බ්‍රාහ්මණ වංසයේ විලංගු බිඳ දැමූ ලේඛිකාව | සිළුමිණ

බ්‍රාහ්මණ වංසයේ විලංගු බිඳ දැමූ ලේඛිකාව

පාලම

පද්මා සෝමකාන්දන් ලේඛිකාව මේ වන විට පළ කර තිබෙන පොත් සංඛ්‍යාව 13කි. ඒවා අතරින් වැඩි සංඛ්‍යාවක් කෙටිකතා පොත් ය. කඩවුලින් පෝක්කල්, වෙල්වි මලර්ගල්, පුඩිහ වාර්පුගල්, කරුම්බලගෙයි කාපියනල් හා ඉට්රෙයි තිංගල් ඇය ලියූ කෙටිකතා කෘති අතර වේ. මේ ග්‍රන්ථ සඳහා එතෙර මෙතෙර සම්මාන රැසක් ද ඇය දිනා තිබේ.

බ්‍රාහ්මණ යනු යාපනයේ ඉහළ ම ජන කුලකයයි. කෝවිල් භාර පූජකයන්ට හා සමාජ නායකයන්ට හිමි කුලකයයි. පංචනදී ඊශ්වරන් කුරක්කල්තුමා එකී උත්තම කුලයේ සාමාජිකයෙකි. ඔහු යාපනයේ වෙන්නරපන්නෙයි ග්‍රාමයේ නායක පූජකවරයා ය. ගමේ ආගමික වතාවත්වල සිට මඟුල් අවමඟුල් කටයුතු, සමාජ ගැටලු විසඳීම හා නක්ෂත්‍ර සේවාවන් ඇතුළු කුදු මහත් කාර්යභාරයක් ඉටු කෙරුණේ ඊශ්වරන් කුරක්කල්තුමා අතිනි.

පසු කලෙක පත්මා සෝමකාන්දන් නමින් ප්‍රකට ලේඛිකාවක බවට පත් වන පත්මා දැරිය උපත ලබන්නේ මෙම සමාජ හා ආගමික නායක ඊශ්වරන් ප්‍රභූවරයාගේ තෙවැනි දියණිය ලෙසිනි. ඒ උතුරුකරයේ කුලභේදය මෙන් ම ඇති නැති පරතරය ඔඩු දිවගොස් පැවති සමාජ ආර්ථික පසුබිමකදීය. එනම් 1936 වස‍ෙර් සුන්දර මැයි මසකදීය.

කුල අභිමානයෙන් හිස උදුම්මා නොගත් පියතුමකුගේ හා මවුතුමියගේ දියණියන්ව උපදින්නට වරම් ලැබීම හේතුවෙන් පත්මා ඇතුළු සොයුරියන්ට ගමේ පාසලෙන් අකුරු කරන්නට අවකාශය ලැබිණ.

පත්මාගේ මව වන අමිර්තාඅම්මාල් ද පියා මෙන් ම කුල මාන්නය පසෙක තැබූ කාන්තාවක් වූවාය. එමතු ද නොව ඉතිහාසය කුල බන්ධනයන්ගෙන් මුද­ාගෙන නව ලෝකයේ අරුණලු දකින අලුත් මිනිසුන් බවට පත් කළ යුතුය යන අදිටන පෙරදැරිව ඇය ඔවුන්ගේ අධ්‍යාපනයට මෙන්ම කුසලතා වර්ධනයටත් දිරි දුන්නාය.

අප්පා නොවරදවාම වීරකේසරී පත්තරය මැඳුරට රැගෙන ආවේය. අක්කා පොත්ලෝලියෙක් වූවාය. පාසලේ හොඳම රචනා ලියන්නිය හා වාද විවාද මෙහෙයවන්නිය ලෙස ද පත්මා කැපී පෙනුණාය. අභ්‍යාස පොත් පිටුවල කුඩා රචනා ලියා ඇය සොයුරියන්ට පෙන්නුවාය. සොයුරියන් තිදෙනා උනු’න් ඇසුරු කළේ මිතුරියන් මෙනි. පත්මාගේ ලේඛන කලාව ඇරඹෙනුයේ එලෙසිනි. වීරකේසරී ඇතුළු පුවත්පත්වල ඇගේ නම හුරුවන්නට වැඩි කලක් ගියේ නැත. මේ වන විට ඇය ඉගෙනුම ලැබුවේ සාමාන්‍ය පෙළ පන්තියේ ය.

උදයන් පුවත්පතේ සංස්කාරක එන්. සෝමකාන්දන් ඇයට දැන හැඳින ගන්න ලැබෙන‍ුයේ උසස් පෙළ විභාගයට සැරසෙමින් සිටි කාලයේ ය. උදයන් වලට ලියන ලෙස ඇරියුම්කොට ඔහු ඇයට ලිපියක් ද එවීය. දිගු ඇසුරකින් පසුව එනම් 1959 දී සෝමකාන්දන් ලේඛකයාගේ මනාලිය බවට පත්වීමට ඇයට මඟ පෑදෙනුයේ මෙම ලිපිය ඔස්සේ හට ගත් දැන හැඳිනකම් මඟිනි.

පත්මා සෝමකාන්දන්ගේ සාහිත්‍ය ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ඇය සලකනුයේ ‘යුදන්දිරන්’ පුවත්පත මෙහෙය වූ දීපව්‍යාප්ත කෙටිකතා තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගත් අවස්ථාවය. ඒ වන විටත් සිසුවියක වූ ඇය මෙම ජයග්‍රහණය ලබනුයේ අද ජාත්‍යන්තර කීර්තියක් ලැබ සිටින කේ. ඩැනියල් හා ඩොමිනික් ජීවා යන ලේඛකයන් දෙපළ 2 වන හා 3 වන ස්ථානවල රඳවමිනි. එසේ ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ විවිධ තරග හා වැඩසටහන්වලට සහභාගී වීමද පත්මාගේ සාහිත්‍ය චාරිකාවේ හැරවුම් ලක්ෂ­්‍යයක් සටහන් කළේය. ගුවන් විදුලිය පැවැත්වූ විචාර තරගයකින් ප්‍රථම ස්ථානය දිනූ ඇයට රුපි. 75ක ත්‍යාගයක් ලැබිණි. ඇගේ මව එම මුදලට තවත් ගණනක් එකතු කර ඇයට අත් ඔරලෝසුවක් රැගෙන දුන්නා ය.

උසස් පෙළ සමත් වීමෙන් පසු 1955 ඇයට මහනුවර කැන්ඩි සීනියර් කොලීජියට ගුරුපත්වීමක් ලැබිණි. අප්පා ඊට විරුද්ධ විය. ඇයත් සමඟ නුවර පැමිණීමට අම්මා එකඟ වීමෙන් පසු අවසරය ලැබිණි. වසරක් පමණ නුවර සේවය කළ ඇය 1956 දී යළිත් යාපනයේ නල්ලුර් කාන්තා විද්‍යාලයට පත්වීමක් ලබා ගත්තා ය. ඒ වන විට ඇයට වයස අවුරුදු 20 ක් පමණ විය. ඉක්මනින් ම යාපනය ප්‍රදේශයේ ඈ ජනප්‍රියත්වයට පත් වූවාය. බ්‍රාහ්මණ වංශික කාන්තාවන් වටා බැඳ තිබූ පවුරු තරණය කරමින් ප්‍රගතිශීලී ලේඛිකාව ලෙස දමිළ ප්‍රජාව අතර පද්මා නාමය පැතිර යන්නට විය.

1959 දී ඇය එන්. සෝමකාන්දන්ගේ අත ගත්තාය. ඔහු පද්මා කොළඹ කොටහේනට කැඳවාගෙන ආවේය. සෝමකාන්දන් රජයේ ලිපිකරු සේවයේ රාජකාරිවලට අමතරව ලේඛකයකු වශයෙන් ද කටයුතු කළේ ය. ඇය පළමුව කොටහේනේ හින්දු කාන්තා විදුහලේත් පසුව කෝට්ටේ දෙමළ විදුහලේත් ගුරුවරියක සේ සේවය කළා ය. ටික කලකින් විදුහල්පතිවරියක බවට ද පත්වූවා ය. සෝමකාන්දන් මහතා කොළඹ සෙසු දෙමළ ලේඛකයන් සමඟ එක්ව ප්‍රගතිශීලී ලේඛක සංගමය ගොඩනැඟුවේ මෙ’කලය. පද්මා එහි සිටි එක ම සාමාජිකාව වූවාය.

1983 ජූලි කලබල වන විට සෝමකාන්දන් යුවළ දරුවනුත් සමඟ පදිංචිව සිටියේ කොළඹ ඇන්ඩර්සන් තට්ටු නිවාසවල ය. ඔවුන්ට අමතරව තවත් දෙමළ පවුල් 27ක් පමණ එහි ජීවත් වූහ. ජාතිආලයෙන් උන්මාදවූවෝ තට්ටු නිවාස ද ආක්‍රමණය කළහ. ඔවුන්ගේ නිවෙස් කඩා බිඳ දේපළ පැහැර ගැනිණි. රත්නායක හා ධර්මසේන පවුල්වල ප්‍රමුඛත්වයෙන් සංවිධානය වුණු ඇන්ඩර්සන් පෙදෙසේ සිංහල කණ්ඩායමක් දෙමළ ජනයාට රැකවරණය සැලසූහ. තර්ස්ටන් අනාථ කඳවුරේ දින 15ක් ගත කළ ඔවුහු අවසානයේ උතුරට අනාථයන් ප්‍රවාහනය කරන නෞකාවකින් කන්කසන්තුරය වෙත පිටත් කැර හැරිණ.

සෝමකාන්දන්ලා 83 සිට 92 දක්වා යාපනයේ විසූහ. පද්මාට හින්දු කාන්තා විදුහලේ සේවය කරන්න ඉඩ ලැබිණ. සෝමකාන්දන් මහතා යාපනය කච්චේරියට ගියේ ය. 1992 ඔහුට බයිපාස් සැත්කමක් කිරීමට ඉන්දියාවට යාමට සිදු විය. ඉන් පසු ඔවුහු යළි කොළඹ පදිංචි වූහ. පද්මාට යාපනයේ අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට උසස්වීමක් ලැබුණ ද ඇය රැකියාවට ආයුබෝවන් කියා ආදරණීය ජීවන සහකරුවාගේ හා දරුවන්ගේ දුක සැප බෙදාගෙන නිවසේ නවතින්නට තීරණය කළා ය.

සෝමකාන්දන් පවුලේ දූ පුත්තු 4 දෙනෙකි. තුන් දෙනෙක් ම පුත්තු වෙති. වාර්ගික සුහදත්වය පිළිබඳව සෝමකාන්දන් පවුල විසින් සපයා ඇති ආදර්ශය සැබෑ සංහිඳියාවක් ප්‍රාර්ථනා කරන සියලු ලක්වාසීන්ගේ ප්‍රසංශාවට බඳුන් විය යුතු එකකි. එය නම් ඔවුන්ගේ එකම දියණිය හා එක් පුතෙකුත් සිංහල සමාජයේ සාමාජිකයන් සමඟ විවාහ බන්ධන සිදු කරගෙන ඉතා සාර්ථක පවුල් ජීවිත ගත කිරීමට සමත්ව සිටීමයි. සෝමකාන්දන් මහතා 2006 දී මෙලොවින් සමු ගත්ත ද ඇය දිගට ම ඔවුන් ඇරඹූ ගමනේ යෙදී සිටියි.

පද්මා සෝමකාන්දන් ලේඛිකාව මේ වන විට පළ කර තිබෙන පොත් සංඛ්‍යාව 13 කි. ඒවා අතරින් වැඩි සංඛ්‍යාවක් කෙටිකතා පොත් ය. කඩවුලින් පෝක්කල්, වෙල්වි මලර්ගල්, පුඩිහ වාර්පුගල්, කරුම්බලගෙයි කාපියනල් හා ඉට්රෙයි තිංගල් ඇය ලියූ කෙටිකතා කෘති අතර වේ. මෙම කෘති සඳහා එතෙර මෙතෙර සම්මාන රැසක් ද ඇය දිනා තිබේ. කඩවුලින් පෝක්කල් පොතට ඉන්දියානු සාහිත්‍ය සංගමයක ත්‍යාගය හිමි විය. පුඩිහ වාර්පුගල් කෘතියට හින්දු පුවත්පත සම්මාන පිරිනැමීය.

උතුරු නැ‍ඟෙනහිර පළාත් සභාව සෝමකාන්දන් ලේඛිකාවට ත්‍යාගයක් ප්‍රදානය කළේ ඊලක්කු මාන්පුරු මගලෙයි නම් කෘතියටය. දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් ඇය ලියූ සෙසු පොත් අතර stories from Hindu Mytholoty, පාරා වුම්ගල් හා නෙත්ජුක්කු (යොවුනන්ට උපදෙස්) බක්තාර් අනුමාන්, කදෙයිල් ඊලත්තු, garland fo fifity flowers (පරිවර්තන) ඇය විසින් රචිත කෘති කිහිපයකි.

සමාජ ක්‍රියාකාරිනියක ද වන පත්මා සෝමකාන්දන් කලක් කොළඹ දෙමළ සංගමයේ හා සිංහල දෙමළ ලේඛක එකමුතුවේ උප සභාපතිනිය ලෙසින් සේවය කළ අතර වර්තමානයේ කමිටු සාමාජිකත්වය දරන්නීය. එසේ ම හින්දු කොංග්‍රසය, හින්දු කාන්තා සංගමය හා අවාවි සාහිත්‍ය කවය ආදි සංවිධානවල ද ඇය තනතුරු හොබවයි. වත්මන දෙමළ සාහිත්‍ය ව්‍යාපාරයේ සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛිකාව ලෙස සැලකෙන ඇය දෙමළ සාහිත්‍යකරුවන් අතර ප්‍රකටව සිටිනුයේ දෙමළ සාහිත්‍යයේ නොසි‍ඳෙන පන්හිඳ ලෙසය.

ලිපිය සැකසීමේදී භාෂා පරිවර්තක හේමචන්ද්‍ර පතිරණ මහතාගෙන් ලද සහායට තුති පුදමි.)

Comments