බුදුරදුන් පිරිනැමූ අග තනතුරු හා නූතන යාචක සම්මාන | සිළුමිණ

බුදුරදුන් පිරිනැමූ අග තනතුරු හා නූතන යාචක සම්මාන

 සංස්කෘත භාෂාවේ එන ‘මන්’ ධාතුව හෙවත් ක්‍රියාමූලය කෙරෙන්, ‘දැනගැනීම’, සිතීම’, ‘මැනීම’, ‘සලකා බැලීම’, ‘ගරු කිරීම’, ‘ආඩම්බර වීම’ යන අර්ථ සූචනය වෙයි. සංස්කෘත ‘සම්මාන’ පදය ‘සං’ පූර්ව ‘මන්’ ධාතුවෙන් සිද්ධ වූවකි. මෙහි දී ‘සං’ උපසර්ගයෙන් ‘ගෞරවනීය’ යන අර්ථය අභිමතය වේ. ‘මන්’ ධාතුව ‘මානන’ හෙවත් ‘මැනීම්’ අර්ථයෙහි වැටේ. ඒ අනුව ‘සම්මාන’ යනු ‘ගෞරවනීය’ මැනීමකි. ගෞරවනීය මැනීමක් සිදු විය හැක්කේත් සිදුවිය යුත්තේත් ප්‍රාමාණික ප්‍රාඥ විනිශ්චයකරුවන් අතින්ම ය. කවර සම්මානයක් වුව ද සම්මානලාභියාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, සාධු සම්මත සම්මානයක් වන්නේ, ආයාචන අනුව නොව ප්‍රාමාණික පරීක්ෂණ අනුවම මැනීම සිදුවී ඇත්නම් පමණි. ඒ ඒ විෂයක්ෂේත්‍රයන් විෂයයෙහි කෘතහස්ත විශේෂඥයන් සිටිය දී අපරිණත අඥයන් ලවා සම්මාන විනිශ්චය කරවීම වාත්ස්‍යායනගේ ‘කාමසූත්‍රය’ නපුංසකයන් ලවා විනිශ්චය කරවීමට අසමාන නොවේ.

ප්‍රතිභාසම්පන්නයන් අප්‍රමාණ අවමානයට ලක් කරන යාචක සම්මාන න්‍යායක් ක්‍රියාත්මක වන ලෝකෙන් උතුම් රට මේ ශ්‍රී ලංකාව ය. එසේම, තම ප්‍රතිභානයට කරන අවමානය අභිමානයක් කොට ගන්නා හීනමානී සම්මාන යාචකයන් සිටින ලෝකෙන් උතුම් රට ද මේ ශ්‍රී ලංකාවම ය. මා මෙසේ පවසන්නේ සම්මාන ද්වේෂී ආකල්පයකින් නොවේ. ප්‍රතිභා විභූෂිත නිර්මාණකරුවකු හෝ නිර්මාණයක් සම්මානයට පාත්‍ර කිරීම අතිශය ප්‍රශස්ත වන්නේ ම ය. එහෙත් එය සිදු විය යුත්තේ නිර්මාණකරුවාගේ ප්‍රතිභානයට හෝ නිර්මාණයේ අභිමානයට හෝ අවමානයක් නොවන පරිද්දෙනි. එසේ වන්නට නම් කළ යුත්තේ තත් නිර්මාණකරුවා හෝ නිර්මාණය, ප්‍රාමාණික පරීක්ෂාවක් මගින් සම්මානනයට පාත්‍රවීමට සැලැස්වීම ය. ‘සම්මාන’ වචනයෙන් ගම්‍යමාන උත්තමාර්ථය අර්ථ ශූන්‍ය නොවන්නේ එවිටම ය.

මෙරට සම්මාන ප්‍රදාන ව්‍යාපෘතිවල ව්‍යාවෘතව සිටින්නන්ගේ වගකීම විය යුත්තේ සම්මාන ප්‍රදානයට යෝග්‍ය නිර්මාණකරුවන් හා නිර්මාණ සොයා ගොස් ඒ අරබයා මූලික සමීක්ෂණයක් පවත්වා, රහස්‍ය ලෙස තොරතුරු සපයාගෙන, අනතුරුව, ඒ ඒ නිර්මාණකරුවන් හා නිර්මාණ ප්‍රාමාණික විනිශ්චයකරුවන් ලවා විශිෂ්ට විනිශ්චයකට ලක් කොට, ප්‍රශස්ත සම්මාන ප්‍රදානයකට ප්‍රස්තාව සැලසීමයි. එහෙත් ඒ වෙනුවට, යට කී ව්‍යාපෘතිකාරයන්ගේ ව්‍යාපාරය වී ඇත්තේ සපුරා ඊට පටහැනි දෙයකි. ගර්හිත නිලධාරි ගර්වයෙන් ගර්විතව තත් ව්‍යාපෘති ආයතනවල වැජඹෙන මේ මහජන බදු භක්ෂකයෝ සම්මාන ප්‍රදානය පිණිස නිර්මාණකරුවන්ගෙන් ඉල්ලූම්පත් කැඳවති.

නිර්මාණකරුවකුට හෝ නිර්මාණයකට සම්මාන දීම සඳහා ඉල්ලූම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමේ ‘ශ්‍රී ලංකා යාචක සම්මාන න්‍යායය’ වැනි අධම, තුච්ඡ, ගර්හිත, නින්දිත න්‍යායයක් පාද ප්‍රහාරයෙන් ප්‍රතික්ෂේප කිරීමට තරම් අභිමානවත් වනු වෙනුවට, මෙරට ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවන් ඊට ශීර්ෂප්‍රණාමයෙන් අවනත වීම තරම් බුද්ධිමය ඛේදවාචකයක් තවත් තිබිය හැකි ද? විශිෂ්ටයන් වනු වෙනුවට ස්වෙච්ඡාවෙන්ම නිවටයන් වීමට සැ දී පැහැ දී සිටින කොඳු බිඳුණු පරපුරක් මෙලක පහළව ඇති බව මෙයින් මැනවින් ප්‍රකට නොවන්නේ ද?

මෙහි දී එක් අතීත අත්දැකීමක් මගේ මතකයට එයි. බණ්ඩාර විජේතුංග වූකලී අපට සිටි දුර්ලභ ගණයේ ප්‍රතිභාසම්පන්න නිර්මාණකරුවෙකි. රාජ්‍ය සම්මාන ලාභී විශිෂ්ට ගීත රචකයකු, කෘතහස්ත ගුවන්විදුලි නාට්‍ය රචකයකු හා නළුවකු මෙන් ම අතිනිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් රචකයකු හා ආකර්ෂණීය ස්වර පෞරුෂ්‍යයෙන් යුක්ත නිවේදකයකු ද වූ ඔහුගේ කීර්තිමත් නාමය එකල මෙලකපුරා දනන් තුඩ තුඩ රැව් දුනි. පාසල් වියේ සිටම මගේ ඉතා කුලූපග මිතුරකු වූ බණ්ඩාර විජේතුංගයන්ගේ ප්‍රිය සමාගමය පතා දිනක් මමත්, මගේ සුහද මිත්‍ර කීර්තිමත් නාට්‍යවේදී සුගතපාල ද සිල්වාණෝත් එකල ඔහු පදිංචි වී සිටි මහරගම පමුණුව ඔහුගේ ගෙදරට ගියෙමු. ඔහු සමඟ අල්ලාපසල්ලාපයේ යෙදී සිටින අතර තුර සුගත්, බණ්ඩාරයන්ගේ ගෙට ඇතුළු වන මහදොර පාමුලට එක්වරම මගේ ඇස යොමුකරවා සිටියේය. එවේලේ අප දෙදෙනාටම සිනා පහළ වූයේ ඉබේ ය.

”මොකද උඹල හිනා වෙන්නෙ?” බණ්ඩාර ඇසුවේ කුහුලිනි.

සුගත් දොර පාමුලට අත දිගු කළේ ය. එදෙස බැලූ බණ්ඩාරයෝ තම ආවේණික අට්ටහාසය නගමින් මෙසේ පැවසූහ.

”මචං ඕකෙන් ඔහොම හරි ප්‍රයෝජනයක් ගත්තෙ නැත්තං අපරාදෙනේ!”

එදා බණ්ඩාරයන් තම ගෙදර මහදොර සුළඟට වැසෙනු වළකනු පිණිස එහි පාමුල අඩයට තබා තිබුණේ, හොඳම ගීත රචකයා වෙනුවෙන් තමාට පිරිනැමුණු රාජ්‍ය සම්මාන (එකල යාචක සම්මාන න්‍යායය අවිද්‍යමාන විය) සංකේතය වන බර පිත්තල රූකඩය. එමගින් ප්‍රබල ලෙස ප්‍රකාශ වූයේ, පුහු සම්මාන හීනමානය අභිභවා, පරිණත නිර්මාණකරුවකු තුළ අපරාජිතව නැ‍ඟී සිටි උත්තුංග ආත්මාභිමානය නොවේ ද? තමාට පිරිනැමුණු නොබෙල් සම්මානය අලූයම ලූ කෙළපිඩක් සේ සලකා නොපිළිගෙන ම පිළිකෙව් කිරීමෙන් ශ්‍රේෂ්ඨ ප්‍රංස ලේඛක ජීන් පෝල් සාත්‍රෙ ප්‍රකට කොට සිටියේ ඊටත් වඩා උත්කෘෂ්ට ආත්මාභිමානයකි.

බුදුන් වහන්සේ, වසර දෙදහස් පන්සිය ගණනකට පෙර තම ශ්‍රාවක භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට, ඔවුන් සතු ඒ ඒ ගුණ විශේෂයෙන් සලකා, අගතනතුරු සම්මාන පිරිනැමූ ආකාරය පිළිබඳ විස්තර, අංගුත්තර නිකායේ එන ඒතදග්ග පාලි වර්ණනාවෙන් මනාව හෙළි වෙයි.

‘ඒතදග්ග’ යන පාලි පදය විසන්ධි කළ විට ‘ඒතං+අග්ග’ යනුවෙන් සිටියි. ‘ඒතං’ යනු ‘මෙය’ යන අර්ථ සූචක සර්වනාම පදයකි. ‘අග්ග’ ශබ්දය ‘අග’ හෙවත් ‘මුඳුන’ හෝ ‘ශ්‍රේෂ්ඨ’ යන අර්ථයන්හි වැටෙයි. ඒ අනුව ‘ඒතදග්ග’ යන සන්ධි පදයෙන් ප්‍රකාශ වන්නේ ‘මෙයින් අගතැන්පත්’, ‘මෙයින් උසස් තැනට පත්’ යන අදහස ය. මෙහි දී ‘මෙයින්’ යනුවෙන් අදහස් කරන්නේ යම්කිසි ගුණ විශේෂයකින් යන්න ය.

බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් හට විවිධ අගතනතුරු සම්මාන පිරිනැමුවේ ඔවුන්ගේ අනුදැනුමකින් තොරව විනා ඔවුන් ලවා ඉල්ලීම් ඉදිරිපත් කරවා නොවේ. ඒ ඒ ශ්‍රාවකයන් සතු අනන්‍ය ගුණ විශේෂයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන තම විනිශ්චයන්ට එළඹි උන්වහන්සේට නීච යාචක සම්මාන න්‍යායයක් අභිමත නොවී ය. එවැන්නකින් තම ශ්‍රාවක ජනයාගේ ආත්මාභිමානයට අප්‍රමාණ අවමානයක් අත්වන බැවිනි.

තම ශ්‍රාවකයන් සතු විශේෂ ගුණ උදෙසා අගතනතුරු සම්මාන පිරිනැමීමේ දී බුදුන් වහන්සේ අනුගමනය කළ නිර්ණායකයක් අංගුත්තර නිකායේ එන ඒතදග්ග පාලි වර්ණනාවෙන් ප්‍රකට වෙයි. එය කාරණා සතරක් මුල් කරගත්තකි. ඒ කාරණා සතර මෙසේ ය:

1. අට්ඨුප්පත්ති

2. ආගමන

3. චිණ්ණවසී

4. ගුණාතිරේක

අතිදුර්ලභ ගුණයකට යමෙක් අගතනතුරු ලබන්නේ නම් ඔහු අට්ඨුප්පත්ති කාරණයෙන් සම්මානයට පාත්‍ර වන්නෙකි.

ආගමන කාරණයෙන් අගතනතුරු සම්මාන ලබන්නා ජන්ම භාව කිහිපයක්ම අඛණ්ඩව පැවත ආ ගුණයක් සතු තැනැත්තෙකි.

පුරුදු කළා වූ සිත් වසඟ කරන ගුණයක් ඇත්තා අගතනතුරු සම්මාන ලබන්නේ චිණ්ණවසී කාරණයෙනි.

ගුණාතිරේක කාරණයෙන් අගතනතුරු සම්මාන ලබන්නේ අධික ලෙස පිහිටි ගුණයක් ඇත්තා ය.

බුදුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසගෙන් කෙනකු අගතනතුරු සම්මාන ලද්දේ යටකී කරුණු සතරින් එකක් මුල්කර ගෙන ය. ඇතැමෙකු ඉන් දෙකක් ද තවත් අය තුනක් ද ප්‍රධාන කරගනිමිනි. මේ අතර සමහරු කරුණු සතරක් පාදක කරගෙන අගතනතුරු සම්මාන ලදහ.

සැරියුත් මුගලන් අගසවු තෙරවරු හා මහා කාශ්‍යප තෙරහු එකී කරුණු සතරින්ම ඒතදග්ග භාවය හෙවත් අගතනතුරු සම්මානය ලැබුවෝ වෙති.

අංගුත්තර නිකායේ එන ඒතදග්ග පාලි වර්ණනාවේ අන්තර්ගත තොරතුරුවලින් මනාව අනාවරණය වන්නේ කුමක් ද? මීට වසර දෙදහස් පන්සිය ගණනකට පෙර, බුදුන් වහන්සේ, තම ශ්‍රාවක ජනයාට අගතනතුරු සම්මාන පිරිනැමීමේ දී ප්‍රාමාණික පරීක්ෂාවක් මත පිහිටා ක්‍රියාකළ බව නොවේ ද?

මෙහි දී, වත්මන් යාචක සම්මාන න්‍යායාචාරීන් මෙන් ම, ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් දැහැමින් සෙමෙන් කල් ගෙවන, ආචාරීන් හා මහාචාරීන් ද, සම්බුද්ධ සම්මාන නිර්ණායකයන් පරම පරිභවයට පාත්‍ර කරමින් මෙසේ වහසි බස් නගනු නොඅනුමාන ය:

”කල් ඉකුත් වූ බුදුන්ගේ යල් පිනූ න්‍යායයන්ට පශ්චාත් නූතනයන් වන අපි, ඒකාන්ත වශයෙන් ම, අපගේ පශ්චාත්භාගය පෑ යුත්තෝ වම්හ.”

කරුණාරත්න අමරසිංහ 

Comments