ට්‍රම්ප්ට වඩා බයිඩ්න් ඇත්ත­ටම හොඳ­යිද? | සිළුමිණ

ට්‍රම්ප්ට වඩා බයිඩ්න් ඇත්ත­ටම හොඳ­යිද?

ඇමරිකා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස මෙතෙක් ඉතිහාසයේ ඉදිරිපත්ව සිටින දුර්වලම අපේක්ෂකයන් දෙදෙනා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩ්න් බව ඇතැම් දේශපාලන විචාරකයෝ පවසති. ඔවුහු ඒ බව සනාථ කිරීමට ඉදිරිපත් කරන කරුණු කිහිපයකි.

දෙවැනි ධූර කාලය සඳහා ඉදිරිපත් වුවද තම ප්‍රථම ධූර කාලය තුළ ට්‍රම්ප් ඇමරිකාවට කළ යහපතක් නැත යන්න ඒ අතරින් පළමුවැන්නයි.

මීට පෙර ක්ලින්ටන්ගේ සිට පාලනයේ සිටි ජනාධිපතිවරුන්ට දෙවැනි ධූර කාලයක් ලබා දීමට ජනතාවට සාධාරණ හේතු විය. ඒ අතරින් ඉදිරියෙන්ම සිටියේ මුස්ලිම් අන්තවාදීන්ට එරෙහි යුද්ධයයි.

ක්ලින්ටන්ට ඉරාකය සමග යුද්ධ කරන්නට තිබූ අතර රිපබ්ලිකන් බුෂ්ට ඔසාමා බිල් ලාදෙන් සමග ගැටුම අවසන් කිරීමේ ඉලක්කය විය.

ඔබාමාද මේ න්‍යාය පත්‍රය එළෙසින්ම ඉදිරියට ගෙන ගියේය. මෙවැනි හේතු මත ජනතාව ඔවුන්ට දෙවැනි ධූර කාලයක් කිසිඳු තර්කයකින් තොරව ලබා දුන්හ. එහෙත් ට්‍රම්ප්ට එවැනි හේතු නොවීය.

එක් අතකින් ලොව කිසිඳු තැනක අනවශ්‍ය යුද්ධ ඇති කිරීමට අනුබල නොදුන් ඇමරිකා ජනාධිපතිවරයකු ලෙස ට්‍රම්ප් ඉතිහාස ගතවනු ඇත. එහෙත් ඇමරිකානු ජාතිකවාදය ඉදිරියට ගෙන එමින් බලයට පැමිණි ට්‍රම්ප් ඇමරිකාවට කළ යහපතක් නැත යන්න ඔහුගේ විරුද්ධවාදීන්ගේ තර්කයයි.

කොවිඩ් පැතිරයෑම සහ ට්‍රම්ප් අසාර්ථක නායකයකු ලෙස ගෙන ගිය සාර්ථක ඩිමොක්‍රටික් ප්‍රචාරණ ව්‍යාපාරය හමුවේ ජනතාව ට්‍රම්ප්ට වඩා බයිඩ්න්ට අකාර්ෂණය වුවද මේ වන විට සැබවින්ම ට්‍රම්ප්ට වඩා බයිඩ්න් හොඳද යන ප්‍රශ්නය බොහෝ දෙනා තුළ මතුවෙමින් තිබේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනාම කිසිඳු ආකර්ෂණයකින් තොර සුවිශේෂත්වයකින් තොර පුද්ගලයන් බව ඇමරිකානු ජනතාවගේ මතයයි.

මේ දෙදෙනාම ඉතා වයස්ගත පුද්ගලයෝය. ට්‍රම්ප්ගේ වයස අවුරුදු 70ක් වන අතර බයිඩ්න්ගේ වයස අවුරුදු 78කි.

ඒ අනුව මේ දෙදෙනාම තරුණ පරපුර ආකර්ෂණය කර ගැනීමට අසමත් බව විචාරකයන්ගේ තර්කයයි. කමලා හැරිස් උප ජනාධිපති ලෙස නම් කරමින් තරුණ සහ කාන්තා ආකර්ෂණය මෙන්ම සංක්‍රමණිකයන්ගේ ඡන්ද ද ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය දැඩි උත්සාහයක් දරමින් සිටී. කොවිඩ් සම්බන්ධව ට්‍රම්ප්ගේ ‘ගණන් නොගන්නා‘ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළද බයිඩ්න්ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සමග නොසිටින බව ඔහු ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බැවින් ඔහුටද මේ වන වට ජනතා චෝදනා එල්ල වෙමින් තිබේ.

ට්‍රම්ප් සෞඛ්‍ය පුරුදු පිළි නොපදින බවත්, මුව ආවරණ නොදමන බවත් චෝදනා කර සිටි බයිඩ්න් වරක් මුව ආවරණය දමා සිටියද තම නාසය විවෘතව පවත්වා ගැනීමත්, කැස්සක් මතු වූ අවස්ථාවේ දී මුව අවාරණය ඉවත් කරන අන්දමත් ඇමරිකානු සමාජය පුරා ඉතා සාර්ථකව බෙදා හැරීමට මාධය සමත් වූයෙන් බයිඩ්න්ගේ තවත් ලකුණු කිහිපයක්ම කැපී ගියේය.

අනික් අතට ගියවර ඇමරිකානු ජාතිකවාදය සම්බන්ධව මවිල් කෙලින් වන කතා ඇද බාමින් ජනතා ආකර්ෂණය දිනා ගත් ට්‍රම්ප් මේ වන විට ජාතිකවාදය බිමින් තබා ඇති බවක් පෙනේ.

ඒ අනුව මෙවර ඔහුට අලෙවි කිරීමට ආකර්ෂණීය මාතෘකා නැත. බයිඩ්න්ට ඇත්තේ ට්‍රම්ප් විරෝධය මිස ජනතා ආකර්ෂණයක් නොවේ.

මේ සියල්ල මත බොහෝ විචාරකයන් පවසන්නේ ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ඇල් මැරුණු ඡන්ද සටන සහ දුර්වලම අපේක්ෂකයන් මෙවර ඉදිරිපත්ව සිටින බවයි.

බයිඩ්න්ගේ තෝරා ගැනීම ඩිමොක්‍රටික් පක්ෂයේ අසාර්ථක බව පෙන්වන ලක්ෂණයක් ලෙස ගත හැකිය.

පසුගිය මැතිවරණයේදී ට්‍රම්ප්ට තරග වැදීමට සිදුවූයේ අති ජනප්‍රියව සිටි හිලරි ක්ලින්ටන් සමගිනි.

ඒ අවස්ථාවේදී ට්‍රම්ප් ජයග්‍රහණය කළේ ඉතා තියුණු තරඟයකින් පසුවය. අනික් අතට මැතිවරණය පැවැත්වෙන්නේද ඩිමොක්‍රටික් පාලන සමයකදීය. එවර ඇද වැටුණු ඩිමොක්‍රටික් බලාධිකාරය යළි ගෙන ඒමට මෙවර ඔවුන් තෝරාගෙන ඇත්තේ අති ජනප්‍රිය ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරයකු වූ බරැක් ඔබාමාගේ උප ජනාධිපති වූ ජෝ බයිඩ්න්ය.

ඒ හැර වෙනත් තෝරා ගැනීමක් ඩිමොක්‍රටික් පක්ෂයට නොවීය. එහෙත් මේ මුළු කාලය තුළම ඩිමොක්‍රටික්වරු ට්‍රම්ප්ට නොකළ කෙනෙහිලිකමක් නැත.

බයිඩ්න්ගේ දරුවන්ගේ කටයුතු හේතුවෙන් ඔහුට එල්ල වූ අපහාස අත්හැර දැමූවද, ඔබාමාගේ ජනප්‍රියත්වය හැර අන් විශේෂ කැපීපෙනෙන ආකර්ෂණයක් බයිඩ්න් සතුව නැත.

ඒ හේතුවෙන්ම මෙවර කල් වේලා තබා ආරම්භ වූ ඡන්ද ප්‍රකාශ කිරීම ලොවට ප්‍රවෘත්තිමය වැදගත්කමක් එක් කරන්නේ මේ දෙදෙනා අතර ඇති ඇල්මැරුණු මැතිවරණ සටන ද හේතුවෙනි.

Comments