නොබෝ දින­කින් යාත්‍රා කරන මහ සයුරේ මාලි­ගාව Norwegian Bliss | සිළුමිණ

නොබෝ දින­කින් යාත්‍රා කරන මහ සයුරේ මාලි­ගාව Norwegian Bliss

දිනෙන් දින සංකීර්ණ වන සමාජයේ අපේ අවශ්‍යතාවන්ද සංකීර්ණ වෙනවා. මීට වසර කිහිපයකට පෙර දුරකතන ඇමතුම් ලබා ගැනීමට පමණක් භාවිතා කළ ජංගම දුරකතන දැන් පැමිණෙන්නේ විවිධාකාර වූ පහසුකම් රැසක් සමඟයි. ඒ ආකාරයෙන් සෑම නිෂ්පාදනයක්ම තම පාරිභෝගිකයන්ව ග්‍රහණය කර ගැනීමට අමතර දෑ තම නිෂ්පාදනවලට එක් කරනවා. මේ අතරින් මගී නෞකා විශේෂ වන්නේ ඒවා අතර තිබෙන දැඩි තරගය නිසා. ඉතා සුපිරි පහසුකම් සහිතව මෙම නෞකා නිෂ්පාදනය කිරීම නිසාම මේවා නෞකා නොව පාවෙන නගර පාවෙන මාලිගා බවට පත් වෙමින් තිබෙනවා.

මේ අතරට අලුතෙන්ම එක් වූ නෞකාව වන්නේ Norwegian Bliss නෞකාවයි. මෙහි අයිතිය ඇත්තේ නෝර්වීජියානු සමාගමකටයි. ජර්මනියේ කර්මාන්ත ශාලාවක නිමැවුණු මෙම නෞකාව තව නොබෝ දිනකින් ඇමරිකාවේ ඇල්ස්කාව බලා තම මංගල ගමන යාමට නියමිතයි.

මීටර 329.80ක දිගින් යුතු අතර මිනිසුන් රහිතව මෙහි බර ටොන් 168,028ක් වනවා. තට්ටු 20කින් යුතු මෙහි කාමර 2038ක් ඇති අතර මගීන් 4000කට මෙහි ගමන් කිරීමට හැකි ලෙස මෙය තනා තිබෙනවා. මෙම නෞකාවේ තිබෙන වඩාත්ම කැපී පෙනෙන අංගය වන්නේ Go Kart ක්‍රීඩා කළ හැකි ධාවන පථයයි.

තට්ටු දෙකක් පුරා විහිදී තිබෙන මෙම රේසිං ධාවන පථය මහ සයුර මැද විශේෂ විනෝදාස්වාදයක් ලබා දෙනු නොඅනුමානයි. මෙම රේසිං පථයට නොදෙවැනි අනික් ආකර්ෂණය වන්නේ ලේසර් තුවක්කු ක්‍රීඩා කළ හැකි ස්ථානයයි. හමුදා ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන පිරිස සඳහා නිර්මාණය කර තිබෙන මෙම ස්ථානය අභ්‍යවකාශයේ තිබෙන යානයක් තුළ අතුරුදන් වූ මිනිසුන් සෙවීම පසුබිම් කර නිර්මාණය කර තිබෙන්නේ. සැබෑ අභ්‍යවකාශ යානයක් තුළ ක්‍රීඩා කරනවා වැනි හැඟීමක් මෙමගින් ලබා දීමට නියමිතයි.

මීට අමතරව සංගීතය රස විඳීමට කැමැති පිරිස සඳහා ස්ථාන බොහොමයක් තිබෙන්නේ සජීවී සංගීත ප්‍රසංග සමගයි. මේ අතරට රාත්‍රී සමාජ ශාලා හා තැබෑරුම්ද එක් වන අතර කැසිනෝ ස්ථානයක් පවා මෙහි තිබෙනවා. ආපනශාලා, අවන්හල් වැනි ස්ථාන ඉතා විශාල ප්‍රමාණයක් තිබෙන අතර මේවා අතරින් සමහර ඒවා දර්ශනීය ලෙසින් නිර්මාණය කර තිබෙන්නේ මහ සයුරේ අත්දැකීම ඉතා රසවත් කිරීමටයි. මීට අමතරව නිදහසේ කාලය ගත කිරීමට ප්‍රිය කරන පුද්ගලයන්ට ඒ සඳහාද පහසුකම් හා ස්ථාන මෙහි දකින්නට ලැබෙන්නේ නෞකාව තුළ සිටම මහ සයුරේ අසිරිය විඳ ගැනීමට හැකි වන ලෙසයි.

මෑතකදී මගී නෞකාවල දකින්නට ලැබුණු ජල ක්‍රීඩා උද්‍යාන මෙම නෞකාවේත් දකින්නට හැකියාව ලැබේ. ත්‍රාසජනක අත්දැකීමකට ප්‍රිය කරන්නන් හට දිය ලිස්සනය තුළින් ගමන් කිරීමට හැකි අතර එය නෞකාවෙන් පිටතට පැමිණෙන ලෙසින් සකසා තිබෙන්නේ එහි තිබෙන ආශ්වාදය වැඩි කිරීමටයි. කුඩා දරුවන්ටද ක්‍රීඩා කළ හැකි ආරක්ෂාකාරී කුඩා ජල ක්‍රීඩා උද්‍යානයක්ද මෙහි සාදා තිබෙන්නේ වඩාත් ආකර්ශනීය කිරීමටයි.

 

 
 

Comments