මේත් සිංහල අපගෙ රට තමයි | සිළුමිණ

මේත් සිංහල අපගෙ රට තමයි

ආචාර්ය මහගමසේකර තරම් නොයෙක් සමාජ අයුක්තිසහගත භාවයන්ට ලක්වූ කලාකරුවෙක් තවත් නැති තරම්. ඔහු මියගියායින් පසුවත් ඒ අගතිගාමිත්වයෙන් ඔහු ගැලවුණේ නැහැ. සේකරගේ ගීතවල ජනප්‍රියත්වයත් එක්ක ඔහුට ලැබුණු කීර්තිය දරාගත නොහැකි වුණු ඇතැම් ගුවන්විදුලි ශිල්පීන් ඔහුගේ ගී පදමාලා රැගත් තැටිවල ඉරි ඇඳි බව සේකරගේ ළඟම මිතුරකු වූ ජයදාස කුමාරගේ වරක් කියා තිබුණා.

ඒ දවස්වල සංස්කෘතික දෙපාර්තමේන්තුවට මහගමසේකර කියන කවියාවත් ඔහුගේ කවිවත් වැදගත් වුණේ නැහැ. (අදටත් ඒක එහෙම ද කියා මා දන්නෙ නැහැ) සේකර තමන්ගේ ‘බෝඩිම’ කාව්‍ය සංග්‍රහයේ පිටපත් කීපයක් රැගෙන ඉහත දෙපාර්තමේන්තුවට ගිය විට ඔවුන් සේකරව ආපසු හරවා යවා ඇත්තේ “පොත් ගන්න සල්ලි නෑ” යැයි කියමින්.

‘සේකරගේ තුංමංහන්දිය’ චිත්‍රපටයට අන්තර්ජාතික සම්මානයක් ලැබුණා. ඒකට සහභාගි වෙන්න රට ගියේ සේකරවත් නිෂ්පාදක චිත්‍ර බාලසූරියවත් නෙමෙයි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන් සම්මානය රැගෙන ආපහු ලංකාවට ආවට පස්සේ එක් නිලධාරියෙක් සම්මානය අතපත ගාමින් “ෂා මේක මරු බඩුවක්නේ. මේක හොඳයි මට තියාගන්න” යැයි කියමින් තමන් සතු කරගෙන තිබෙනවා.

අපේ එක විශ්වවිද්‍යාලයක්වත් සේකරව පිළිගත්තෙ නැහැ. හරියට කුමාරතුංග මුනිදාස නොපිළිගත්තා වගේ. සේකරට උපාධියක් නොතිබුණු නිසා එහෙම වෙන්න ඇතැයි කියා හිතනවා. උපාධියක් නැති එකා නූගතාය, අප්‍රබුද්ධ කලාකරුවාය වැනි මුග්ධ මතවාදයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ තිබෙනවා.

වරක් සේකර ගම්පහ දුම්රිය ස්ථානයේදී ටිකට් පරීක්ෂකවරයකුගෙන් ගුටි නොකා බේරුණේ අනූනවයෙන්. තමාගේ වාර ප්‍රවේශ පත්‍රයේ අදාළ නිකුත් කරන්නාගේ අත්සන යොදා නොතිබුණු බැවින් පරීක්ෂකවරයා සේකරගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලාගෙන දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත යොමුකළා. සිද්ධිය පැහැදිලි කිරීමෙන් පසුව වරද සේකරගේ නොවන බව ස්ථානාධිපතිවරයා තේරුම් ගත්තා. ඇඟක් මිසක් මොළයක් නැති අඥාන ටිකට් පරීක්ෂකවරයා සේකර නෙමෙයි රවින්ද්‍රනාත් තාගෝර් එතැන හිටියත් ඔහුගෙත් කොලර් එකෙන් ඇඳගෙන තමයි යන්නේ.

සේකරගේ මළගමට සහභාගිවූ ප්‍රවීණ ලේඛක ඔරුවල බන්දුට සේකරගේ මහතදෙහෙත දේහයට වඩා මිනී පෙට්ටිය තරමක් කුඩා බව පෙනී ගියා. නළල තැලිලා පොඩිවෙලා මිනි පෙට්ටියට තදවෙලා වගෙ තිබුණා. මරුවල බන්දු තමා අසල සිටි අයකුට මේ බව කියද්දි ඔහු උත්තර දී ඇත්තේ මෙලෙසින්.

“කවියාගේ දුප්පත් දෙමවුපියන්ට පුළුවන් හැටියට පොඩි පෙට්ටියක් අඩු මිලට අරගෙන ඇවිත් තියෙනවා. මිනිහගේ ඇඟපතේ හැටියට මේ පෙට්ටිය මදි. ඉතිං පියන වහන කොටත් නළල තද වෙනවා. මහ බාල ලී පෙට්ටියක්.” (දිවයින 1991 මාර්තු 24)

සේකර උපන්, හැදුණු වැඩුණු රදාවානේ ගමේ මිනිසුන්ට සේකර අතිවිශිෂ්ට කලාකාරයෙක් ය කියන එක වැදගත් වුණේ නැහැ. ඔවුන්ට ඔහු හුදෙක් පින්තාරු වැඩ කරන, මඟුල් පෝරු හදන ජෝන් අයියගේ පුතා විතරයි. සේකර මියගියාම ගමේ එක්තරා පුද්ගලයෙක් අසා සිටියේ ඔහු රටේ කොතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත් ගමට එක බෝක්කුවක් බැඳ දීම තරම්වත් සේවයක් ඔහු කර දී නැති බවයි. රදාවාන කියලා ගමක් ලංකාවේ තියෙනවයි කියලා අපි දැනගත්තේ සේකර නිසයි. ඇත්තටම ඔවුන් අඩුම ගානේ ඒ වෙනුවෙන්වත් සේකරට කෘතඥතා පූර්වක වෙන්න ඕනෑ. වඩා වටින්නේ සේකර ද බෝක්කුව ද කියලා හිතන්න අද ඉන්න වර්තමාන ගැමියන්ට අවස්ථාව ලැබිල තිබෙනවා.

වරක් මහගමසේකර සමරමින් තැපැල් කාර්යාංශය මුද්දරයක් නිකුත් කර තිබුණා. ඒකේ සේකරගේ නම සඳහන් කරලා තිබුණේ වැරැදියට. ශාන්ත කුමාර මහගමසේකර කියලා. ඒ නිසා ඒ මුද්දර තොගය විනාශ කරලා ආයෙත් අලුත් මුද්දරයක් ගැහැව්වා. විනාශ කළ මුද්දර සංඛ්‍යාව ලක්ෂ 10ක් පමණ වෙතැයි කියැවෙනවා. මේක රජයට පාඩුවක් විතරක් නෙමෙයි සේකරට කරපු බලවත් අවමානයක් ද වෙනවා.

සේකරගේ පිළිරුව වරින්වර කඩා දැමුණු බව පුවත්පත්වල වාර්තා වුණා. එහෙම කළේ කවුද? මොන අරමුණකින් ද යන්න පැහැදිලි නැහැ. සේකරගේ පෞරුෂය ගමට දරාගන්න බැරි ද කියන ප්‍රශ්නයත් මෙතැනදි මතු වෙනවා. ඒ විතරක් නෙමෙයි සේකරගේ කුල සාධකයත් ආයුධයක් කරගෙන ඔහුට පහර දෙන්න තරම් ඇතැමුන් නීච වුණා.

සේකර ආචාර්ය උපාධිය ලද්දෙක්. ඒ ඔහු ලියූ ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ කියන නිබන්ධයට. මැර දේශපාලනඥයන්ටත් ආචාර්ය කියා යොදන ඇතැමුන් සේකරට ආචාර්ය මහගමසේකර කියා නොයොදන්නේ සේකර ඔවුන්ටත් වඩා පල්ලෙහායින් ඉන්නවා කියලා හිතාගෙන ද? 

 

Comments