BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 ශ්‍රද්ධා රඟද්දී ඉබේ ම ඉකිගසා හඬලා

 

ඉන්දියාවේ පාතාල නායකයකුගේ චරිතයක් කේන්ද්‍ර කර ගත් ‘හසීනා’ චිත්‍රපටයේ රූ ගත කිරීම් ඇරැඹුණේ මීට සතියකට පමණ කලින්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා අපූර්වා ලාඛියායි.

සුරූපී නිළි ශ්‍රද්ධා කපූර් මෙහි රඟන්නේ පාතාල නායකයාගේ සොහොයුරියගේ චරිතයයි. මේ චරිතයේ නම, හසීනා පාකර්. පාතාල නායකයා ලෙස රඟන්නේ ශ්‍රද්ධාගේ ම සොහොයුරු සිද්ධාන්ත් කපූර්. මේ චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් රූගත වෙද්දී සිදුවුණේ කවුරුත් නොසිතූ දෙයක්. ශ්‍රද්ධා ඒ මොහොතේ නිරූපණය කරමින් සිටියේ අතිශය සංවේදී රංගනයක්. එලෙස රඟමින් සිටිද්දී ශ්‍රද්ධාට නොදැනුවත්ව ම හැඬුම් ආවා. ඇයට ඒ හැඬිම් වළක්වා ගන්නට බැරි වුණා. ඇය නොනවත්වා ඉකි ගසා හැඬුවා. එවැනි අවස්ථාවක් පිටපතේ නැහැ. ඒ නිසා, අධ්‍යක්ෂ අපූර්වා ට සිදුවුණේ රූගත කිරීම නවතා දමන්නටයි. ශ්‍රද්ධා සාමාන්‍ය තත්වයට පත්වන තුරු රූගත කිරීම් නවතා දැමූ අධ්‍යක්ෂවරයා සිතුවේ විනාඩි දෙක තුනකින් ඇයට යළි රඟපෑ හැකි වේය කියලයි.

නමුත්, ශ්‍රද්ධාගේ හැඬුම් නැවතී ඇයට යළි රංගනයට එක්විය හැකි වූයේ පැයකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුවයි. ශ්‍රද්ධා ගේ තත්වය සාමාන්‍ය අතට ගෙන එන්නට ඇගේ සොහොයුරු සිද්ධාන්ත්ටත් සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවුණා.

‘හසීනා’ චිත්‍රපටයේ ශ්‍රද්ධා නිරූපණය කරන්නේ අභියෝගාත්මක චරිතයක්.

 සංජේ ගේ සංගීතයට පොලිස් කනේ පහරක්

වසර කිහිපයක් සිරගතවී සිටි ප්‍රවීණ නළු සන්ජේ දත් වෙත නැවතත් පොලිස් ඇස යොමුවීමේ පුවතක් අල්ලපු රටෙන් වාර්තා වුණා. ඒ බරපතළ වරදක් නිසා නොවෙයි. අසල්වැසියන්ට හිරිහැරයක් වන අයුරින් සාදයක් පැවැත්වීම නිසයි.

මීට කලින් වතාවකදීත් මෙවැන්නක් ම සිදුවුණා. ඒ අවස්ථාවේදීත් සන්ජේ ගේ නිවසෙහි පැවැත්වූ සාදයකදී නිකුත් වූ සංගීත නාදය අසල්වැසියන්ගේ කන්වලට ඔරොත්තු දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ අධික ශබ්දය පාලනය කළා.

පසුගියදාක පැවැති තවත් සාදයකදීත් සන්ජේ ගේ නිවසින් නිකුත් වී ඇත්තේ මිනිසකුට දැරිය නොහැකි අන්දමේ සංගීත රාවයක්. මැදියම් රැයට ආසන්නයේ නිකුත් වූ මේ ඝෝෂාකාරීත්වය නිසා සන්ජේගේ නිවෙස අවට සිටි අසල්වැසියන් දැඩි පීඩාකාරී තත්වයකට මුහුණ දීලා. ඒ තත්වය මෙලෙස හෙළිකළේ සන්ජේ පදිංචිව සිටින පාලි හිල් නිවාස සංකීර්ණයේ එම නිවැසියන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අමිතව් ශුක්ලා යි....

“රාත්‍රී 11.30 ට විතර සන්ජේගේ නිවසින් නිකුත් වුණේ අධික ශබ්දය මුසුවුණ සංගීතයක්. මේ නිසා අපිට නිදාගන්න බැරි වුණා. අපි මේ ගැන ‍නිවාස සංකීර්ණයේ පාලක මැදිරියට පැමිණිලි කළා. ඒත් වැඩක් වුණේ නැහැ. ඉන් පස්සෙ මම ආයෙත් පාන්දර 1.30 ට විතර කතා කළා. එතකොට ඇමතුම ගත්ත කාන්තාව කිව්වා, එයාලා මේ ගැන පොලීසියට දැනුම් දුන්නාය කියලා. තවත් විනාඩි 15ක් විතර බැලුව මම, පොලසියට කතා කළා. පොලිස් නිලධාරීන් අපිට පොරොන්දු වුණා මේ ශබ්දය නවත්වන බවට. ඉන් පස්සෙ තමයි ඝෝෂාව නැති වුණේ.”

“මීට කලිනුත් ඔය වගේ සිද්ධියක් ඇති වුණා. අපි සන්ජේට ලිඛිතව දැනුම් දුන්නා, ඝෝෂාවල් ඇති කරන්න එපාය කියලා. ඒත් එයා ගණන් ගත්තේ නැහැ. දැන් අපිට පැහැදිලියි, සන්ජේ තමන්ගෙ අසල්වැසියන්, විශේෂයෙන් ම වයෝවෘද්ධ අයගේ දැනුම් දීම් පවා ගණන් ගන්නෙ නැති බව. මින් මතුවට මේ දේවල් අපි ඉවසන්නෙ නැහැ. අපි, මීළඟ මහ සභා රැස්වීමෙදි මේ ගැන සාකච්ඡා කරළ සන්ජේට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නය කියල පොලීසියෙන් ඉල්ලීමක් කරනවා.” වෛද්‍ය ශුක්ලා එලෙස පැවසුවේ දැඩි කෝපයෙන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු වන රාමචන්ද්‍ර යාධව් පැවසුවේ පැමිණිල්ල ලද විගසින් ම සන්ජේ ගේ නිවෙසට ගිය පොලිස් නිලධාරීන් වහාම එම ඝෝෂාකාරී සංගීතය නවතා දැමූ බවයි.

 ආශා බොස්ලේ ගේ හඬ යළිත් විද්‍යාට

නිළියන් අතරින් ඉහළින් ම කැපී පෙනීමට අකැමැත්තක් දැක්වූවත් විද්‍යා බාලන් තම වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙනයමින් සිටින්නේ වැඩි සද්දයක් නැතිවයි. ඇගේ මුල් ම රංගනය ප්‍රේක්ෂකයන්ට සමීප වුණේ 2013දී තිරගතවූ ‘මායි’ චිත්‍රපටයෙන්. එහි, ඇය වෙනුවෙන් ගී ගැයුවේ භාරතයේ ප්‍රවීණ ගායිකා ආශා බෝස්ලේ යි.

විද්‍යා බාලන් ළඟදීම රඟපෑමට සූදානම් වන අලුත් ම චිත්‍රපටයේ නිරූපණය කරන ජවනිකාවකට පසුබිමෙන් ගීයක් ගායනා කර ඇත්තේ ද ආශා බෝස්ලේය. වසර කිහිපයක් ම පසුබිම් ගී ගායනයෙන් ඈත්ව සිටි මේ ප්‍රවීණ ගායන ශිල්පිනිය නැවතත් තම මධුර හඬ එක් කළේ සම්මානිත බෙංගාලි චිත්‍රපට අධ්‍යක්ෂ ශ්‍රීජිත් මුඛර්ජි‍ ගේ ‘බෙගම් ජාන්’ චිත්‍රපටය වෙනුවෙන්. මේ, ඔහුගේ කුළුඳුල් බොලිවුඩ් චිත්‍රපටයයි. විද්‍යා මෙහි රඟන්නේ ගණිකා නිවසක හිමිකාරියක හැටියටයි. ඇය රඟන ගීතමය ජවනිකාවකට හඬ මුසු කරන්නේ ආශා බෝස්ලේයි.

“චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන අනු මලික්ව මුණ ගැහිලා මේ ගැන මම සාකච්ඡා කළා. අපි හිතුවෙ නැහැ, ආශා බෝස්ලේ මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න ඒවිය කියලා...” අධ්‍යක්ෂ ශ්‍රී ජිත් පැවසුවා. ආශා බෝස්ලේ මේ සඳහා එකඟ වී ඇත්තේ ඒ වන විට රෝහල්ගතව සිටි අනුමලික් ගේ සුවදුක් බැලීමට පැමිණි පසුවයි.

“ආශා බෝස්ලේ මහත්මියගේ එකඟත්වය ලැබුණායින් පස්සෙ මම දැඩි සත්කාර ඒකකයේ ඉඳගෙන ම එතුමියට ගායනා කරන්න තියෙන ගීයට තනුවක් හැදුවා. ගෙදර ආවායින් පස්සෙ මම එතුමිය සමඟ පැය 3ක් මේ ගීතය පුහුණු වුණා. ඉන් පස්සෙයි පටිගත කළේ.” සංගීතවේදී අනුමලික් පැවසුවා.

‘‍යේ ක්‍යා හෝ ගයා’ නම් වූ එම ගීතය පටිගත කිරීමෙන් පසුව අධ්‍යක්ෂ ශ්‍රී ජිත් ට අවශ්‍ය වී ඇත්තේ තවත් වතාවක් එම ගීතය ආශා ලවා ගායනා කරවීමටයි. ආශා බෝස්ලේ වැනි ගායන ශිල්පිනියක් ඒ වෙනුවෙන් නැවත පැමිණේවි දැයි ඔහු සැක සිතුව ද ඔහුගේ ඇරයුම පිළිගත් ඇය චිත්‍රාගාරයට පැමිණ ගීතය නැවතත් ගායනා කර තිබෙනවා.

Comments