
ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සහ ස්ථාවර විදුලි සංදේශ අංශයේ ප්‍රධානී
- නවීන් පීරිස්
පොළොව යට වැළලී තිබෙන මැණිකක අගය දැනෙන්නේ එය සොයා ගෙන ඔප මට්ටම් කළ විටය. එසේ ම යමකු තුළ සැඟව පවත්නා සහජ ක්‍රීඩා කෞශල්‍යය රටට ලෝකයාට පෙනෙන්නේ ද එය වැර වෑයෙමන් ඉස්මතු කර ගත් තරමටමය. එලෙස මතුකර ගත් ක්‍රීඩා කෞශල්‍යයන් රටක්, ජාතියක් නියෝජනය කිරීමට නම් ඊට හයිය හත්තිය තිබිය යුතුය. අප රටේ පමණක් නොව, මුළු මහත් ලෝකයාෙග් ම කතාබහට ලක්වන ලෝක පූජිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවිය සහ ශක්තිය දෙන අනුග්‍රාහකයන් මේ දැවැන්ත කාර්යය පසුපස සිටින බැවිනි. මෙයින් පළමුව ක්‍රීඩාවත්, දෙවැනුව ඊට දායක වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද තෙවැනුව මේ කාර්යයට හයියක් වූ අනුග්‍රාහකයන් ද බැබලෙන්නට මඟ හසර පෑදෙනු අපි කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් අප බොහෝවිට හඳුනා ගන්නේ අපට පෙනෙන ක්‍රීඩාව සහ එහි නිරතවන්නන් මිස ඊට සවිය, බලය සපයන අනුග්‍රාහකයා නොවේ. ඒ නිසා ම අද පවතින ආර්ථික වටපිටාව තුළ ගහට පොත්ත මෙන් බැඳී පවතින ක්‍රීඩාවේ අනුග්‍රාහකත්වය පිළිබඳ පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ අනුග්‍රාහකයා වන ඩයලොග් ආසිආටා සමාගමේ බ්‍රෝඩ්බෑන්ඩ් සහ ස්ථාවර විදුලි සංදේශ අංශයේ ප්‍රධානී නවීන් පීරිස් සමඟ කළ කතාබහකට අපි මේ ඉඩකඩ වෙන් කෙළෙමු.
පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වීම සම්බන්ධයෙන් අපේ කතාව පටන් ගත්තොත්?
රටක් විදියට ගත්තත්, ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් ලොකු දෙයක්. පළමුවැනි වතාවට තමයි ආසියානු වොලිබෝල් තරගාවලියක් අපේ රටේ සත්කාරකත්වයෙන් පවත්වන්නේ. අපේ රටේ ජාතික ක්‍රීඩාවට ආසියානු මට්ටමින් සත්කාරයක් සපයන එක විශාල ජයග්‍රහණයක්. ක්‍රීඩාව ඉහළට ගන්නත් මේ වගේ දේවල් ඕනෑ. ක්‍රිකට්, රග්බි වගේ ක්‍රීඩා ගත්තත් මේ වගේ අභියෝග ජය ගන්න ක්‍රීඩාව ඉදිරියට ගන්න විශාල රුකුලක් වෙනවා.
අපේ ක්‍රිකට් ගත්තත් තරග කරලම තමයි ඉදිරියට එන්නේ. පැරදිලා හරි ටීම් එක හොඳ මට්ටමකට ආවා. අපිට වඩා ඉහළින් ඉන්න කණ්ඩායම් එක්ක තරග කිරීම ම අපට ඉදිරියට එන්න හොඳ අවස්ථාවක්.
අපි මේ වොලිබෝල් තරගාවලියේ පළමු - දෙවැනි ස්ථානවලට ආවොත් ආසියානු වගේ ම ලෝක ශ්‍රේණිගත කිරීම්වලත් ඉදිරියට එන්න අවස්ථාව තියෙනවා. මේවා එක තරගාවලියකින් නතර වෙන්න හොඳ නෑ.
පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට Dialog 4G Home Broadband අනුග්‍රාහකත්වය දක්වන්න විශේෂ හේතුවක් තිබුණ ද?
ඩයලොග් ආයතනයක් විදියට ගත්තොත් අපි හැම වෙලාවෙ ම ක්‍රීඩාව එක්ක ඉන්නවා. ඩයලොග් සන්නිවේදන ජාලය වගේ ම අපි ක්‍රීඩා ජාල හදන්නත් එකතුවෙලා ඉන්නේ. අපි ලංකාවට පළමුවැනි වතාවට 4G ගෙනාවා, පළමු වතාවට ආසියානු වොලිබෝල් තරගාවලියක් ලංකාවට ලැබෙනවා. ඉතින් අපි දෙපාරක් හිතන්නේ නැතුව මෙයට අත දුන්නා.
Dialog 4G Home Broadband ගත්තොත් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ජාතික ක්‍රීඩාව ගත්තත් රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙම බලනකොට ක්‍රීඩාවයි අපේ ජාලයයි එක තැනකට ආවා. ඉතින් අපි හිතුවා මේ ජාතික අවශ්‍යතාවට අත හිත දෙන්න ඕනෑ කියලා තමයි සම්බන්ධ වුණේ.
විශාල මුදලක් අනුග්‍රාහකයන් විදියට ඩයලොග් ආයතනය මේ සඳහා යෙදවීමේ අරමුණු සහ පරමාර්ථ මොනවාද?
අපි අනුග්‍රාහකයන් විදියට ගත්තත්, සමාජය පැත්තෙන් ගත්තත් අපටත් රට ගැන වගකීමක් තිබෙනවා. ක්‍රීඩාව විදියට ගත්තත් වොලිබෝල් දියුණු වෙනවා දකින්න ආසයි.
ක්‍රීඩාව දියුණු වෙනවා නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, රටේ ජනතාවගේ උද්යෝගය උනන්දුව වැඩි වෙනවා නම් ජයග්‍රහණ ලබා ගන්නවා නම් අපි රටක් විදියට ම ආඩම්බර වෙනවා. ක්‍රිකට් - රග්බි - පාපන්දු ගත්තත් මේ වගේ ජයග්‍රහණ දකින්න අපි ආසයි.
Dialog 4G Home Broadband ගැන රටට ම පණිවිඩයක් ෙම් හරහා ලබා දෙන්නත් පුළුවන් වෙනවා. ඒ විදියට බලනකොට මේ හැම දෙයක් ම ගැලපෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු වන්නේත් ඩයලොග්. වොලිබෝල් ගත්තොත් රට පුරා ම ව්‍යාප්ත වෙලා තිබෙනවා. අපට ලෙහෙසියෙන් ම මේ දෙවර්ගයම ජනතාව අතරට රැගෙන යන්න පුළුවන්.
අපේ රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් සම්බන්ධයෙන් මොන වගේ තක්සේරුවක් ද තියෙන්නේ?
අපට හොඳට ඉහළට යන්න පුළුවන් ක්‍රීඩාවක්. අපට ලෝකයේ ඉදිරියට යන්න පුළුවන් ක්‍රීඩාවන් හඳුනාගන්න ඕනෑ. එහෙම ඉදිරියට යන්න පුළුවන් ක්‍රීඩා ඉදිරියට ගන්න ශක්තිමත් වැඩපිළිවෙළක් තියෙන්නේ ඕනෑ.
මම වොලිබෝල් ක්‍රීඩාව ගැන දන්නේ ඉස්කෝලේ යන කාලයේ ඉඳලා. එදාත් වොලිබෝල් ගැන විශාල කතාබහක් තිබුණා. ඊට පස්සේ මේ ක්‍රීඩාව ගැන අහන්න තිබුණේ නෑ. දැන් ආයෙත් මේ වටා ජනතාව එක්රොක් වෙන්න පටන් අරගෙන තිබෙනවා. ක්‍රීඩාව දියුණු වෙලා තියෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළ තලයක ඉන්නවා. මේ තත්වය ආයේ වැටෙන්න දෙන්න හොඳ නෑ. එහෙම වුණොත් ආයෙත් අද ඉන්න තත්වයට එන්න තව අවුරුදු දහයක් විතර යයි. මේ දැන් තියෙන තත්වය වර්ධනය කර ගනිමින් ඉදිරියට යන්න පුළුවන් නම්, තව තවත් පිරිස් මේ වටා එකතු වෙනවා. එතකොට තමයි ක්‍රීඩාවක් දියුණු වෙන්නේ.
ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය පිළිබඳ ක්‍රියාත්මක වන ප්‍රචාරක වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි ගම්පහ මූලික කරගෙන තමයි මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කළේ. අපි මේ වගේ දෙයක් කරයි කියලා කවුරුවත් හිතුවේ නෑ.
අපි ජාතික වශයෙන් කණ්ඩායම වගේ ම ක්‍රීඩාවත් ජනප්‍රිය කරන්න ඕනෑ කියලා හිතලා තමයි මේ ප්‍රචාරක වැඩපිළිවෙළ ගමින් ගමට ගෙනි යන්න තීරණය කළේ. මේ වෙන කොට රට ම ජාතික කණ්ඩායමට සුබ පැතුම් එකතු කරනවා. උතුර - දකුණ වගේ ම නැගෙනහිර - බස්නාහිර විදියට හැමෝම එකතු වෙනවා. ඔවුන් සුබ පැතුම් එකතු කරනවා. මේ වැඩසටහනට පාසල් ළමුන්ගේ පවා විශාල උනන්දුවක් තියෙනවා. ඒක ක්‍රීඩාවේ අනාගතයට හොඳ දෙයක්.
ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ උත්සවයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා ලාංකේය ක්‍රීඩාව සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය දක්වන උනන්දු - කැපවීමට ස්තුති කියන අතර ම කිව්වේ පුද්ගලික ආයෝජන ක්‍රීඩාව වෙනුවෙන් වැඩි වැඩියෙන් ලබා ගන්න ඕනෑ කියලා. මේ කතාව ඇහෙන කොට ඔබට මොනවද හිතුණේ?
අපි විතරක් ම නෙවෙයි අපේ රටේ පුද්ගලික ආයතන රැසක් ම ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් අත දෙනවා. මේ හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව රටේ ක්‍රීඩා දියුණු වෙනවා දකින්නයි. ක්‍රිකට් ගත්තත් ප්‍රධාන අනුග්‍රාහකයා අපි වුණාට, තවත් ආයතන රාශියක් මේ වටා එකතු වෙලා ඉන්නවා. ක්‍රිකට් විතරක් නෙවෙයි ඉදිරියට ගන්න පුළුවන් හැම ක්‍රීඩාවකට ම අත හිත දෙන්න අපි ලෑස්තියි.
අද Dialog 4G Home Broadband අධිවේගි ජාලය හරහා ටැබ් එකෙන්, ලැප්ටොප් එකෙන් ක්‍රීඩා ගැන සියලු තොරතුරු ගෙදර ඉඳල ම දැන ගන්න පුළුවන්. ඒ ලබා ගන්නා දැනුම උපයෝගි කරගෙන ක්‍රියාශීලී ජව සම්පන්න පරපුරක් බිහිකර ගැනීමට ඕනෑ කරන සහායත් ලැබෙනවා.
අනුග්‍රාහකයන් විදියට රටේ සමස්ත ජනතාව වෙත ගෙන යන පණිවිඩය මොකක්ද?
අප වටා එකතු වෙන්න. ජාතික ක්‍රීඩාවට අත හිත දෙමු. ඔවුන්ට සුබ පතමු කියන පණිවිඩය තමයි සමස්තයක් විදියට ජනතාවට කියන්නේ.
ඡායාරූපය - රංජිත් අසංක