“කව් රස දන්නෝ කුමට උපන්නෝ” ශීර්ෂය පාදක කොට “හිත මිතුරා” නමින් පසුහිය 15 වන ඉරිදා සිළුමිණට ලියැවුණ හෙළ කවියේ අභාවය පිළිබඳ ශෝකාලාපය පුළුල් සංවාදයකට බඳුන් විය යුතු කාලීන වශයෙන් ඉතා වැදගත් කරුණක් බව කිව මනාය. හෙළයන් වන අපි ඉතා විශිෂ්ට කාව්‍ය සාහිත්‍යය ඉතිහාසයක උරුමය ලද්දෝ වෙමු. කවිය රජ වී යැයි සැලකෙන කෝට්ටේ යුගයේත් ඉන් ඔබමොබත් දැයට දායාද වූ සංදේශ කාව්‍යයන්ගෙනුත් හා බුදුගුණ අලංකාරය හෝ ලෝවැඩ සඟරාව වැනි වූ අප්‍රමාණ කෘතීන් සංඛ්‍යාවකිනුත් පෝෂිත අපේ කාව්‍යය වත්මන් යුගයේ අත්විඳමින් යන කඩාවැටීම සැබැවින්ම සංවේගජනකය.
ගෙවී ගිය දශක හත අටක් තිස්සේ ක්‍රමයෙන් කඩා වැටී ගිය හෝ වුවමනාවෙන්ම කඩා බිඳ දැමුණු සිංහල කවිය, එහි ගැබ්ව තිබූ මහරු බස් හරඹයත් අග, මුල මෙන්ම මැද ඇතැම් විට කිහිප පොළක ද රැඳි එළි වැට අලංකරණයනුත් අත් හරිමින්, හුදු අග එළිසමයෙන් ම පමණක් කවියක් ලෙස සැකසුණු හා රිද්මය හෝ මාත්‍රා තුලනය ද මනාව නොතැකුණු, සරල පද වැල් සතරකට සීමා වුණු අන්දම “හිත මිතුරා”ගේ පෙර කී විවරණයට මැනැවින් පාත්‍ර ව තිබිණි.
කවිය පිළිබඳ ඛේදවාචකය ද, හර බර පද වැල් වලින් හා මන බඳින උචිත තනුවලින් සමන්විත ව පැවැති සිංහල සුභාවිත ගීතයට අද අත්ව ඇති හෝ අත් වෙමින් පවතින ඉරණමට නොදෙවෙනි ය.අද, පෙර කී ගුණාංගයන් ගෙන් සැදි උසස් රස වින්දනයක් උපදවිය හැකි ‘හොඳ’ ගීතයට ඇසි දිසි මාධ්‍ය තුළ අවකාශ නොලබනවා සේම, අප පැරණි කාව්‍ය සාහිත්‍යය තුළ පැවති ආකාරයේ වර්ණවත් බස් හරඹයක් හෝ එළි වැට අලංකරණයක් හෝ සහිතව විවිධ විරිත් අනුව ගෙතෙන කවියක් වෙත පුවත් පත් මාධ්‍ය තුළද අවකාශ නොලැබෙන පරිසරයක් මතුව ඇත.
පේරාදෙණිය හෝ කොළඹ යුගය අද පවතින පහත් අඩියට කවිය ගෙන ආවා යන “හිත මිතුරා”ගේ කියමන සැබෑ විය හැකිය. නොඑසේ නම් සිදුවන පරිහානියෙන් කවිය මුදවා ගැනීමට හෙවත් ‘සැලළිහිණිය’ වැන්නක තුබූ තැනට කවිය යළි හැරවීමට කිසිදු යත්නයක් නොදරා “වැළ යන අතට ම මැස්ස ගැසුවා” සැබෑ විය හැකිය. අද පවතින තත්ත්වයේ හෝ කවිය රඳා පවත්වා ගැනීමට එම යුග නියෝජනය කළ ප්‍රවීණයින්ගේ නිර්මාණ දායකත්වය අවතක්සේරු කළ නොහැකිවා මෙන්ම ඉහත කී චෝදනාවෙන් ඒ උතුමන් නිදහස් කිරීම ද කළ නොහැකි බව හැඟේ.
අධ්‍යාපන පාඨමාලාවල සාහිත්‍යපාඩම තුළින් පැරණි කාව්‍යයන් ගැන සාකච්ඡා වුවද, විභාගයේ ලකුණු වෙත නාභිගත යාන්ත්‍රක ප්‍රයත්නයක් විනා කාව්‍ය රස වින්දනය හෝ ඒ හරහා ඒ උසස් තත්ත්වයේ කාව්‍ය නිර්මාණකරණය වෙත සිසුන් නැඹුරු කිරීමට කැප වුනු ප්‍රයත්නයක් දක්නට නොවේ. විභාගය තුළ ද සිසුන්ගේ නිර්මාණශීලී බව පිරික්සා ඒ අනුව කෙරෙන අගැයීමක් නැත. කාව්‍යකරණය ද විෂය මාලා තුළට ඔබ්බවා, සිංහල ප්‍රශ්න පත්‍රයේ ‘වාක්‍ය රචනාව’ ට විකල්ප ලෙස හෝ ‘කාව්‍ය රචනාව’ක් ද ඇතුළත් හැකි නම් කෙතරම් අගනේ ද? සෑම අයෙකුට ම කවියකු වීමට නොහැකි වන්නට පුළුවන. ඒ සඳහා ආශාව, වුවමනාව බලෙන් පැටවිය නොහැකිය. එහෙත් ජලාශ අවට වසන්නවුන් පිහිනීමට නිතැතින්ම යොමුවන්නා සේම, උසස් කාව්‍යකරණයට අවැසි මෙවලම් සුලභ පරිසරයක් බිහි කිරීම තළින් අදට වඩා වැඩි කව් කිවිඳියන් බිහිවීමත් කව් රසය විඳීමට පොහොසත් බුද්ධියක් සහිත බහුතරයක් බිහි වීමත්, එසේම එදා කවිය සහ අද කවිය අතරැති වෙනස හඳුනාගැනීමේ ඵලය ලෙස කෝට්ටේ යුගය ද අබිබවන්නට හැකි නව යුගයක් කරා යෑම වුවද අනාගතයේදී හැකි වනු ඇත.