දැවැ­න්ත­ය­කුගේ නැඟී සිටීම | සිළුමිණ

දැවැ­න්ත­ය­කුගේ නැඟී සිටීම

කිංකොං තරමට සිනමා ඉතිහාසයේ ප්‍රේක්ෂක ආදරය ලැබූ මෙන් ම මහත් ආන්දෝලනයට ලක්වූ වෙනත් චරිතයක් නොමැති තරම්ය. එය නවකතාවකින් හෝ චිත්‍රකතාවකින් සිනමාවට පිවිසි චරිතයක් නොවේ. කිංකොං රිදී තිරය මතින් ම, සිනමාවෙන් ම උපන් චරිතයකි. ඒ 1933 වසරේදී ය. එම වසරේ තිරගත වූ ‘කිං කො’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේ අති දැවැන්ත ගෝරිල්ලෙකි. මේරියන් සී කූපර් එම චරිතයේ හා සිනමා පටයේ නිර්මාතෘවරයා වූයේය. එම දැවැන්ත ගෝරිල්ලා ජීවත් වූයේ ස්කල් දූපතයේය. එම දූපත් වාසීන් හැඳින්වුණේ ‘කොං’’ වරුන් ලෙසිනි. දූපත්වාසීන් තම රජු ලෙස පිළිගත්තේ දැවැන්ත ගෝරිල්ලාය. එහෙයින් මේරියන් සී කූපර් දැවැන්ත ගෝරිල්ලාට කොංවරුන්ගේ රජු යන අදහස සහිතව කිං කොං යන නම ලබා දුන්නේය.

මේ වන විට කිං කො චරිතය ඇතුළත් චිත්‍රපට නවයක් ප්‍රේක්ෂකයා හමුවට පැමිණ ඇති අතර දසවැන්න පසුගිය 10 වැනි සිකුරාදා සිට ලොව පුරා ප්‍රදර්ශනය වන්නේ කොං, ස්කල් අයිලන්ඩ් යන නමිනි.

1933 දී රිදී තිරයේ ඇඳුණු කිං කො’ චරිතය පසුව චිත්‍රකතාවලට, වේදිකා නාට්‍යයන්ට මෙන් ම රූපවාහිනී මාලා ටෙලි නාට්‍යවලට ද පිවිසියේය. වසර 2000 දී කොං යන නමින් කිං කොං චරිතය ඇතුළත් වූ ලොව පළමු සජීවීකරණ රූපවාහිනී මාලා ටෙලි නාටකය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියේය. කෙසේ වෙතත් කිං කොං පළමුවරට රූපවාහිනියට පිවිසියේ 1966 දී එනමින් ම යුත් මාලා ටෙලි නාටකයක් හරහාය.

කිං කොං (1933) ද සන් ඔෆ් කොං (1933) කිං ‍ෙකාං වර්සස් ගොඩ්සිලා (1962) කිංකොං එස්කේප්ස් (1967) කිං කොං (1976) ක්වීන් කොං (1976) කිං කොං (1986) කිං කො (2005) මෙතෙක් හොලිවුඩයෙන් දැවැන්ත ගෝරිල්ලා චරිතය පදනම් කොටගෙන නිපැයුණු සිනමා පටවෙයි. 1938 දී කිංකොං චරිතය සහිතව ජපාන චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබේ.

ප්‍රේක්ෂකයා හමුවට දැන් පැමිණ ඇති නවතම කිං කොං සිනමා පටයේ නිර්මාතෘවරයා ජෝඩ්න් වොග්ට් - ‍රොබට්ස් ය. ජෝන් ගැටින්ස්ගේ කතාවට අනුව තිර රචනය සඳහා ඩෑන් ගිල්රෝයි, මැක්ස් බොරෙන්ස්ටෙයින් හා ඩෙරෙත් කොනොලි යන තිදෙනා දායක වී තිබේ.

1944 දී දෙවැනි ලෝක මහා සංග්‍රාමය අතරතුර ඇමෙරිකානු හා ජපාන ගුවන් යානා දෙකක් සටනෙන් අනතුරට පත්ව කඩා වැටෙන්නේ දකුණු පැසිපික් සාගරයේ වූ දූපතකටය. නියමුවන් දෙදෙන දූපතේදී යළි සටනට පැටළෙතත් ඔවුන් විමතියට පත්වන්නේ සටනට මැදිහත් වන දැවැන්ත ගෝරිල්ලකු නිසාය.

ඉන් වසර 28කට පසුව 1973 දී හිටපු බ්‍රිතාන්‍යය ගුවන් නියමුවකු වන කපිතාන් ජේම්ස් කොනර්ඩ් රජයේ ඒජන්තවරයකු වන බිල් රන්ඩා විසින් කැඳවනු ලබන්නේ ‘ස්කල්’ යනුවෙන් හැඳින්වෙන දූපත ග‍ෙව්ෂණය කිරීම සඳහාය. ජේම්ස් කොනර්ඩ් දූපත වෙත ගෙන යාම භාර වන්නේ ලුතිනන් කර්නල් ප්‍රෙස්ටන් පැකාර්ඩ් ගේ නායකත්වයෙන් යුත් ‘ස්කයි ඩෙවිල්ස්’ යනුවෙන් හැඳින්වෙන හෙලිකොප්ටර බළඇණියටය.

එම හොලිකොප්ටර දූපතට ඇතුළු වූ වහා ඒවාට ප්‍රහාර එල්ලවන්නේ අඩි 100ක් උස දැවැන්ත ගෝරිල්ලකුගෙනි. කොං යනුවෙන් එම ගෝරිල්ලා හැඳින්වෙන අතර ප්‍රහාරය නිසා බොහෝ හෙලිකොප්ටර විනාශයට පත්වෙයි. දිවි ගලවා ගන්නා අය ප්‍රහාරය හේතුවෙන් දූපතේ පැති දෙකක සිරවන අතර එම කණ්ඩායම් දෙකටම ඇති අභියෝගය දින තුනකට පසු දූපතේ උතුරුදිග කෙළවරට එන සැපයුම් හෙලිකොප්ටර බලඇණිය හමුවීමයි.

වනාන්තරය මධ්‍යයේ ගමන් කරන පැකාර්ඩ් ගේ පිරිසට යළි ප්‍රහාර එල්ලවන්නේ දැවැන්ත මකුළුවකුගෙනි. ඒ අතර ‍ෙජ්ම්ස් කොනාර්ඩ් ඇතුළු පිරිසට දූපතේ ස්වදේශිකයන් හමුවන අතර, ඔවුන් අතරේ සිටින්නේ 1944 දී අනතුරට පත් ඇමෙරිකානු යානයේ නියමු හෑන්ක් මාර්ලෝ ය. ඔහු පැහැදිලි කර දෙන්නේ ස්වදේශිකයන් කොං ට දේවත්වයෙන් සලකන බවය. පොළෝ අභ්‍යන්තරයෙන් වරින්වර මතුවන දැවැන්ත සතුන්ගෙන් ස්වදේශිකයන් බේරා ගන්නේ කොං බවද ඔහු පැහැදිලි කර දෙයි.

පැකාර්ඩ් ගේ පිරිසට පොළෝ අභ්‍යන්තරයෙන් මතුවන සතුන්ගෙන් ප්‍රහාර එල්ලවෙයි. ක්‍රමයෙන් ඔවුන් ළඟා වන්නේ තහනම් කලාපයට ය. දූපත් වාසීන් තහනම් කලාපය යනුවෙන් හඳුන්වන ප්‍රදේශය කොංගේ මුතුන් මිත්තන් පොළෝ ගැබින් මතුවන දැවැන්ත සතුන් හා සටන් වැදුණු ප්‍රදේශය ද වෙයි. පැකාර්ඩ් උගුල් අටවන්නේ පොළොවෙන් මතුවන සතුන් කොටුකර ගන්නට නොව දැවැන්ත ගෝරිල්ලා කොං කොටු කරගන්නටය. උත්සාහය සාර්ථක වෙතත් කොං උගුලේ සිරව සිටියදී පොළෝ ගැබෙන් මතුවන දැවැන්ත සතුන් හා සටන් කිරීමට මිනිසුන්ට හැකියාව තිබේ ද? උන් නවතන්නට වෙඩි උණ්ඩ කොපමණ අවශ්‍ය වේවිද? දූප‍ෙත් සිටින එකම දැවැන්තයා කොං පමණක් ද? ගොඩ්සිලා වෙසෙන්නේත් එම දූපතේම ද?

ටොම් හිඩ්ල්ස්ටන්, සැමුවෙල් එල් ජැක්සන්, ජෝන් ගුඩ්මන්, බ්‍රියර් ලාර්සන්, ජින්ග් ටියැන්, ටෝබ් කෙබෙල්, කෝරි හෝකින්ස් ආදී නළු නිළියන් රඟන කොං; ස්කල් අයිලන්ඩ් ප්‍රේක්ෂකයන් වෙත සමීප වන්නේ ත්‍රිමාණ සිනමා අත්දැකීමක් ලෙසිනි. ඩොලර් ලක්ෂ 1850 ක් වැයකින් තනා ඇති මෙම චිත්‍රපටය හවායි දූපත්වලත් වියට්නාම වනාන්තරවලත් රූගත කර තිබේ.

මෙම චිත්‍රපටයේ දිගුවක් ලෙස 2020 දී ‘ගොඩ්සිලා වර්සස් කොං’ යන නමින් චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන බව දැනටමත් යුනිවර්සල් හා වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම් ප්‍රකාශ කර තිබේ.

 

Comments