ඊස්ට්වුඩ් පුත්‍රයාගේ අවදානම් වැඩක් | සිළුමිණ

ඊස්ට්වුඩ් පුත්‍රයාගේ අවදානම් වැඩක්

ක්ලින්ට් ඊස්ට්වුඩ් නම් වූ ලෝක ප්‍රකට සුපිරි නළුවා ගැන අමුතු හැඳින්වීම් අවශ්‍ය නැහැ. හොලිවුඩ් තිරයේ දස්කම් පෙන්වූ මේ සුපිරි වීරයාගේ පුතු, ස්කොට් ඊස්ට්වුඩ් ද දැන්, ජනප්‍රිය නළුවෙක්. මේ වන විට 30 වැනි වියෙහි පසුවන ස්කොට්, මෑතකදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ගියේ චිත්‍රපටයක රූගත කිරීම්වලට සහභාගි වෙන්නයි. රූගත කිරීම් තිබුණේ දකුණු සිඩ්නි ප්‍රදේශයේ. ඒ වැඩ කටයුතු නිම වූ පසුව ඒ ආසන්නයේ තිබෙන ‘වටමෝල්ලා’ නම්වූ සුප්‍රසිද්ධ දියඇල්ලක් අසල පීනන්නට ඔහු උත්සාහ කළා. දියඇල්ල අයත් වන්නේ රාජකීය ජාතික වනෝද්‍යානයටයි. එහි සෞන්දර්යයෙන් කුල්මත් වූ ස්කොට්, දියඇල්ලෙන් පහළට පැන පිහිනා යන්නට උත්සාහ කළත් ඔහුට එය සිදු කරන්නට බැරි වුණා. ඒ, ඒ අසල රැකවල්ලා සිටි නිලධාරින්ගේ මැදිහත් වීමෙන්.

එම ස්ථානයේ පිහිනීම තහනම් කර තිබෙනවා. එයට හේතුව දියඇල්ල අසල ප්‍රදේශය අනතුරුදායක තැනක් වීමයි. පසුගිය නත්තල් දිනයේ මෙහි පිහිනීමට ගිය 27 වියැති තරුණයකු ද දියෙහි ගිලී මරුමුවට පත්වී තිබෙනවා.

දැන් ස්කොට් නීතියේ රැහැනට හසුවෙලා. ඔස්ට්‍රේලියානු ජාතික වනෝද්‍යාන සහ වනජීවි සේවාව පසුගිය සතියේ ස්කොට්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වී සිටියා.

ට්‍රම්ප්, ක්‍රිස්ටන්ට බැල්ම දාලා?

ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හොලිවුඩ් සිනමාවටත් සම්බන්ධ වී සිටි අයෙක්. ඔහු ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, මේ කෝටිපති දේශපාලනඥයා හොලිවුඩයේ සුරූපී නිළියන්ටත් ඇල්ම බැල්ම යොමුකර ඇති බවයි විටින් විට හෙළි වන්නේ.

සුරූපී හොලිවුඩ් නිළි ක්‍රිස්ටන් ස්ටුවර්ට් ද එවැන්නියක්. ට්‍රම්ප්ගේ අවධානය ‍ක්‍රිස්ටන් හට යොමු වී ඇත්තේ, මීට අවුරුදු 4කට පමණ පෙර. ඒ, 2012 දීයි. ට්‍රම්ප්, ඇමෙරිකානු ජනපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වීමෙන් පසුව ඒ ගැන අදහස් දැක්වූ ක්‍රිස්ටන්,

2012 දී සිදු වූයේ කුමක්දැයි මෙලෙස හෙළි කළා.

“එදා ට්‍රම්ප් මට පිස්සු වැටිලයි හිටියේ. ඇත්තටම මං ගැන ලොකු අවධානයක් එයාගෙ හිතේ තිබුණා. ඒක මහ ඔල්මාද සිතුවිල්ලක්. ඒ වෙලාවෙ මට ඒක තේරුම් ගන්නත් බැරි වුණා. එහෙම දෙයක් සිද්ධ වෙනවා ද කියල හිතා ගන්නවත් බැරි වුණා.” මෙලෙස කියන ක්‍රිස්ටන්, 2012 දී ඔහු තමන් වෙත ට්විටර් පණිවිඩ එවමින් තමන්ගේ පෙම්වතා වන රොබට් පැටින්සන් ගැනත් සඳහන් කළැයි පවසනවා.

 

ඇෂ්ලේ ගණිකා ජාවාරමට එරෙහිව

නිළියක සහ මානව හිතවාදිනියක ලෙස ද ප්‍රසිද්ධ ව සිටින ඈෂ්ලේ ජඩ් පසුගියදා දකුණු ඉන්දියාවේ කොල්කටා නගරයට පැමිණියා. ඒ, එහි පැවැති සාහිත්‍ය උලෙළකට සහභාගි වීමටයි. පසුගියදා වොෂින්ටන් නගරයේ පැවැත්වුණු කාන්තාවන්ගේ සුබසාධනය වෙනුවෙන් දියත් වූ පා ගමනකට සහභාගි වීමෙන් පසුව කොල්කටාවට පැමිණි ඈෂ්ලේ එම උත්සවය නිමාවට පත්වූ සැණෙකින්ම පිටත්ව ගියේ ගණිකා වෘත්තිය සිදු කෙරෙන ‘රෙඩ් ලයිට්’ පෙදෙසකටයි.

එහි ජීවත්වන අසරණ ළමයින් රැස්කර ගත් ඇය මුළු ලොවටම පණිවිඩයක් ලබා දුන්නා. ගණිකා වෘත්තිය සඳහා ළමයින් සහ කාන්තාවන් යොදවා ගැනීමේ ජාවාරමට තිත තබන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

මෑතකදී තිරගත වූ චිත්‍රපට කිහිපයකම රඟපෑමෙන් ජනාදරයට පත්ව සිටින මේ හොලිවුඩ් තරුව නිරතුරුව නඟන හඬක් වන්නේ ගණිකා වෘත්තිය නවතා දැමිය යුතු ය යන්නයි. කොල්කටාවේ ‘රතු’ පෙදෙසෙහි ළමයින් සමඟ ඇය ඉතා සතුටෙන් ගත කළ බවයි ආරංචි.

ජුලියාට කාටුන් හඬක්

මීට වසර ගණනකට පෙර ළමා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ කාටුන් වැඩ සටහන් මාලාවක් තමයි, ‘ස්මර්ෆ්ස්’. එය මෙරට තුළ ද විකාශය වුණා. මේ කාටුන් කතා මාලාවේ අලුත්ම නිෂ්පාදනය, ‘ස්මර්ෆ්ස් : ද ලොස්ට් විලේජ්’ චිත්‍රපටය. මෙහි එන ස්මර්ෆ් චරිතයක් වන ‘ස්මර්ෆ්විලෝ’ට හඬ කවන්නේ ඔස්කා සම්මානයෙන් ද පිදුම් ලද ‘ප්‍රිටි වුමන්’ කෙනෙක්. ඔව්. ඔබ හිතුවා හරි. ඇය තමයි, ‘ප්‍රිටි වුමන්’ චිත්‍රපටයේ රඟපා අතිශය ජනප්‍රිය වූ ජූලියා රොබට්ස්.

“ස්මර්ෆ්ලා අපේ කාටුන් චිත්‍රපට කලාවේ ජනප්‍රියයි. මම පුංචි කාලෙත් මේ අය ජනප්‍රියයි. දැන් මගේ දරුවනුත් මේ කාටුන් චරිත රස විඳිනවා. ඉතින්, ඒ වගේ කාටුන් චිත්‍රපටයකට හඬ කවන්න අවස්ථාවක් මට ලැබීම ගැන සතුටුයි.” දැනට 49 වැනි වියෙහි පසුවන ජුලියා පැවසුවා. මේ අලුත් කතා මාලාවට පසුබිම් හඬ මුසු කිරීමට ඩෙමි ලොවැටෝ, රෙයින් විල්සන් ඇතුළු ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන් රැසක්ම සහභාගි වී තිබෙනවා. කෙලි ඇස්බරි අධ්‍යක්ෂණය කළ ‘ස්මර්ෆ්‍ : ද ලොස්ට් විලේජ්’ චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් 7 දා සිට තිරගත වන බවයි හොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ. 

Comments