
ජයලාල් රෝහණ ගොන්ඩෝලා අරන් රටවටා
ජයලාල් රෝහණ කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම නාට්‍ය හා රංගන කලාව දරුවන්ට කියා දෙන දක්ෂ ගුරුවරයෙක්. එහෙත් ඔහු පහුගිය කාලයේ නම් ටෙලි නාට්‍ය වලින් දකින්න ලැබුණේ ම නැහැ. ඒ ගැන ඇහුවම ජයලාල් රෝහණ මහත්තය නම් කිව්වේ රගපාන්න තරම් හොඳ නාට්‍ය මේ දවස්වල හැදෙන්නේ නැහැ කියලා.
‘‘මම 1987 ඉදලා උසස් පෙළ දරුවන්ට නාට්‍ය හා රංග කලාව උගන්වනවා. ඒ නිසා මම රඟපාද්දි හරවත් වගේම ගුණාත්මක නාට්‍ය තෝරගෙන තමයි රඟපාන්නේ. ඊට අමතරව මට ‘මිස් ජෙනී‘ චිත්‍රපටයෙත් රඟපාන්න අවස්ථාව හිමි වුණා. ඒ වගේම මම නිර්මාණය කළ ‘ගොන්ඩෝලා‘ වේදිකා නාට්‍යයත් අරන් රට පුරා යනවා. පසුගිය 23 වැනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයේදී වේදිකාගත කළා.
පූරි සමඟ දමිතා යළිත්
දමිතා අබේරත්න කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය නිළියක්. පසුගියදා නිමා වුණ සල්සපුනා නාට්‍යයෙන් පස්සේ රනිල් කුලසිංහගේ ‘පූරී ‘නාට්‍යයෙන් යළි රසිකයන් හමුවට දමිතා ඇවිත්. ඒ නිසා අපි දමිතාට කතා කළා. දමිතා කොහොමද මේ දවස්වල වැඩකටයුතු? ‘‘ වරදක් නැහැ. අපේ ප්‍රවීණ ශිල්පිනියක් වන ලක්ෂ්මි දමයන්ති මහත්මිය ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ඇවිත් ඉන්නවා. එතුමිය අලුත් වැඩකට අතගහන්න සූදානමින් ඉන්නේ. ඒ ගැන කතා බහ කළා. ඒ වගේම ‘වර්ණ‘ රූගත කිරීම් අවසන් කළා. එය මම දකින්නේ කාලෙකට පස්සේ එන හොඳ නිර්මාණයක් විදියටයි. ඒ විතරක් නෙවෙයි අතිශයෙන් ජනප්‍රිය වුණ බට්ටි ටෙලි නාට්‍යයත් නැවත විකාශය වෙමින් තිබෙනවා. තව වැඩ කිහිපයක්ම කරලා තිබෙනවා ඒ දේවල් ඉදිරියේ දී විකාශය වේවි.‘‘
මිහිර බාල සමාගමක වැඩ
‘‘අජිත් ලොකුගේයි, වසන්ත දුග්ගන්නාරාළයි මමයි එකතු වෙලා බාල සමාගම කියල වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. එහි මංගල දර්ශනය වේදිකා ගත කරන්න ඉන්නේ එළඹෙන 03 වැනිදා. පවුලේ හැමෝටම එකතුවෙලා නරඹලා විනෝද විය හැකි නාට්‍යයක් වේවි කියලා මම හිතනවා.‘‘ මෙහෙම කිව්වේ මිහිර සිරිතිලක. මිහිර කිව්වම ඕනෙම කෙනෙක් දන්නවා. මොකද මිහිර ඉන්න තැන රස සාගරයක් නිසා. වත්මන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙන මිහිරි ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රැසක වැඩ කරමින් ඉන්න නිසා කාර්ය බහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. කෝ කුක්කෝ, නරි බුරති විතරක් නෙවෙයි වේදිකා නාට්‍ය රැසක් එක්ක රට වටේ යනව කියලයි මිහිරි කිව්වේ.
සරත් වේදිකා නාට්‍යත් එක්ක
හෙලෝ සරත් කෝතලාවල මහත්මයා. ඔව් කතා කරනවා. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ?, මම ඩ්‍රයිව් කරන ගමන්. විනාඩියක් දෙන්න අයින් කරගන්නකම්. ඉතින් කියන්න. ෂූටින් යන ගමන්ද ? නැහැ. මමයි කුමාර තිරමාදුරයි අලුත් ෂෝ එකක් කරන්න ලොකේෂන් බලන්න යන ගමන්. මොකක් ද ෂෝ එක. නිව්ස් පේපර් කියලා. එතකොට මොනවද මේ දවස්වල විකාශනය වන අලුත් දේවල්. ඒ වගේම සාරිගප්පි කියලා චිත්‍රපටයක් කළා. සිරසේ උදුම්බරා කියල වැඩක් පටන් ගත්තා. ඊට අමතරව නරි බුරති, කෝ කුක්කෝ. ජයසිරිට පිස්සු, ඒකා සාක්කුවේ වේදිකා නාට්‍යත් එක්කත් රට වටේ යන ගමන්. ඒ වගේම වැඩ කිහිපයක් කළා. ඒවත් ඉදිරියට එන්න තිබෙනවා.
මිෂෙල් නිවේදිකාවක් වෙයි
සිරස රූපවාහිනියේ විකාශනය වූ සල්සපුනා ටෙලි නාට්‍ය ඔස්සේ රංගනයට එක් වූ මිෂෙල් දිල්හාරා සිරස ඔස්සේ විකාශය වෙන සික්ස්ටීන් ප්ලස් ( 16 + ) වැඩසටහනෙන් නිවේදිකාවක් ලෙසද කලඑළි බැස ඇත. පළමු ටෙලි නාට්‍යයෙන්ම ජනප්‍රියත්වයට පත් ඇය මේ වන විට තුත්තිරි, දංකුඩ බණ්ඩා නාට්‍ය වලද රංගනය නියැළෙමින් සිටී. මීට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ඇය සම්බන්ධ වී ඇති අතර එම නිර්මාණ ඉදිරියේ දී දැකගන්නට හැකි බව ඇය පැවැසුවාය. ‘‘ මම රසිකයන් අතරට රංගන ශිල්පිනියක් ලෙස ආවේ සිරස රූපවාහිනියේ විකාශය වුණු සල්සපුනා හරහා. ඒ වගේම නිවේදිකාවක් ලෙසත් දක්ෂතා දක්වන්න ඉඩකඩ ලැබුණේ සිරසෙන්. ඒ මා ලැබූ වාසනාවක් ලෙසයි මම දකින්නේ.‘‘