අමතක නොවන මතක | සිළුමිණ

අමතක නොවන මතක

ඔන්න මෙන්න හුස්ම යන්න ගිහින් යන්තම් බේරුණේ පෙර පිනකින්

 ජනප්‍රිය ගායන ශිල්පී නාමල් උඩුගම

මම හිතන්නෙ මගේ ජීවිතයේ විතර අමතක නොවන සිදුවීම් කාටවත් නැතිව ඇති. ඒ අතරින් ගොඩක්ම මෑත කාලයේ වු සිදුවීම්. 1997.02.19 රුවන්ති මංගලා සමග විවාහ වු දිනය හැමදාම මතකයේ තිබෙන සුන්දර දවසක්. අපි විවාහ වී වසර 20ක් ගතවුවත් අදත් ඒ මතකය හරිම මිහිරියි. එදා ඉදන් අපි දෙන්නා දරු දෙදෙනකුගේ දෙමවුපියන් වී දුක සැප බෙදාගනිමින් ගෙවන ජීවිතයේ මතකයන් බොහොමයි.

මාරක අනතුරක්

එක් වතාවක් මම නුවර ගෙදර ගිහින් එනවිට කඩුගන්නාවේ පල්ලමට වාහනය පෙරළෙන්න ගිහින් බේරුණේ හාස්කමකින් වගේ. ඒ කාලෙ වනවිට මම රසිකයන් අතර ජනප්‍රිය ගායන ශිල්පියෙක්. එදා ඒ අනතුර සිදු වු අවස්ථාවේ මා හදුනාගත් රසිකයන් මට ගොඩක් උදවුකළා. එදා ඒ ප්‍රපාතයෙන් වැටුනනම් නාමල් උඩුගම කියන පුද්ගලයා අද නෑ. ඒ තරමටම බිහිසුණු අනතුරකින් තමයි එදා බේරුණේ.

අලුත් කැසට් පටයක්

සංගීත ක්ෂේත්‍රයට ආපු මුල්ම කාලයේ ඇතැම් ප්‍රවීණයන් කියනවා කියා එක එක කතා ආරංචි වුණා. මම ඒ කිසිවක් ගණන් ගත්තේ නෑ. ප්‍රියංකර පෙරේරා, චාන්දනි හෙට්ටිආරච්චි, අබේවර්ධන බාලසුරිය වැනි කලාකරුවන් මට සංගීත ප්‍රසංග සොයා ගැනීමට උදවුකළා. ඔය අතරෙදි 1990 මගේ පළමු කැසට් පටය එළිදැක්වුවා. ඒ සමුගන්නේ නෑ නමින්. එයට රසිකයන්ගෙන් අසීමිත ප්‍රතිචාර ලැබුණා. ඒ කාලෙ මම සංදර්ශනයකට සහභාගිවනවා කීවම විශාල පිරිසක් බලන්න එනවා. විශේෂයෙන් තරුණියන්ගෙන් බේරුමක් නැති කාලයක් තිබුණා. ගෙදරට එන ලියුම් ගොඩ අද වගේ මතකයි. එම කැසට්පටයෙන් පසු එක දිගට කැසට්පට ගණනාවක් කළා. ඒ හැම එකකටම රසික ප්‍රතිචාර එකවගේ ලැබුණා.

ලස්සන දුවක්

මම හරි ආසාවෙන් සිටියේ අපිට දුවක් ලැබෙනවට. හිතුවා වගේම රුවන්තිට ලස්සන දුවෙක් ලැබුණා. ඒ දවසෙ මම තාත්ත කෙනෙක් වුණානේ කියා පුදුම සතුටක් දැනුණේ. එදා ආසිරි පෞද්ගලික රෝහලේදි රුවන්තිගෙ ඥාතීන් සමග ඒ සතුට බෙදාගත්හැටි අද වගේ මතකයි. පස්සෙ පුතා ලැබුණු දවසත් ජීවිතයේ අමතක නොවන දිනයක්. එහෙත් පළමුව දුව ලැබුණු නිසාද දන්නෙ නෑ ඒ දිනය හැමදාම මතකයේ තිබෙනවා.

සමුගන්නේ නෑ වේදිකාවට

ප්‍රසිද්ධ සංගිත කණ්ඩායමක් සමග මුලින්ම ගීතයක් ගායනා කළ දිනය අද වගේ මතකයි. ඒ කාලෙ සන්ෆලවර් සංගීත කණ්ඩායම හරිම ජනප්‍රියයි. මටත් ඔවුන් සමග ගීතයක් ගායනාකරන්න හරිම බියක් දැණුනා. සමුගන්නේ නෑ ගීතය ගායනාකරන්න තමයි වේදිකාවට නැග්ගේ. ගීතය අලුත් නිසා සන්ෆලවර් සංගීත කණ්ඩායම ඒ ගීතයට සංගීතය සපයන්න දන්නෙ නෑ. ඒත් ඔවුන්ගේ තිබෙන දක්ෂතාව නිසාම සිංදුව හොඳින් ගායනා කරන්න සිංගීතය ලබා දුන්නා. එදායින් පස්සෙ අපේ රටේ ප්‍රසිද්ධ කියන සෑම සංගීත කණ්ඩායමක් සමගම ගීත ගායනාකර තිබෙනවා.

තාත්තාගේ මරණය

2015.12.31 ජීවිතයේ කවදාවත් අමතක නොවන දිනයක්. ඒ තාත්තා මිය ගිය නිසයි. මගේ තාත්තා අනෙක් පියවරු සමග ගත්විට ඉතාම සංවේදී අහිංසක චරිතයක්. අපිට ආදරෙන් සැලකූ කාරුණික හදවතක් ඇති මනුෂ්‍යයෙක්. කවදාවත් මොන වැරැද්දකළත් තාත්තා අපට ඳඬුවම් කරලා නෑ. අපිට ඕනෑම දෙයක් කරන්න නිදහස දෙනවා. හැබැයි ඒ හැම දේකම හොඳ නරක කියලත් දෙනවා. එයාගේ වියොව අපේ ජීවිතවලට හරියට බලපෑවා.

ලිෆ්ට් එකේ හිරවෙලා

වරක් කුවේට් රටට ගියා සංගීත ප්‍රසංගයකට. තට්ටු ගණනක් උස බිල්ඩිමකට අපට විදුලි සෝපානයෙන් ගමන් කරන්න සිදුවුණා. මා සමග සුසිල් පෙරේරා හා ධනපාල උඩවත්ත ගියා ප්‍රසංගයට සහභාගි වන්න. අපි ගිය ලිෆ්ට් එක කාර්මික දෝෂයක් නිසා ගමන්කළේ නෑ. විනාඩි 15ක් විතර අපි ඇතුළේ හිරවෙලා. දැන් අපිට කරන්න දෙයක් නෑ. දාඩියත් දාලා හොඳටම. අන්තිමට ඇඳන් හිටපු ඇඳුම්පවා ගලවා දමන්න සිද්ද වුණා. ඇතුළෙ කට්ටිය අඬනවා. හරිම අමාරුයි හුස්ම ගන්න. මම දකිනවා සුසිල් අයියා බයේ වෙව්ලනවා. මමත් එහෙම ඉන්න ඇති. කොහොමහරි මතක්වෙන්න ඕනෑ හැම දෙවියෙක්ම ඒ වෙලාවේ මතක්වුණා. අපේ රටෙත් නෙමෙයිනේ. මොනවහරි වුණානම් කවුරුත් දන්නෙ නෑ. ඇතුළෙ හිරවෙලා හිටිය අපි කෑ ගහලා කොහොමහරි lift එක ඇරගත්තා. අම්මෝ... දැනුනෙ පුදුම සැනසීමක්. ඒ වෙලාවේ ඔන්න මෙන්න හුස්ම හිරවෙන්න හිටි අපි නුලෙන් බේරුණා. ඒ දැනුණු බිය අදවගේ මතකයි.

රෝහලේ ට්‍රොලියක

පසුගිය කාලයේ ඇතිවු අසනීප තත්ත්වය මේ රටේ හැමකෙනෙක්ම දන්නවා. මම මැරණා කියලත් ඇතැම් සමාජ වෙබ් අඩවිවල පල වී තිබුණා. ජීවත්වෙන්න ලැබෙයිද..කියන බය හැම වෙලේම දැනුණා. අපේ රටේ සනීපකරන්න බැරි නිසාම තමයි සැත්කම කරන්න ඉනිදියාවට ගෙනිච්චේ. එහිදී සැත්කම කරන්න ගත්ත දවස මගේ ජීවිතයේ මැරිලා ඉපදෙච්ච දවසක් වගේ. ඒ දැනුණු දුක, වේදනාව, කලකිරීම, කොතරම්ද..? ඒ සියල්ල අද මතකෙට එන කොටත් දැනෙන බිය වචනයෙන් කියන්න බැරිතරම්. ට්‍රොලියක තියලා සිහි නැතිකරන්න කලින් අම්මා, දරුවන්, බිරිඳ, හැම කෙනෙක්ම මතක් වුණා. මගේ රටේ රසිකයන් මම වෙනුවෙන් කොච්චර දේ කළාද කියලත්, මම මැරුණොත් මේ අය කොහොමද ඉවසන්නේ කියලා. එදා දෙවිවරු වගේ ඒ වෛද්‍යවරු මගේ ජීවිතය බේරා දුන්නා.

කලාකරුවන් නැත්නම් නාමල් නෑ

දුකේදි පිහිටවන මිතුරන් සැබෑම මිතුරන් බව පසුගිය කාලයේ තේරුම්ගන්න හොඳටම අවස්ථාව ලැබුණා. ඒ පසුගිය අසනීප වු කාලය. හැම කලාකරුවෙක්ම, රසිකයෙක්ම හදවතෙන් හරි මට ආශිර්වාද කළ නිසයි අදත් මම ජීවත්වෙලා ඉන්නෙ. විශේෂයෙන් මගේ සොහොයුරු ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව මහත්මිය සැත්කමට විශාල මුදලක් දුන්නා. ඇය කළ මේ උපකාරය මට මගේ ජීවිතයේ මැරෙනතුරාවට අමතක වන්නේ නෑ. ඒ වගේම කලාකරුවෝ 55ක් එකතු වී මා වෙනුවෙන් සංගීත සංදර්ශන පවත්වා ඒ ලැබෙන මුදල් ලබා දුන්නා. ඒ අයගේ නම් නොකීවේ එක නමක් හරි අමතක වුණොත් හොඳ නැති නිසයි. මධුමාධව අරවින්ද සෑහෙන වෙහෙසක් ගත්තා මාව ජීවත් කරවන්න. කලාකරුවන් රැස්කර ඔවුන් සමග එක් වී මට මුදල් සොයා දෙන්න සංගීත සංදර්ශනයක් පැවැත්වුවා.

සන්ෆලවර්, ඇරොස්ටාර්, සන්ශයින්, ගැලැක්සීස්, ලියාරා, සරත් ද අල්විස් ප්‍රමුඛ සුපර්ස්ටාර්, මේරියන්ස්, සනිධප, ජිප්සීස්, භාතිය සන්තුෂ් සංගීත කණ්ඩායම් හැකි පමණින් පිහිට වුණා. ඔවුන් කළ උදවු හැමදාමත් මතකයේ තිබෙනවා. ඒ වගේම ඇමැතිවරු, හිටපු ජනාධිපති, හා වර්තමාන ජනාධිපතිතුමන්ලා, ජයන්ත ධර්මදාස මහතා, වෛද්‍යවරු ඇතුළු ප්‍රවීණ කලාකරුවන් මාගේ ජීවිතය බේරාදෙන්න ගත් උත්සාහයට අනේකවාරයක් ස්තූතියි. මම හිතන්නෙ කලාකරුවෙක් විදිහට මම විතර දුක් කම්කටොළු ගොඩකට මුහුණ දුන්න තවත් කෙනෙක් නැතුව ඇති. එදා වගේම රසික රසිකාවියන් අතර අදත් මම ජනප්‍රිය ගායකයෙක්. මම හිතන්නෙ එය මට ලැබුණු පෙර පිනක්. 

Comments