
සමනලී ෆොන්සේකා
අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ 'දැවෙන විහඟුන්' සිනමාපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගතවෙමින් පවතී. ඒ නිසාම එහි ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙන සමනලී ෆොන්සේකා මෙවර රසඳුන තුන්වැනි පිටුව 'හිත පිරෙන හීන' හැඩකරන්නට අපි තෝරාගත්තා. මේ අප ඇසූ ප්‍රශ්න 10 ට සමනලී දුන් පිළිතුරුයි.
ආයුබෝවන් සමනලී.
ආයුබෝවන්
මොනවද මේ දවස්වල කරන්නේ.
වැඩ කිහිපයක්ම කළා. ඒවා ඉදිරියට එන්න තියෙනවා. ඇතැම් නිර්මාණ තවමත් රූගත කිරීම් කරගෙන යනවා.
මොනවද එම නිර්මාණ.
සිරස නාළිකාවේ විකාශය කරන ලලිත් රත්නායකගේ 'තාත්තා', මාලක දේවප්‍රියගේ 'බහුචිතවාදියා', චින්තන ධර්මදාසගේ 'ඇවිළෙන සුළුයි', රංජන් ප්‍රියන්තගේ 'විසංයෝගය', බූඩි කීර්තිසේනගේ 'රිකිදින්'චිත්‍රපටය සහ'රූමස්සල' ටෙලිනාට්‍යය එම නිර්මාණයි.
දැවෙන විහඟුන් සිනමා පටය පසුගියදා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා. එහි ඔබ රංගනයේ යෙදෙන චරිතය කෙබඳුද?
88, 89 යුගයේදි මෙරට ඇතිවු භීෂණයෙන් අහිමි වු ජීවිතවල පවුල්වල ඇතිවූ ඛේදවාචකය තමයි මෙම චිත්‍රපටයේ කතා තේමාව. එහි මම නිරූපණය කරන්නේ පියා අහිමි වු පවුලක ලොකු දුවගේ චරිතය.
එහෙනම් සමනලී ලෑස්තියිද අපේ ප්‍රශ්නවලට උත්තර බඳින්න.
මාව අමාරුවේ දාන ප්‍රශ්නනම් අහන්න එපා. මම ඒවට කැමැති නෑ.
ඔබ රංගනයට පිවිසෙන්න පවුල් පසුබිම බලපෑවාද?
මගේ නැන්දා මාලනී ෆොන්සේකා. ඇය ගැන මේ රටේ සියලු දෙනාම දන්නවා. ඇයගේ ආභාසය මා රංගන ශිල්පිනියක වීමට බලපෑවා වගේම මටත් පුංචිකාලයේ සිටම රංගන ශිල්පිනියක වීමේ හීනය තිබුණා.
රංගනයට යොමු නොවුණා නම් සමනලී කවුරු වෙයිද?
අවුරුදු පහෙන් පළමුවරට කලාවට සම්බන්ධවුණේ.ඉන් පසු 1998 සිට දිගටම රංගනය මගේ වෘත්තිය වුණා.
දේශපාලනයට සම්බන්ධ වුණානම් ?
අපෝ කතාකරන්න එපා අපේ රටේ දේශපාලනය ගැන. ඒක කුණු ගොඩක්. ඒ කුණු ගොඩට වැටෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.
රංගන ශිල්පිනියක වීමෙන් මොනවද ලැබුණේ.
ගොඩක් දේවල් ලැබුණා. ජීවිතය පුළුල් වුණා. යමක් දිහා පුළුල් ලෙස බලන්න පුරුදුවුණා. සම්මාන , මුදල් වලට වඩා ගොඩක් දේවල් ලැබුණා.
එහෙනම් ඇයි කලක් රංගනයෙන් ඈත්වෙලා විදෙස්ගත වුණේ?
ලංකාවේ කලාව කරන්න අමාරුයි කියලා හිතුණා. ඒ කාලයේ අපේ කලාව මෙගා රැල්ලට ගසාගෙන ගිහින් තිබුණේ. නැවතත් කලාවේ හොඳ තත්වයක් ඇතිවන ලකුණු පෙනුණු නිසා ලංකාවට ආවා.
ලංකාවෙ ඉපදුණේ නැත්නම්.?
ලංකාවේ ඉපදුණේ නැත්නම් වෙන කොහේ හරි රටක ඉපදෙයි.
ලංකාවට අමතරව කැමැති වෙනත් රටක් තියෙනවද?
මම කලක් විදේශගත වෙලා සිටි කෙනෙක් නිසා අත්දැකීමෙන් කියන්නේ මම කැමැතිම රට ලංකාව. අපි බද්ධවෙලා සිටින්නෙ මේ රටත් එක්ක. අපේ රටට, අපේ ජාතියට මේ රටේ අනන්‍යතාවක් තියෙනවා. ඒක නිසයි මම මගේ රටට කැමැති.
ලෝකෙ වටේ යන්න ලැබුණොත්.
එහෙම ලැබුණොත් ලෝකෙ තියෙන හැම රටකටම යන්න කැමැතියි. මොකද හැම රටකම ඒ ඒ රට වලට වෙන්වූ සුවිශේෂි ස්ථාන සහ සංස්කෘතීන් තිබෙනවා. ඒවා දකින්න සහ නරඹන්න කැමැතියි.
ජීවිතයේ ඉලක්කයක් තියාගෙනද වැඩ කරන්නේ.
මගේ ජීවිතේ ඉලක්ක නෑ. ඒ ඒ අවස්ථාවට උචිත ලෙස වැඩ කරනවා. ඒ අවස්ථාවට හොඳම විදිහට තීරණ ගන්නවා.
පෙනුම වෙනස් කරන්න ලැබුණොත්..
මම කැමැතියි මගේ පෙනුමට.
රංගනය වෙනුවෙන් සම්මාන බලාපොරොත්තු වෙනවද?
අපෝ නෑ. සම්මාන ගැන බලාපොරොත්තුවක් නෑ. හොඳ නිර්මාණයක් ලැබුණොත් එම චරිතයෙන් යමක් කරන්න පුළුවන්නම් විතරක් භාර ගන්නවා. නමුත් මගේ රංගනය වෙනුවෙන් විවිධ සම්මාන මට මේ වනවිට ලැබී තිබෙනවා.
නයනා වෑත්තෑව
ඡායාරූප - ශාන් රූපස්සර