
1. කොතල - එක්තරා ශාක විශේෂයක් හඳුන්වනු වස් ‘කොතල’ ශබ්දය සිංහලයෙහි යෙදේ. ‘කොතල හිඹුටු’, ‘කොතලා වැල් ආදියෙහි එ වදන එ අරුතින් යෙදේ. එ තන්හි (දන්තජ) ‘ල’ යොදනු නිවැරදි ය. එ මෙන් ම, පුරාතන සිංහල සාහිත්‍යයෙහි ද මුඳුන් කොට බඳනා ලද කෙස් වැටිය හඳුන්වනු (දන්තජ ‘ල’ සහිත) ‘කොතල’ යනු යෙදී ඇත්තේ ය. එ වුව ද කුඩා අතළය හෙවත් මැටියෙන් තැනුණු, කෙටියක් සහිත කුඩා පැන් බඳුන හඳුන්වනුව යෙදිය යුත්තේ ‘කොතළය’ යනු යි. මෙහි (මූර්ධජ) ‘ළ’ යෙදෙන සැටි වෙසෙසින් සැලැකිල්ලට ගත මනා ය.
2. කොපුළ - ඉඳහිට දක්නා ලැබෙන වැරැදි යෙදුමෙකි. මෙහි නිවැරැදි යෙදුම වන්නේ (දන්තජ ‘ල’ සහිත) කොපුල යනු ම ය.
මෙහි ප්‍රකෘතිය හා බහුවචන රූපය හා වශයෙන් යෙදෙනුයේ ‘කොපුල්’ යනු ය. එයට ඒක වචනයෙහි ‘අ’ ප්‍රත්‍යයය එක් වූ කල ‘කොපුල’ යන නිරවද්‍ය රූපය ඇති වේ. එ හෙයින් (මූර්ධජ) ‘ළ’ යෙදීම වරදෙකි. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි මෙන් ම පාලියෙහිත් යෙදෙනුයේ ‘තපෝල’ යනු යි. එහි දු (දන්තජ) ල විනා (මූර්ධජ) ‘ළ’ නොයෙදෙන සැටි වෙසෙසින් සැලැකිල්ලට ගත මනා ය.
3. කොමල - නිතර වහරෙහි දැකිය හැකි වැරැදි වදනෙකි. මෙහි වරද නම් (දන්තජ) ‘ල’ යෙදුම ය. නිවැරැදි වනුයේ (මූර්ධජ) ‘ළ’ සහිත ‘කොමළ’ යනු යි. එහෙත් කෝමල, කෝමළ දෙක ම නිවැරැදි සේ ගැනේ. (දන්තජ ‘ල’ සහිත) කෝමල යනු සංස්කෘත තත්සමයක් සේ ද (මූර්ධජ ‘ළ’ සහිත) කෝමළ යනු පාලි තත්සමයක් සේ ද (මූර්ධජ ‘ළ’ සහිත) කෝමළ යනු පාලි තත්සමයක් සේ ද ගැනෙන හෙයිනි. බොහෝ විට සිංහලයෙහි ණ, න, ල, ළ වහර පාලියට අනුරූප වන හෙයින් ‘කොමළ’ යන්න ද ‘ළ’ යෙදිය යුතු සේ සැලැකේ. පුරාතනයේ පටන් සම්භාව්‍ය සාහිත්‍යයෙහි දු යෙදෙනුයේ එසේ ය.
4. කොල - පැරැණි හෙළ වහරෙහි ආමන්ත්රණ පදයක් ලෙස ‘කොල’ යන (දන්තජ) ‘ල’ සහිත වදන යෙදිණි. එහෙත් ඒ උසසුන් නො ව පහත් තැනැත්තන් අමතනු පිණිස යි. ශාක පත්‍ර ආදි ප්‍ර වර්ග හඳුන්වනු වස් යෙදිය යුතු (මූර්ධජ) ‘ළ’ සහිත ‘කොළ’ යනු යි. එහි ම තවත් අරුතක් නම් කෙළවර යනු යි. හරිත වර්ණය සඳහා ද යෙදෙනුයේ කොළ යනු ම ය. කොළ දිවියා යන්නෙහි දු නිවැරැදි වනුයේ ඒ රූපය ම ය. එතන්හි ‘කොළ’ යනු කුකුළු යන අරුත දෙති යි සිතිය හැකි ය. කොළ දිවියා කුකුලන් අල්ලා කෑමෙහි ඉතා ගිජු වූවකු හෙයිනි. දෙමළ බසෙහි දු කුකුළන් සඳහා ‘කෝළි’ යන වදන යෙදෙන බව මෙහි ලා දැක්විය යුතු ය.
5. කොලපත - මෙහි දු නිවැරැදි වනුයේ (මූර්ධජ) ‘ළ’ සහිත ‘කොළපත’ යන්න ම ය. පුවක් ගසෙහි පත් හඳුන්වනුව වෙසෙසින් යෙදෙන වදනෙකි.
6. කොලපු - (මූර්ධජ) ‘ළ’ සහිත ‘කොළපු’ යන්න ම මෙහි ද නිවැරැදි වහර සේ සැලැකුව මනා ය. පොල්, තැඹිලි ඈ ගස්වල මල විසිරී යෑමට පෙර, ගබ් වී පවත්නා කොපුව දැක්වීම සඳහා යෙදෙන වදනෙකි. කට වහරෙහි සේ ම පැරැණි කවි වහරෙහි දු මෙය යෙදුණු සේ පෙනේ.
7. කොළරාව - බොහෝ විට, මුද්‍රණ මාධ්‍යයෙහි - පුවත්පත් සඟරා ආදියෙහි - පවා දක්නා ලැබෙන වදනෙකි. මෙහි (මූර්ධජ) ‘ළ’ යෙදීමට හේතුවක් නො පෙනේ. එහෙයින් (දන්තජ, ‘ල’ සහිත ‘කොලරාව’ යන්න ම වඩා නිවැරැදි සේ සැලැකිය යුතු වෙයි. මෙය සිංහලයෙහි නිෂ්පන්න වචනයක් හෝ වෙනත් ප්‍රාචීණ භාෂාවක් ආශ්රයයෙන් සිංහලයට පැමිණි වචනයක් හෝ නො ව ඉංගිරිසි වැනි ‘cholera’ යනු සිංහලයට පෙරළාගත් සැටි යි. ඉංගිරිසි වැනි ප්‍රතිචීන (බටහිර) භාෂාවල මූර්ධජ අක්ෂර නො යෙදෙන බව කියැවේ. එ හෙයින් එ බඳු භාෂාවලින් සිංහලයට එන වදන්හි (දන්තජ) න, ල ම යෙදීම වඩා නිවැරැදි සේ පිළිගැනේ. ‘ර’ කාරයට පෙර හෝ පසු හෝ ල / ළ දෙකින් එකක් යෙදේ නම් එය (මූර්ධජ) ‘ළ’ ම විය යුතු ය. යන සාවද්‍ය ආකල්පය නිසා ‘කොළරාව’ වැනි වදන් යොදති යි සිතිය හැකි ය.