මට වස්තුබීජ ඕනෑවටත් වඩා ලැබෙනවා | සිළුමිණ

මට වස්තුබීජ ඕනෑවටත් වඩා ලැබෙනවා

පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ඇති රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවියත්, රුවන්වැලි මහා සෑයේ අධිපති ධූරයත් දරමින් සාහිත්‍ය නිර්මාණයෙහි නියැළී සිටිති. සම්භාවනීය යති පරපුරේ ගෞරවනීය නමක් දිනාගත් හිමිනමක් වශයෙන් සෞන්දර්යය ද, කලාව ද, බුදු වදන ද භික්ෂුත්වයේ නිකැළැල් දිවි අරුත ද මනාව පසක් කළ පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සමඟ සත්මඬල කළ සංලාපයෙකි මේ.

• සිංහල භික්ෂු වතෙහි ප්‍රකට කාර්යය බණ කීම, භාවනා කිරීම, ඉගැන්වීම යන කාරණා වුණත් ඔබ වහන්සේ මේ සාම්ප්‍රදායික තත්ත්වයට වඩා වෙනස් මඟක් අනුගමනය කරනවා නේද හාමුදුරුවනේ?

භික්ෂුවගේ මූලිකම කාර්ය භාරය වුණේ තමන්ගේ සංසාරය කෙටි කර ගැනීමයි. ගිහි ජනතාවට නිවන් අව‍‍බෝධ කරගැනීම සඳහා අවශ්‍ය කරන නිවැරැදි මඟ පෙන්වීම භික්ෂුවගේ මූලිකම කාර්ය භාරයයි. එසේ වුවත් කාලයාගේ ඇවෑමෙන් භික්ෂුවගේ කාර්යය තරමක් දුරට වෙනස් වුණා.

වර්තමානයෙහි පැවතෙන ගීතයත් සංගීතයත් සමඟ බද්ධ වුණ කලාවක් මුල් කාලයෙහි නොතිබුණ නිසාත් කාර්යයෙහි නිරතවුණ භික්ෂුන් වහන්සේලා වැඩ සිටියා. ඒ අනුව භික්ෂුන් වහන්සේලා දහමත් සමඟ මුසුවුණ ඕලාරික ස්වභාවයෙන් මිඳී සමාජයට නිවැරැදි ලෙස යහපත් මඟ පෙන්වීමක් කිරීම සඳහා ගීත කලාව භාවිත කරන්න පෙලඹිලා තිබෙනවා. අපේ භූමිකාව විහිදී යන්නේ ඒ පරාසය ඇතුළතයි.

භික්ෂු පරම්පරාවෙන් උරුම වුණ භික්ෂු උරුමයෙහි කොටසක් ලෙසත් මේ කාර්යය දැකිය හැකියි. මූලික වශයෙන් වැලමිටියායේ ධම්ම රක්ඛිත ස්වාමීන් වහන්සේලාගේ යුගයේත් නිර්මාණ ශක්තිය තිබුණ ස්වාමීන් වහන්සේලා නිර්මාණ කාර්යයෙහි නිරත වුණත් ඒවා ප්‍රසිද්ධියට පත්වුණේ නැහැ. වර්තමානයෙහි ගීතයෙන් ජනතාව අතරට ගිය ජනප්‍රිය ගීත රචක භික්ෂුන් වහන්සේ ලෙස රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ හඳුනාගත හැකියි.

වර්තමානයෙහි අප මෙවැනි ස්ථානයක රැඳී සිටින්නේ අතීතයෙහි බොහෝ දේ උකහාගත් නිසා මිස හුදකලාව හෝ ඕපපාතිකව මේ කටයුත්තෙහි නියැළුණා නොවෙයි.

• ඔබ වහන්සේගේ නිර්මාණකරණය ආරම්භ වන්නේ කෙලෙසද?

මම පැවිදි වුණේ 1967 වර්ෂයේ දී. අධ්‍යාපනය සඳහා අනුරාධපුර ථූපාරාමයෙහි තිබුණ මහා විහාර පිරිවෙනින් මුලින් ම ඇතුළත් වුණා. අපට ඉදිරිපෙළ සිටි ස්වාමින් වහන්සේ නමක් කවි ලිව්වා. ඒ අභ්‍යාසයත් සමඟ නිර්මාණකරණයේ මුල් අවදිය පටන් ගත් බව සැලකිය හැකියි‍. ඒ කාලය තුළ ‍මම කවි ලිවීමට පටන් ගත්තා. 1971 වර්ෂයේදී කොළඹ මාලිගාකන්ද පිරිවෙනට ඇතුළත් වුණා. ඒ කාල වකවානුවෙහි දවස හරහා නිකුත් කළ ‘ගීතාංජලී’ පුවත්පතෙහි කවි ලිවීමෙන් කිසියම් ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ අතරතුර පත්තරවලට ගුවන් විදුලියට කවි ලිවීමෙන් ඒ වකවානුවේදී නමක් ගොඩනැඟී තිබුණා. ඔය අතර කාල පරාසය තුළ 1979 දී රජරට ගුවන් විදුලිය ආරම්භ වුණා. රජරට සේවයට යොමුවීමෙන් ඒ ලැබුණ ප්‍රසිද්ධියත් සමඟ වර්තමාන ගීත රචනා කලාවට නැඹුරු වුණා. එවකට නිෂ්පාදකවරු වශයෙන් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ප්‍රේමකීර්ති ද අල්විස් යන මහත්වරුන් කටයුතු කළා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහතාගේ ‘නිර්මාණ’ වැඩසටහනට ද ප්‍රේමකීර්ති මහත්මයාගේ ‘රජරට ගී සින්දු’ යන වැඩසටහන් දෙකටම නිර්මාණ ඉදිරිපත් කළා. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ප්‍රේම් වගේ ප්‍රවීණයන් මේ ක්ෂේත්‍රයෙහි කටයුතු කළා. සින්දුවක් ලියලා බණ්ඩාර අයියාට පෙන්වපු ගමන් සුළු සුළු වෙනස්කම් හදලා නැවත ලියන්න කියනවා. ඒ වකවානුවෙහි සරත් දසනායකයන් අනුරාධපුර සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ඔවුන් සමඟ සමීපව කටයුතු කළා. නිර්මාණය කරන්නට යෙදුණු සින්දුවක පදවැල් බලා සතියක් පමණ ගෙවුණාට පසුව ඒ සින්දුව සරල ගීතවලට යොදාගත් බවට චන්ද්‍ර ශ්‍රී සිරිවර්ධන ප්‍රකාශ කළා.

මවගේ උකුළේ නැළවූ සමයේ බිලිඳු වියේ....

එය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය වූ පළමු ගීතයයි. පසුකාලීනව රජරට සේවය හරහාත් ගීත නිර්මාණ ඉදිරිපත් කළා.

• යතිවරයන් වහන්සේ නමක් ගීතයක් නිර්මාණය කරන විට සෙසු නිර්මාණකරුවන්ට වඩා සංයමයකින් කළ යුතුයි. මේ අභියෝගය ජය ගන්නේ කොහොමද හාමුදුරුවනේ?

ඒක අපි විශේෂයෙන් ම සිහිපත් කළ යුතු කාරණාවක්. ගීත කලාවෙහි නියුක්ත වීමේදී භාෂා භාවිතය, සම්භාව්‍ය සාහිත්‍ය පාලි පිළිබඳව නිවැරැදි අවබෝධයකින් යුක්තව භාෂාව පරිහරණය කළ යුතුයි.

නිර්මාණකරණයේ යෙදීමේදී ඒ නිර්මාණය ලිවිය යුත්තේ කෙසේද? ලිවිය යුත්තේ කාටද? ගීතය ගායනා කරන්නේ කාටද? කියන කාරණා තුන පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි. එදා අනුගමනය කළ පුරුද්ද වර්තමානයටත් වලංගුයි. අපගේ නිර්මාණය වචන භාවිතය හා කියන කාරණාව මගින් සමාජයට අවැඩක් වෙනවාද? නැද්ද? යන්න පිළිබඳව බොහෝ දුරට සිතන්න පෙලඹෙනවා.

• අගනුවරින් බැහැරව වැඩසටහන් කිරීම නිර්මාණකරණයට රුකුලක් වුණාද හාමුදුරුවනේ... ‍

වාණිජ රැල්ලට හසු නොවී අගනුවරින් බැහැරව රජරට නුවර කලාවියේ වැඩ සිටීමෙන් නිර්මාණකරණයට අවශ්‍ය වන විවේක බුද්ධියත් නිවිසැනසිලිදායක පරිසරයක් මට ලැබෙනවා. අපේ මාතෘ භූමියට අපේ කලාවට රටට දායාද වුණ මූල බීජය මේ ප්‍රදේශයෙහි තිබීමෙහි ඒ මුල් හා බැඳී ගොඩනැ‍ඟෙන පරිසරය නිර්මාණකරණය පහසු කරවනවා.

• නිර්මාණයකට වස්තු බීජයක් හෝ අත්දැකීමක් සපයා ගැනීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ අනුගමනය කරන පිළිවෙත කුමක්ද?

අප නියෝජනය කරන ස්ථානත්, පැවිදි බවත් මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සයන් ප්‍රීතිදායක අවස්ථාවත් බෙදා හදා ගැනීමට ලැබීම ද නිසා ලැබෙන වස්තු බීජ ප්‍රමාණ වැඩියි. උචිත ද අනුචිත ද යන්න තෝරා බේරා ගැනීමට අපහසු තරමට අනුන්ගේ අත්දැකීම් ලැබෙන නිසා නිර්මාණකරණය පහසුයි.

Comments