හරි වහර | සිළුමිණ

හරි වහර

කුසල - මේ පාලි තත්සමයෙකි.‍ වැරැදි වදනක් නො වේ. එහෙත් සංස්කෘත තත්සම සමඟ එකට යෙදීම නො ගැළපේ. එ හෙයින් කුසල කර්ම, කුසල විඥානය, කුසල ධර්ම වැනි යෙදුම් මැනවැ යි කිය හැකි නොවේ. මෙහි සංස්කෘත තත්සමය වන කුශල යන්න එ බඳු තන්හි යෙදීම මැනැවි. එහෙත් සංස්කෘත - පාලි දෙකෙහි ම සම වැ යෙදෙන චේතනා, චිත්ත වැනි වදන් සමඟ මෙ දෙකින් කවරක් වුව ද යෙදීම මැනැවි. එ නයින් ම කුශලතා, කුසලතා යනු ද යෙදිය යුතු ය. එ‍ සේ ම, හුදු හෙළ වදන් හා යොදන කල්හි කුශල, කුසල් හා අනුරූප හුදු හෙළ පියෙවිය (ප්‍රකෘතිය) වන කුසල් යනු යෙදිය යුතු ය. කුසල් කම්, කුසල් දහම්, කුසල් සිත් ආදිය මෙනි.

කූඨ - මෙ ද පාලි - සංස්කෘත තත්සමයෙකි. මුදුන නොහොත් උපරිම තත්ත්වය යනු අරුත යි. කූටප්‍රාප්ත, ගිරිකූට ආදි තන්හි යෙදෙනුයේ ඒ අරුත යි. මෙහි ලා (අල්පප්‍රාණ) ‘ට’ විනා (මහාප්‍රාණ) ‘ඨ’ යෙදීම වරදෙකි. එ හෙයින් නිවැරැදි වනුයේ ‘කූට’ යන්න ම ය.

තව ද අරුතෙකින් (පාලි - සංස්කෘත තත්සමයක් වශයෙන් ම) මෙ වදන යොදනු ලැබේ. එ නම් කපට හෙවත් වාංචනික යන අරුත යි. කූට වාණිජ (කූට වෙළෙඳ), තුලාකූට, හා සතුට වැනි යෙදුම්හි එනුයේ ඒ අරුත යි. එහි ලා ද (අල්පප්‍රාණ) ‘ට’ සහිත ‘කූට’ යනු ම යෙදීම නිවැරැදි වහර යි.

කෙණෙහිලි - නිතර නො යෙදුණ ද කලාතු‍ෙරකින් හෝ යෙදෙන වැරැදි වදනෙකි. වෙසෙසින් ම කට වහර ලිවීමේ දී මෙ වදන යෙදෙනු දක්නා ලැබේ. නිවැරැදි වනුයේ ‘කෙනෙහිලි’ යනු යි. (ම‍ූර්ධජ) ණ නො ව (දන්තජ) න යෙදෙන බව මැනැවින් සැලැකිය යුතු වෙයි. කෙනෙහිලි යනු භාව කෘදන්තයෙකි. කෙනෙසීමෙහි ‘කොනස’ ධාතුවට (ක්‍රියා මූලයට) ‘ඉලි’ යන ප්‍රත්‍යයය එක් වීමෙන් කෙනෙසිලි (කොනස + ඉලි = කෙනෙසිලි) යනු නිපැදේ. ‘ස’ වෙනුවට ‘හ’ ආදේශ වීමෙන් කෙනෙහිලි යනු නිපැදේ. කෙනෙහිල්ල, කෙනෙහිල්ලට ඈ විසින් වරනැ‍ෙඟ්.‍

කෙළෙස් - බොහෝ විට නිවැරැදි ව ද, කලාතුරෙකින් නමුදු වරදවා ද යොදනු ලබන වදනෙකි. මෙහි වරද නම් (මූර්ධජ) ‘ළ’ යෙදීම ය. එහෙයින් නිවැරැදි වනුයේ (දන්තජ) ‘ල’ සහිත ‘කෙලෙස්’ යන වදන යි. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි ‘ක්ලේශ’ යනු ද පාලියෙහි ‘කිලේස’ යනු ද යෙදේ. මෙ දෙක් හි ම යෙදෙනුයේ (දන්තජ) ‘ල’ බව සැලැකිය යුතු වෙයි.

සිංහලයෙහි තව ද අරුතෙකින් ‘කෙලෙස්’ යනු යෙදේ. එ නම් කෙලෙස් තුළ හෙවත් කෛලාස කූටය යි. එහි දු යෙදෙනුයේ (දන්තජ) ල ම ය. කවර ආකාර යන අරුතිනුත් ‘කෙලෙස’ යැයි යෙදේ‍. එහි දු (දන්තජ) ‘ල’ ම යෙදේ. එ හෙයින් කිසි දු අරුතෙකින් සිංහලයෙහි ‘කෙළෙස්’ යනු නොයෙදෙන බව මැනැවින් පැහැදිලි ය‍.

කෙවුල් - වියත් වහරෙහි මෙන් ම කට වහරෙහි ද බොහෝ විට යෙදෙන වදනෙකි. මෙහි වරද නම් (දන්තජ) ‘ල්’ යෙදීම යි. නිවැරැදි වදන (මූර්ධජ) ‘ළු’ අගට යෙදෙන ‘කෙවුළු’ යන්න සේ සැලැකේ. මේ හා අනුරූප වැ පාලියෙහි ‘කේවට්ට’ යනු ද සංස්කෘතයෙහි ‘කෛවර්ත’ යනු ද යෙදේ. මසුන් අල්ලන්නා හෙවත් ධීවරයා යනු මෙහි අරුත යි.

සාමාන්‍යයෙන් පාලියෙහි ‘ට’ ව්‍යඤ්ජනය හා අනුරූප වැ සිංහලයෙහි (මූර්ධජ) ‘ළ’ යෙදේ. එ වුව ද ‘ට්ට’ හෝ ‘ට්ඨ’ හෝ යැයි ද්විත්ව වැ යෙදෙන කල්හි ඒ හා අනුරූප වැ ‘ට’ යනු සිංහලයෙහි යෙදේ. මෙහි වනාහි ‘ට්ට’ යනු අනුරූප වැ ද යෙදී ඇත්තේ ‘ළු’ යි. තවදුරටත් විමැසිය යුතු තැනෙකි.

‍කෙල - අරුත් කිහිපයෙකින් යෙදෙන වදනෙකි. බොහෝ විට වරදවා ලියනු දක්නා ලැබේ. එක් අරුතෙකින් හැඟැවෙන්නේ මුවින් නිකුත් වන ස්‍රාවය යි. එහිලා යෙදෙනුයේ (මූර්ධජ) ‘ළ’ සහිත ‘කෙළ’ යන්න යි. ඒ හා අනුරූප වැ සංස්කෘතයෙහි ‘ඛේට’ යනු ද පාලියෙහි ‘ඛේළ’ යනු ද යෙදේ.

කෝටි යන සංඛ්‍යාව දක්වනු සඳහා ද සිංහලයෙහි ‘කෙළ’ යනු යොදනු ලැබේ. එහි දු (මූර්ධජ) ‘ළ’ ම යෙදෙන අයුරු සැලැකිය යුතු වේ. කොන හෙවත් කෙළවර දක්වනු පිණිස ද කෙළ යනු යෙදේ. වියත් වහරෙහි මතු නො ව ගැමි වහරෙහි පවා එය යෙදෙන අයුරු ‘එ කෙළ මෙ කෙළ වෙනවා’ වැනි යෙදුම් සලකන කල්හි පෙනී යයි.

කෙලින් - ඍජු වැ යනු අරුත යි‍. කොන හෙවත් කෙළවර හඟවන ‘කෙළ’ යන්නට ‘ඉන්’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපැදෙන බැවින් මෙහි දු යෙදිය යුතු (ම‍ූර්ධජ) ‘ළ’ ම ය. එ‍ හෙයින් නිවැරැදි වන්නේ කෙළින් යනුයි. ඛේටයෙන් යන අරුතිනුදු මෙ වදන යෙදිය හැකි යි.

Comments