සතියේ මියුසික් වීඩියෝව | සිළුමිණ

සතියේ මියුසික් වීඩියෝව

සිහින් ඇසිපිය  යටම ගු ළි වූ සෙල්ෆි ය

කඳුළ නුඹ ගීතයේ

සම්පූර්ණ පදමාලාව

සිතට ඇවිත් නුඹ හිමිහිට

සිහින් ඇහිපිය යටම ගුලිවී

හැංගි හැංගි මියෙන උපදින

කඳුළ නුඹ කඳුළ නුඹ

සැලෙන ඇසිපිය සොයන රූසර

ගැහෙන හදවත පතන සෙනෙහස

සදා වැළපෙන හිතට සැනසුම

ගෙනෙන හිනැහෙන කඳුළ නුඹ

සිතට ඇවිත්...

විටෙක සසලව දිලෙන නෙතු විල

සොරොව් බිඳලන හීන ඇහිඳින

මගේ නොමියෙන මතක අරගෙන

සදා වැළපෙන කඳුළ නුඹ

සිතට ඇවිත්...

 

සෙල්ෆියක් ගැනීමට ගොස් දියඇල්ලකින් වැටී නව පරපුරේ රංගන ශිල්පිනියක වූ තේජා නදීශානි මියගිහින් කියලා පසුගිය දිනවල අන්තර්ජාලයේ පුවතක් පළ වුණා. හැබැයි ඒක කටකතාවක් විතරයි. ඒක වෙලා තියෙන්නෙ මෙහෙමයි. තේජාට මියුසික් වීඩියෝවකට රංගනයෙන් දායක වීමට ආරාධනා ලැබිලා. කතාවට අනුව ඇය සෙල්ෆියක් ගන්නට ගිහින් දියඇල්ලකින් වැටිලා මියයනවලු. එහිදී ගත් සේයාරූ කිහිපයක් කිසියම් කෙනකු විසින් අන්තර්ජාලයේ පළ කරලා තමයි එකී ව්‍යාජ පුවත හැදුණේ. මේ හේතුවෙන් එම මියුසික් වීඩියෝවත් නොසිතූ විරූ අන්දමින් ජනප්‍රිය වුණා. ඒ ගැන තොරතුරුයි අද ඔබ වෙත මෙසේ ගෙන එන්නේ.

ඒ ගීතයේ නම ‘කඳුළ නුඹ’. ගායනා කරන්නේ සඳුන් දොලමුල්ල. ගීත ගැයුවට ඔහු වඩාත් ප්‍රකට ගායකයකු හැටියටනම් නෙවෙයි. සඳුන් ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක්. ඒ අංශයෙන් වැඩ කටයුතු කළත් විවේකයක් ලද විගස ඔහු සංගීතමය නිර්මාණ වෙනුවෙන් වෙහෙසෙනවලු. කඳුළ නුඹ සඳුන්ගේ දෙවැනි ගීතය. ඔහු පළමු ගීතය ගැයුවෙ සිය බිරිය වෙනුවෙන්. එහි නම ඔබගෙ සෙනෙහෙන් පිරිලා. ඒ සඳහා ද ඉහළ ප්‍රතිචාර ලැබුවා. ඒ ලද පන්නර ඔස්සේ තමයි සඳුන් මෙහෙම තම දෙවැනි ගීතයට අත තබන්නෙ.

සුන්දරව කාලය ගතකරන පෙම්වතුන් යුවළක් සිටිනවා. ඔවුන් මහත් වූ බලාපොරොත්තු රැසක් සිත්හි තබාගනිමින් තමයි කාලය ගතකරන්නෙ. නමුත් ඒ පෙම්වතාගෙ ජීවිතය උඩුයටිකුරු වන්නෙ පෙම්වතිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් නොසිතූ විරූ අන්දමින් මියයන නිසයි. එතැන් පටන් ඔහු පෙම්වතියගෙ මතකයන් තුළ ජීවත්වෙනවා.

මේ කතා පුවතයි කඳුළ නුඹ රූප රචනාවෙ දිගහැරෙන්නෙ. තැනක් නොතැනක් නොබලා සෙල්ෆි ගැනීමට යන තරුණ තරුණියනට මෙමඟින් හෝ පණිවිඩයක් ලබාදීම තමන්ගේ අරමුණ බව සඳුන් අප හා එක්ව පැවසුවා. මේ ගීතය රූගතකොට ඇත්තේ බදුරලිය සහ අගලවත්ත යන ප්‍රදේශයන්හි. හර්ෂණ බෙත්මගේ, දිනුෂා සිරිවර්ධන සහ තේජා නදීශානි මෙහි රංගන දායකත්වය සපයා තිබෙනවා.

ගීතයේ පදමාලාව - සංක සමරප්පුලි

සංගීත අධ්‍යක්ෂණය - හෂාන් තිළිණ

වීඩියෝවේ සංකල්පය - සඳුන් දොලමුල්ල

ඉදිරිපත් කිරීම - ලක්මි ක්‍රියේෂන්

කැමරා අධ්‍යක්ෂණය - සුමිත් කුමාරගේ

අංග රචනය - රසික තෙන්නකෝන්

නිෂ්පාදන සම්බන්ධීකරණය - රන්ජන් දසන්ත

ඔබේ අලුත්ම මියුසික් වීඩියෝව පිළිබඳ විස්තර පලකරගන්න 0112429267 රසඳුන කර්තෘට කතා කරන්න. 

Comments