ගැන කතා කරනව. පහුගිය කාලෙ බලතල නැහැයි කියල වෙච්ච දේවල් අපිට දැන් පේනවනෙ. ඒක නිසා රටක් නිසි ලෙසින් පාලනය කරන්න ජනාධිපතිවරයාට විධායක බලයක් තියෙන්න ඕන කියන එක ඉතා පැහැදිලියි. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශ්වාස කරනවා. එතුමාටත් ලී ක්වාන් යූ වගේ, මහතීර් මොහොමඩ් වගේ රට පාලනය කරලා හොඳ රටක් නිර්මාණය කරන්න අවස්ථාව තියෙනවා. අපි විතරක් නෙමෙයි රටේ ජනතාවම ඒ දෙස බලාගෙන ඉන්නවා. රටට පැහැදිලි වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස ජනතා හිතවාදී මෙන්ම රටට හිතවාදී විය යුතුයි.
මම කලින් කියපු බැසිල් රාජපක්ෂ වැනි දූරදර්ශී පුද්ගලයන් ඒකට අවශ්‍යයි. ඒ අය දන්නවා ජනතා අවශ්‍යතා මොනවාද කියලා. පාර්ලිමේන්තුව කියන්නේ ජනතා නියෝජනයයි. ඒ ජනතාව නියෝජනය කරන අය තමන්ගේ මතය නියෝජනය කිරීම කළ යුතු නැහැ. මහජනතාවගේ අවශ්‍යතාවයි නියෝජනය කළ යුත්තේ. ඒ මහජන නියෝජනය අපි හොඳින් දුටුවා 2005ත් 2015ත් අතර කාලයේදී. නමුත් මම විපක්ෂයේ සිටියත් ඉදිරියේදී වුණත් රටට යහපත් වෙන ඕනෑම කටයුත්තකදී ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ‘‘