තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

ජනතාවගේ ජනකාන්ත නළුවා

මේ දවස්වල රන්ජන් ඉන්නේ බොහොම සතුටින්. ඒ දේශපාලනය නිසා නම් නෙමෙයි. ඔහුගේ ජීවිතයට අදාළ වැදගත්ම හේතුවක් නිසා. ඒ තමයි පසුගිය දවසක යෙදී තිබුණු ඔහුගේ උපන්දිනය වගේම රන්ජන් මේ වසරේත් ‘ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා‘සහ‘ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ ප්‍රියතම රංගන ශිල්පියා‘යන ස්ලිම් නිල්සන් සම්මාන ද්විත්වයෙන් පිදුම් ලැබීම. මේ හැමදේම ගැන රන්ජන් අපිත් එක්ක කතා කළේ සතුට බෙදා ගන්න ගමන්. ‘හරිම සතුටක් දැනෙනවා. හැමදාමත් මම ඉන්නේ ජනතාව සමඟයි. මම හිතන විදිහට මෙම සම්මාන මට ලැබුණේ පිට පිට එකොළොස්වන වතාවටයි. දැනට නළුවෙකුට එක දිගටම එකොළොස් වතාවක් එකම සම්මානයක් ලැබීම එක් අතකට වාර්තාවක් වෙනවා. ඒ වගේම මේ සම්මාන උළෙලේත් එක දිගටම මෙම සම්මානය ලබාගත් එකම සම්මාන ලාභියා ලෙස ද මට ඇත්තේ සතුටක්. මට මතකයි මගේ මාමා විජය කුමාරතුංගයන් මේ ආකාරයෙන්ම පිට පිටම පස් වතාවක් සරසවිය සම්මාන උළෙලේ දී ජනප්‍රිය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙලෙසම ජනතාවගේ හදවතේ රැදෙමින් ජනප්‍රියම නළුවා ලෙස මටත් සම්මාන හිමි කර ගැනිමට හැකි වීම වාසනාවක් ලෙසයිමෙට හැඟෙන්නේ. මොකද හැමදෙනාටම බැහැ ජනතාවගේ හදවතේ රැදෙමින් ඔවුන්ගේ කැමැත්ත දිනාගන්නට. ඒ වගේම මගේ ප්‍රේක්ෂක ජනතාවට කියන්නට තව දෙයක් තිබෙනවා. ඒ තමයි මගේ නවතම රංගනයන් ඇතුළත් ‘ඩොක්ටර් නවරියන්‘චිත්‍රපටය මේ වසරේ තිරගත වෙන්නට නියමිත බව.‘


විශේෂ සැමරුමක්

ඩොනල්ඩ් ජයන්ත කිව්වම ඔහුව කවුරුත් හඳුනන්නේ ප්‍රවීණ සහාය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙකු ලෙසයි. මේ දවස්වල ඩොනල්ඩ් ඔහුගේ පනස් හත්වන සිනමා අධ්‍යක්ෂණයේ යෙදෙනවා. මේ ගෙවී යන වසර ඩොනල්ඩ්ට අතිශය විශේෂ වසරක්. ඒ හේතු කිහිපයක් නිසා. ඒ ගැන අපිත් එක්ක ඩොනල්ඩ් පැවැසුවේ මේ විදිහට.‘මේ මාර්තු මාසෙට මම සිනමාවට එක්වෙලා වසර 32ක් වෙනවා. එය මගේ ජීවිතයේ විශේෂ සැමැරුමක්. මාතරින් කොළඔට අවිත් නොසෑහෙන්න දුක්විදිමින් පියවරෙන් පියවර ආපු ගමනක් මේ. පුංචි කාළේ මගේ සිනමා ලෝකේ වීරයන් කිහිප දෙනෙක්ම හිටියා. ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග ඒ අතරින් ප්‍රධාන වුණා. ඒ හැමදෙනා සමඟම මට වැඩකරන්න වාසනාව ලැබුණා. ඒ අතීතය සිහිවෙත්දී පුදුමාකාර සතුටක් මට දැනෙනවා. මේ දිනවල මම ‘සිහින අභිෂේක‘ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ සඳරුවන් ජයවික්‍රම. මෙහි මහේන්ද්‍ර පෙරේරා, චාන්දනි සෙනෙවිරත්න, ආශා එදිරිසිංහ, බිමල් ජයකොඩි ප්‍රධාන චරිත රඟපානවා. සද්ධා මංගල සූරියබණ්ඩාර මෙහි තිරරචනය ලියා තිබෙනවා. කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, නිෂ්පාදන කළමණාකරණය දමින්ද මඩවල. මෙහි තිබෙන තවත් විශේෂත්වයක් තමයි දමින්දයි මමයි මේ ක්ෂේත්‍රයේ කටයුතු කළේ සහාය අධ්‍යක්ෂවරුන් ලෙසයි. එකට පටන් ගත් අපේ ගමනේ දී වසර ගණනක් ගිහින් අපි දෙදෙනා එකට එකම චිත්‍රපටයකින් හමුවන පළමු අවස්ථාව මෙයයි. ඔහු මේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමණාකරු ලෙසත් මම සහාය අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කරනවා.‘


දිළිසෙන දෑසක්

කමනි ලසන්තිකා ගායන ලොවේ තරු අතර ඉදිරියෙන්ම සිටින තරුවක්. කාලෙකට පස්සේ කමනි ගැන යළිත් කතාබහක් මේ දවස්වල කරළියට පැමිණ ඇති හැඩයි. ඒ කමනිගේ ‘දිලිසෙන දෑස‘නිසයි. රසිකයන් අතර කතාබහට ලක් වූ දිළිසෙන දෑස ගැන කමනි අපිත් එක්ක කිව්වේ මේ විදිහටයි. ‘දිළිසෙන දෑසක් කියන්නේ මම ගායනා කළ නවතම ගීතයයි. එය වැලන්ටයින් දිනය වෙනුවෙන් සුවහසක් පෙම්වතුන් වෙත ආදරයෙන් තිළණ කරන්නට මට හැකි වුණා. මේ දවස්වල මේ ගීතය නාළිකා කිහිපයකම විකාශය වෙනවා. අපූර්ව රූපමය රචනාවකින් හැඩ වූ මේ ගීතය මා සමඟ ගායනා කළෙත් සංගීතය නිර්මාණය කළෙත් දෙනුවන් කෞෂිකයි. මෙය රචනා කළේ යසිත දුල්ෂාන්. මේ ගීතයට මගේ රසිකයන්ගෙන් දැන් තමයි හුඟාක් ප්‍රතිචාර ලැබෙන්නේ.


කැම්පස් එකට හැත්තෑ පහයි ගීතයට හතළිස් එකයි

සරසවිය පාදක කරගෙන නිර්මාණය වූ පෙම් ගීත, විරහ ගීත අතර පේරාදෙණිය සරසවිය අමතක කරන්න බැහැ. පේරාදෙණි සරසවියේ පරිසරය , පෙම්වතුන් අළලා නිර්මාණය වූ මේ ගීත හැමදාමත් දවසින් දවස අලුත් වෙනවා. මේ ගීත නිර්මාණය වී වසර ගණනක් ගෙවී තිබුණ ද එකී ගී අසත් දී දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්. මේ විදිහට පේරාදෙණිය සරසවිය පිළිබඳ ලියැවූණු අපූරු ගීතයක් අපිට අහන්න ලැබුණා.

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ...

කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ...

දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ...

අපි තනිවී දොඩමළු වූ හැටි දෙනියේ...

කොමළ පපා මුකුළු සිනා පෑ දෙතොලේ ...

මතකද මහවැලි දෑලේ සපු සෙවණේ...

පේරාදෙණිය සරසවියට හැත්තෑපස් වසරක් සපිරෙන මේ මොහොතේ මේ ගීතය ගැන අපිත් එක්ක කතා කළේ එහි රචක සිරිසමන් විජේතුංගයි‘උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යෑමට ලැබීම මගේ ජීවිතයේ සුන්දර අවස්ථාවක්. විශ්වවිද්‍යාලයේ පරිසරය ඹ්නෑම සිතක කවි කල්පනා පුබුදු කිරීමට සමත් වෙනවා. සරසවි පරිසරයේ සුන්දර මතකය මා තවමත් මනසින් විඳිනවා. ‘සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ... ගීතය ලියැවුණේ එම මතක ඇසුරින්. මා සරසවි සිසුවකුව සිටි සමයේ දී නොවෙයි. අපට සමීප බොහෝ අත්දැකීම් අපි සිත තුළම වින්දනය කර ගන්නවා. මේ ගීතය මා අතින් ලියවුණේ නිරායාසයෙන්මයි. ඒ 1976 වසරේ දී. මේ ගීතයේ සඳහන් පරිසරය පේරාදෙණි සරසවි භූමියේ අදත් පවතිනවා. එක් පසෙකින් මහවැලි ගංගාවත් අනෙක් පසින් හන්තාන කඳු වැටියත් සහිත මේ සුන්දර පරිසරයේ ජීවත් වන නව යොවුන් පරම්පරාව ඔවුනොවුන් වෙත දක්වන සෙනෙහස හා ආදරය පරිසරය මෙන්ම සුන්දරයි. ඒලෙස හමු වූ සරසවි පෙම්වතුන් යුවළක් වසර කිහිපයක් ජීවිතයේ දුක සැප බෙදාගෙන ජීවිත් වෙනවා. සරසවි අවසන් වසර නිමවීම සමඟ වෙන්වෙන මොහොතේ ඔවුන් තුළ ඇතිවන දුක්බර වූ අත්දැකීම මේ ගීතයෙන් ප්‍රකාශ කිරීමට මම උත්සාහ දැරුවා. මේ ගීතය රචනා කිරිමේ දී මම එකළ වන පොත් කළ ජන කවි, කවි සිළුමිණ ,සසදාවත , මුවදෙව්දාවත,ගුත්තිලය, සැළලිහිණිය, වැනි කාව්‍යවල අභාසය ලැබුවා. සරසවි දිවියෙන් ඈත් වී වසර ගණනාවකට පසුවත් මේ ගීතය ගුවනින් ඇසෙන විට මට අතීතය සිහිපත් වෙනවා. මා දන්නා පරිදි මේ ගීතයට වත්මන් සරසවි සිසු සිසුවියන් විශාල ඇල්මක් දක්වනවා. මේ ගීතය ගායනා කළේ ආචාර්ය දයාරත්න රණතුංගයන්. එතුමා තමයි මාව ගී පද රචකයකු බවට පත්කළේ. ඒ ගැන මම ස්තූතිවන්ත වෙනවා. එතුමන්ගේ ‘උදුම්බරා‘කැසට් පටයේ මේ ගීතය ඇතුළත් වුණා. මේ වන විට මම ගීත පනහකට අධික සංඛ්‍යාවක් ලියා තිබෙනවා. ‘

 

Comments