මැඩම් අසනීපෙන් ඉන්දෙද්දි මට යන්න හිත දෙන්නෙ නෑ | සිළුමිණ

මැඩම් අසනීපෙන් ඉන්දෙද්දි මට යන්න හිත දෙන්නෙ නෑ

සුගන්ධට එළිවනතෙක් හරි නින්දක් ලැබුණේ නැත. ඇය ගියොත් නැවත එතැයි විශ්වාස කළ නොහැකිය. ඇය නවතාගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කීපයක් ඇතිමුත් එවැනි යෝජනාවක් අම්මාට පවසන්නේ කෙසේද? මෙය විසඳාගත හැකි එක ම මඟක් ඇත. එහෙත් පවුලට බලපාන විදිහේ අසම්මත දෙයක් තමාට කළ නොහැකිය.

පැහැදිලිව අප අතර ළංවිය නොහැකි පරතරයක් ඇත.

සමහර අයට මේ ජීවිතය හුඟාක් දුරය. ඇති නැති ප්‍රශ්නය යුගයේ හැම කාලයකම තිබුණි. ප්‍රාථමික සමාජයේ ජාති, ආගම්, කුල වශයෙන් හැම දෙයක් ම විවාහය කෙරෙහි බලපෑවේය.

අද ජාතිය, කුලය, ආගම වේවා විවාහය කෙරෙහි පෙර මෙන් බලනොපෑවත් බලපාන අවස්ථා ඇත. අතීතයේ වලව්වේ පිරිමියෙකුට කිසියම් කාන්තාවක් අවශ්‍ය නම් ඇය ගෙන්වා ගැනීම හැර විවාහකර ගැනීම සිදුව නැත. කලකට ඉහත ඔවුන් සිතා සිටියේ ගැහැනු යනු පිරිමින් ගේ අවශ්‍යතාවට සිටින පිරිසක් ‍බවය.

අද කාන්තාවන් පිළිබඳ ලෝකය සිතන අයුරු වෙනස්ය. ඇයට පිරිමියාට සමසමව අයිතිවාසිකම් හිමිව ඇත.

තමා සිතන්නේ වෙනත් දෙයක් ගැනය. මේතාක් කළ ඇසුරේ අදහසක් නැතැයි කිව නොහැක. යෝජනාවක් ලෙස එය අම්මා වෙත ඉදිරිපත් කිරීමට තරම් ආත්ම ශක්තියක් නැත. සේවිකාවක් විවාහ කර දෙන මෙන් අම්මාගෙන් ඉල්ලීමක් කළ නොහැක.

සමීපව ඇසුරු කරන්නේ අයියා පමණි. ඔහු ලවා මේ අදහස් ඉදිරිපත් කළ නොහැකිය. බාලිකාවේ පැවැත්වෙන උත්සවයට අයියා උදව් කරන්නේ දෙන්නා හිතවත් හෙයිනි. ඔහු තීරණයක් ගත්තේය.

“පුතා”

“මේ එනවා අම්මා අම්මාට මොකද?”

“මට මුකුත් නෑ මට හොඳයි.”

“අපි වෙන නර්ස් කෙනෙක් ගේමු.”

“අන්න අපේ කාර් එක ආවා.” සුභද්‍රා මැතිණිය සුගන්ධ ගේ අවධානය එළියේ ඇසුණු ශබ්දය දෙසට යොමු කළාය.

මඳ වේලාවකට පසු රත්නපාල පිටත සිට ඇමතුම ගත්තේය.

“ඇයි රත්නපාල”

“සර් පොඩ්ඩකට දොර අරින්න.”

“ඇයි මනුස්සයෝ දොංඩගොඩට ගියේ නැද්ද?”

ඔහු තරමක අමනාපයකින් දොර විවෘත කළේය. බෑගයක් අතැතිව දොර ළඟ සිටින තැනැත්තිය දුටු සැනින් සතුටක් පිවිසුණි. එහෙත් ඔහු ඒ බවක් පෙන්වූයේ නැත.

“ඇයි මොනවත් අමතක වෙලාද?”

විශ්මි සිනාමුසු මුහුණින් නිවසට පිවිසුණාය.

“මැඩම්ට කොහොමද?”

“ටිකක් වෙහෙස ගතියෙන් ඉන්නෙ.”

ඇය සෙමෙන් මැතිණියගේ කාමරයට ගියාය.

“ඇයි මේ ආවෙ තවම ගියේ නැද්ද?” ඇය පිළිතුරක් නොදී බෑගය පසෙක තබා ආවාය.

“ට්‍රැෆික් එකේ යන‍කොට වෙලාව හරි යයි. ගන්න දෙයක් අරන් ඉක්මනට යන්න.”

“බේබි පොඩ්ඩකට එළියට යන්න. අම්මාට බේත් කරල එන්නම්.”

“එපා විශ්මි මම මොනවා හරි කරගන්නම්. ඔයා යන්ට.”

විශ්මි කිසිවක් කීවේ නැත.

“මම හොස්පිට්ල් එකට කතා කරලා නර්ස් කෙනෙක් ගෙන්වා ගන්නම්.”

“මම යන්නෙ නෑ.” ඇය ස්ථිර ලෙස කීවාය.

“උදේ ඉන්ටවීව් එක තියෙනවා නේද?”

“මම යන්නෙ නෑ. මම මැඩම් බලාගෙන ඉන්නවා.”

“යන්න ළමයො. මම කවුරු හරි ගෙන්නා ගන්නම්. ඔයාගෙ අවස්ථාව නතර කරගන්ට එපා.”

“කමක් නෑ.” ඈ සිනාසුණාය.

සුගන්ධ එක එල්ලේ විශ්මි දෙස බලා සිටිමුත් කිසිවක් කීවේ නැත.

“තේ එකක් හදල දෙන්නද?” සුගන්ධ දෙස බලා සිනාවෙන් විශ්මි ඇසුවාය.

“ඇඳුම් මාරු කරල ඇවිදින් තේ එකක් හදන්නම්.”

“ඇයි මේ වගේ දෙයක් කළේ.” අඳුරේදී ඔහු ඇගේ දෑතින් අල්ලා ගනිමින් ඇසුවේය.

“මැඩම් අසනීපෙන් ඉන්දෙද්දි මට යන්න හිත දෙන්නෙ නෑ.”

“හැමදාම ලෙඩවෙලා හිටියොත් හැමදාම ඉන්නවද?”

“පුළුවන්තාක් කල් ඉන්නවා. පස්සෙ කතා කරමු. මම තේ එකක් හදාගෙන එන්නම්.”

ඔහු ඇය ළඟට ඇදගෙන ළයට තද කර ගත්තේය.

“කෝ... එහාට වෙන්න ලක්ෂ්මී නැගිටලා ඇති.” ඇය ඔහු ඉවතට තල්ලු කළේ සිනාසෙමිනි.

“කෝ අයියා”

“මේ දවස්වල අයියා ගෙදර නෑ. කොන්ෆරන්ස් එකක් තියෙනවා. ඒ නිසා හොටෙල් එකේ නතර වෙලා ඉන්නවා.”

“මේ මට යන්න දෙන්න නැත්නම් මම කැම්පස් යනවා.”

“නෑ නෑ ඉන්න.” ඔහු යනු දුටු ඇගේ මුවට සිනාවක් නැඟුණි.

ආසියා ශාන්තිකර කලාපයේ සංචාරක නියෝජිතයන්ගේ රැස්වීමක් හෝට‍ලයේ පැවැත්වීමට සූදානම් කර තිබීම නිසා ඔවුන් හා සිටීමට සිදුවුණි. ඔවුන්ට පහසුකම් සැලසීමට සිදුවීම නිසා දින කිහිපයකින් නිවසට ඒමට ලැබුණේ නැත. ඒ අතර කොහේ දෝ නැති කරදරයකට මුහුණ දීමට ද සිදුව ඇත. තමා දැන් මැදිව සිටින්නේ අනවශ්‍ය කරදරයකටය.

චතුරංගි ගේ ජීවිතය ගලවා ගැනීමට මෙම ප්‍රසංගය පැවැත්වීමට මූලිකත්වය ගන්නේ විශ්මි විසිනි. ඇය නිසා ම කීපවරක් ඇසුරු කිරීමට සාරංගට සිදුවුණා. මේවා සාමාන්‍ය සිදුවීම්ය. ඇය කෙරෙහි දුකක් ඇති වූයේ තමාගෙන් මොනවා හෝ දෙයක් ............................

“සර් මම චතුරංගි”

“මම මේ ඔයාට කතා කරන්නයි හිටියේ. මම අද ඉන්නෙ හොටෙල් එකේ.”

“මට සර්ව ඊයෙ TV එකේ දැක්කා. සංචාරක ප්‍රවර්ධන කලාපීය එකමුතුවේ ලංකා නියෝජිතයා ........................ හිටියා.”

“ඔක්කොම නතර වෙලා ඉන්නෙ අපේ හොටෙල් එකේ. රටවල් විසිහතරක අය ඉන්නවා.”

“සර් ප්‍රධානියා විදියට ඉන්නවා දැක්කම මට සතුටක් දැනුණා.”

“ඔයාට බැරිද හොටෙල් එකට එන්න.”

“අනේ... මම මොටද?”

“එන්න ආවම කියා දෙන්නම්. මම ඩොක්ටර්ට කියන්නම්.”

මේ කලාපීය හමුවට අර්ථවත් පුළුල් මාතෘකා රැසක් අඩංගුය.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයන් ද සංචාරක ව්‍යාපෘතියට ඇතුළත් විය. ඒ ඒ රටවල දේශීය වෛද්‍යවරුන් සහභාගි වන මොහොතක චතුරංගි ගේ රෝගයට දේශීය වෛද්‍ය ක්‍රමයකින් සහනයක් ලබා ගැනීමට හැකි වේදැයි පරීක්ෂා කර බැලීමට ඔහු සිතුවේය.

“මම වාහනයක් එවන්නම්. ඇඳුම් කීපයකුත් අරන් එන්න.”

ලබන සතියට

Comments