මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව | සිළුමිණ

මංමුලා වුණු ජීවිතයකට මඟ හසර කියා දුන් සෙනෙහෙබර සිතක් ගැන කියන ආදරණීය නවකතාව

‘කවදාවත් අහසයි පොළවයි එක්වෙලා නෑ’

වෛද්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරු සැවොම චතුරංගීගේ වාර්තා පරීක්ෂා කළහ. පැහැදිලිවම මෙය කලාපීය වෛද්‍යවරුන්ගේ හැකියාවන් පරීක්ෂා කරන පරීක්ෂණයක් බඳු විය.

ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය තුළ මැය අත්හල ‍රෝගියෙකි.

දුප්පත් දෙමවුපියන්ට වෛද්‍ය ප්‍රතිකාර කිරීම අසීරු කටයුත්තකි. ඉන්දියාවේ ඇපලෝ රෝහලට ගොස් ශල්‍යකර්මයක් කිරීමට විශාල මුදලක් වැය වෙයි. එහෙත් එය සියයට සියයක්ම විශ්වාස නැත.

අසාර්ථක වුවහොත් ආබාධ තත්ත්වයට පත්වීමට වුවද බැරි නැත. සාරංග ඇය මෙම වෛද්‍යවරුන්‍ට පෙන්වීමට අදහස් කළේ එබැවිනි. සාරංග වෛද්‍යවරුන් වෙත රෝගියාගේ තත්ත්වය පැහැදිලි කර පිහිටක් පැතුවේය.

“චතුරංගි ඔයා සූදානමින් නේද ඉන්නෙ?”

“ඔව් සර් මම විසිටින් රූම් එකේ ඉන්නෙ.”

“ඇක්ස්රේ, ස්කෑන් ළඟදි ගත්ත තව වාර්තා තියෙනව නම් අරගෙන අපේ කොන්පරන්ස් රූම් එකට එන්න.”

මිහිතලයේ ජීවත්වන මනුෂ්‍යයන්ට විවිධ‍ රෝගාබාධ ඇතිවීම ස්වාභාවිකය. මොනයම් හෝ ලෙඩක් නැති සත්වයෙක් ලොව නැත. එම රෝගාබාධ වලට මුහුණ දීමට වෛද්‍ය ක්‍රමයක් ඒ ඒ රටවල නිර්මාණය විය. බුද්ධකාලීනව සිටි ජීවක වෛද්‍යවරයා මෙන් වෛද්‍යවරු විය. ඕනෑම රෝගයකට අවශ්‍ය බෙහෙත් හා වෛද්‍යවරුන් ද විය. අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරුන් ද සිට ඇත. මනුෂ්‍යයන්ට පමණක් නොව සතුන්ට පවා ශල්‍යකර්ම කළ වෛද්‍යවරුන් විය. ඉංග්‍රීසි රට අල්ලා ගත් පසු සිංහල ආයුර්වේදය යටපත් වී හැම කටයුත්තකටම ඉංග්‍රීසි වෙදකම ඉස්මතු වී ඇත. අද රටේ හැම තැනකම ඇත්තේ ද ඉංග්‍රීසි බෙහෙත් ශාලාය.

එහෙත් පරම්පරාගත අති දක්ෂ දේශීය වෛද්‍යවරු තවමත් ඇත.

සම්මන්ත්‍රණයට පැමිණ සිටි වෛද්‍යවරුන්ගේ වැඩි අවධානය යොමුව තිබුණේ චතුරංගි වෙතය.

“ඇයි මා වෙනුවෙන් මෙච්චර කරදර වෙන්නෙ.”

“ඔයාව සනීප කරන්න.”

“ඇයි ඇයි මා වාගෙ ලෙඩ ගෑනියෙක් සනීප කරන්ට හදන්නෙ.”

“අද සාකච්ඡාවෙන් කියවුණු එක දෙයක් තමයි ලෙඩක් නැති මනුෂ්‍යයෙක් නැති බව.”

“ඒත් මම අසාමාන්‍යයයි. මම සර්ගෙ අතින් අල්ලා ගන්නද?”

“ඇයි?”

“මට තනියි, මට පාළුයි. බයයි.”

“බයවෙන්ට එපා. මම ළඟ ඉන්නවා.”

“කොන්සට් එක කෙරෙන්නෙ නැද්ද?”

“මම නම් මේ ගැන හරියට කියන්න දන්නෙ නෑ. ප්‍රෝග්‍රෑම් එක දන්නෙ විශ්මි. කොහොමටත් කොන්සට් එක කෙරෙනවා. ඔයත් සින්දුවක් කියන්න.”

“සෙනඟ නැගිටලා යාවි.” ඈ සිනාසෙමින් කීවාය.

“මම ආස ඔයාගෙයි විශ්මිගෙයි ඩාන්ස් එක බලන්න. ඒක ලස්සනයිලු හරිම හැඟුම් බරයිලු.”

සාරංග අමනාපයෙන් ඉවත බලා ගත්තේය.

වෛද්‍යවරු ඒ වනවිට ඇගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බලා එක්තරා තීරණයකට එළඹ සිටියහ. ඉන්දියාව, බංගලිදේශය, තායිලන්තය වැනි රටවල දේශීය වෙදකම කරන්නේ ඒ රටටම ආවේණික ශාඛ හා වෙනත් බෙහෙත් ද්‍රව්‍යවලිනි. බොහෝ සිංහල වෛද්‍යවරු MDS කල්කටා හා සිද්ධායුර්වේදය හා පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයෙන් සන්නද්ධව සිටියහ.

විදේශ රටකට නොගොස් ලංකාවේ වෛද්‍ය වරයෙක් ලවා ඇයට බෙහෙත් කිරීමට කථිකා කර ගත් අතර එයට තාක්ෂණික උපදෙස් දීමට වෛද්‍ය මණ්ඩලය එකඟ විය.

*******

විශ්මි තමා දන්නා පරිදි හොඳ ගැහැනු දරුවෙකි. දඟකාර පිරමි දරුවන් දෙදෙනෙක් සිටින නිවසක ඇය විනීතව හැසිරුණ හැටි පුදුමය. එම සංවර බව ගොඩනඟා ගැනීමට අද ගැහැනු පොහොසත් වී ඇත. ගෙදර වැඩට ලක්ෂ්මී සිටියත් තමා ප්‍රිය කරන කෑම මෙන් ම පුතා කැමැති කෑම සූදානම් කිරීමට උපදෙස් දෙන්නේ ඇයයි. ව්‍යාපාර පරිපාලනය උදෙසා කළමනාකරුවන් සිටියත් ඔවුහු නිතර ම තමාගෙන් උපදෙස් ගැනීමට එති. තමා රෝගාතුරව සිටියදී ඔවුන් හා කතා කර ඇත්තේ විශ්මිය. ඇය දුන් උපදෙස් අනුව සැවොම කටයුතු කර ඇති බව දැන ගත්තේ පසුවය. ඇයට නායකත්වයේ ගති ලක්ෂණ හිමිව තිබුණි. කිසියම් දිනෙක ඇය නායිකාවක් වන්ට බැරි නැත.

“පුතා මෙහෙ එන්න.”

“ඇයි අම්මා”

“රත්නපාලට එන්ට කියන්න.”

රථය ඉදිරියට ඇදී යයි. මේ ගමන තනිව යන්නේ එක් යෝජනාවක් කිරීමටය. පැහැදිලිවම එය තමා සතු යුතුකමකි. පුතෙකුට දුවෙක් සෙවීම පහසු කරුණක් නොවේ. ඇය වෙතින් ප්‍රදර්ශනය වූ හැකියාවන්ට වඩා ගැහැනුකම ශීලාචාරකම ඈ අගේ කළාය.

“රත්නපාල විශ්මි මිස්ගෙ ගේ දන්නවනෙ.”

“ඔව් මැඩම් මිස්ව ගෙනැත් ඇරලන්ට ඇවිදින් තියෙනවනෙ.”

“විශ්මි මිස්ගෙ තාත්තා වසද?”

“හොඳ මහත්මයෙක්. දුවට හරි ආදරෙයි. මට තේ එකකුත් හදා දෙනව. අර තියෙන්නෙ ‍ගේ.”

තරංග පසුවන්නේ සිත් තැවුලෙන් යුතුවය. ඉක්මන් වූවා නම් විශ්මි දිනා ගත හැකිව තිබුණි. එහෙත් එයට මැදිහත්ව සිටින්නේ කළුතර සිටුවරයෙකි. ඔවුන්ට එරෙහිව නැඟී සිටීමට කි‍සිවකුට පුළුවන්කමක් නැත.

විශ්මිත් දැන ගන්න ඕනෑ කළුගල්වල ඔළුව ගහගන්ට බැරි බව.

මුන් කෙල්ලො රවටන්ට ශූරයො. හොටේල් එකේ සුද්දියො නැති දවසක් නෑ. උන්ව ගේන්නෙ වෙළඳාමට. තරංග කල්පනාවෙන් මිදුණේ රථයක තිරිංග හඬිනි.

මාමා ගේ නිවස ඉදිරියේ නතර කළ රථය තරංග හඳුනා ගත්තේය. කළුතර සිටුවරුන්ට සුඛෝපභෝගී වාහන ඇත.

පුතෙක් බවට කිසිම සැකයක් නැත. ඇතැම්විට මෙහි ඇත්තේ පවුලේ කෙනෙක් විය යුතුය. රියැදුරා රථයෙන් බැස දොර විවෘත කළ පසු ඉන් පිටතට පැමිණි කාන්තාව හඳුනා ගන්නට ගතවූයේ නිමේෂයකි. දෙවියනේ... මැඩම්

“මාමෙ අර එන්නෙ කව්ද බලන්න.”

කළුතර සිටුවරිය දැකීමෙන් පුදුමයට පත්ව ඉදිරියට ගිය විශ්මි ගේ පියා එතුමිය ආදරයෙන් පිළිගත්තේය.

“එන්න මැඩම්. වත්තට යන ගමන්ද?”

“නෑ මම ආවෙ මෙහෙටමයි.”

“මැඩම් ‍අ‍පේ දුව වලව්වට ගියා නේද?”

“ඔව්. ඔව්. එයාට හොරෙන් ආවෙ.”

ගෙට ඇතුළු වූ ඇයට ඉඳගන්නට ඔහු අසුනක් පැනවූයේය.

සුභද්‍රා මැතිනිය ක්‍රමවත් සාලය නැරඹුවාය. නැති බැරිකම් තිබුණත් ක්‍රමානුකූල පිරිසුදුව ජීවත් වීමේ අපහසුවක් නැත.

“මගෙ පින්තූරෙකුත් තියෙන්නෙ.”

“අනුරාධපුර වන්දනාව ගිහින් එනකොට ගත්ත එකක් තමා.”

“මම ආවෙ විශ්මිගේ තාත්තාගෙන් වටිනා දෙයක් ඉල්ලන්නයි.”

“අනේ හාමු අපි ළඟ වටිනා කියල දෙයක් නෑ. සුනාමියට තිබිච්ච සබ්බ සකල මනාවම ගහගෙන ගියා. ජීවිත ටික බේරුණේ පූරුවෙ පිනකට.”

“පොඩ්ඩක් ළඟට එමු. අපි කටයුතු ඉවර වෙනකල් කාටවත් කියන්ට එපා. විශ්මිටවත් කියන්ට එපා.”

ඇය පැවසූ රහස ඔහු ඕනෑකමින් අසා සිටියේය.

“අනේ හාමු කවදාවත් අහසයි පොළවයි එක්වෙලා නැහැ. මට තව හිතල බලන්න ඕන.”

 

ලබන සතියට

Comments