
මියුරු සංගීත රාවයක රසය විඳගනිමින් ම ප්‍රවීණ වයලීන වාද්‍ය ශිල්පියකු සහ සංගීත අධ්යක්ෂවරයකු වන විශාරද උදිත රුවන් විජේරත්නගේ රාගම පිහිටි නිවසට අපි ඇතුළු වුණෙමු. වයලීනය පසෙකින් තැබූ ඔහු අප හා පිළිසඳරට එක්විය.
මගේ ජීවිතයේ පදනම ගොඩනැඟුවේ අම්මයි, තාත්තයි, මව, සෝමලතා විජේරත්න ගුරුවරියක්. පියා, එස්.එච්. විජේරත්න පරිපාලන නිලධාරිවරයෙක්. ඒ පදනම මගේ වෘත්තීය ජීවිතයටත් විශාල ශක්තියක් වුණා වගේ ම මගේ අක්කාගෙන් නංගීගෙන් සහ මල්ලිගෙන් අද දක්වාම ලැබෙන සහාය අගය කරනවා. මගේ ගම කටුගස්තොට. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් ඊළඟට ගැටඹේ සරසවි උයන විදුහල. උසස් පෙළ කිරීමට මම නැවතත් විද්‍යාර්ථ විද්‍යාලයට ම ඇතුළු වුණා. මම මුලින් ම සප්ත ස්වරය ඉගෙන ගත්තේ අලහකෝන්. ගුරුතුමාගෙන් විද්‍යාර්ථ විද්‍යාලයේ මගේ සංගීත ගුරුතුමා වුණේ ඒකනායක සර්, එම්.ජී. සුගතදාස, නිහාල් විජිත අමරසිංහ, අසෝක ජයවර්ධන, ලක්ෂ්මන් ද සේරම් ගුරුතුමන්ලාගෙනුත් මම සංගීතය හැදෑරුවා.
මුලින් ම වයලීන වාදනය ඉගෙන ගත්තේ විද්යාර්ථෙදී ඒකනායක ගුරුතුමාගෙන්. විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ සංගීත විෂයයට ‘A’ සාමාර්ථයක් ලැබූ පළමු ශිෂ්‍යයා වුණෙත් මම...”
උදිතගේ සංගීත ජීවිතයේ සන්ධිස්ථානයක් සනිටුහන් වූයේ උසස් පෙළ නිමකර ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධවීමත් සමඟය.
“බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයේදී මට විශාරද නිහාල් ගම්හේවා ගුරුතුමා හමුවුණා. එතැන තමයි මගේ සංගීත ජීවිතයේ සන්ධිස්ථානය. ගම්හේවා සර්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. 1989 දී විතර, සර්ගේ මඟ පෙන්වීම යටතේ මට ක්ෂේත්රයේ දැවැන්තයන්, ප්‍රවීණයන් සමඟ කටයුතු කිරීමටත් අවස්ථාව ලැබුණා. බෙල්වුඩ් එකේ අධ්‍යාපනය ලබමින් භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාගයට පෙනී සිටි පළමු ශිෂ්‍යයාත් මම. මේ විභාගයෙන් මම ඉහළම සාමර්ථයක් ලැබුවා. ඉන් පසුව එම ආයතනයේම සංගීත උපදේශකවරයෙක් හැටියට අට අවුරුද්දක් සේවය කළා. ඒ කාලය තුළ දක්ෂ සිසු පිරිසක් බිහි කිරීමට හැකිවීම මට විශාල සතුටක්...”
1989 දී ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ගේ ‘තවත් උදෑසනක්’ ළමා නාට්‍යයට වාදනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබුණා. එය තමයි මගේ පළමු රූපවාහිනී වැඩසටහන වුණෙත්. එතැන් පටන් වාද්‍ය ශිල්පියකු ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ පටන් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, කපිල පූගලආරච්චි, සුමිත් ප්‍රියංකර, ජයන්ත රත්නායක, සුරේෂ් මාලියද්දේ, සමන්ත පෙරේරා, දිනේෂ් සුබසිංහ, මහේෂ් දෙණිපිටිය, නදීක ගුරුගේ, කසුන් කල්හාර ජයවර්ධන ආදී සංගීත අධ්යක්ෂවරු සමඟ කටයුතු කිරීමට ලැබුණා. මගේ සංගීත ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස වික්ටර් රත්නායකයන්ගේ ‘ස’ ප්‍රසංගයට වාද්‍ය ශිල්පියකු ලෙස දායකවීමට ලැබුණු අවස්ථාව මම සලකනවා. ප්‍රසංග රාශියකටම මම සම්බන්ධ වුණා. චිත්‍රපට 50 කට වැඩි ප්‍රමාණයකටත්, ටෙලිනාට්‍ය 300 කට වැඩි ප්‍රමාණයකටත් මේ වනවිට මම වාද්‍ය ශිල්පියකු ලෙස දායක වී තිබෙනවා. වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධවූ සජීවී රූපවාහිනී ප්‍රසංග දහස් ගණනක් විශේෂයෙන් දෙරණ රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනියේත් වැඩසටහන්වලට මම නිතර එක්වෙනවා...”
විදේශ ප්‍රසංග රැසකට ද ඔහු සහභාගිවී තිබේ. සිය සංගීත ජීවිතයට ගුවන් විදුලියෙන් ලද පිටුබලය ද ඔහු විශේෂයෙන් සිහිපත් කරයි.
“ජාතික තරුණ සේවා සභාව හරහා ගුවන් විදුලියේ (SLBC) ගීත නිර්මාණ වැඩසටහන්වලට සම්බන්ධවීමට මට අවස්ථාව ලැබුණා. එහිදී ප්‍රවීණ ගී පද රචක සුනිල් ආර්. ගමගේ ඉතාම සහෝදරත්වයෙන් මගේ නිර්මාණ ජීවිතයට ලබාදුන් සහාය මම කෘතවේදීව සිහිපත් කරනවා...”
“ගම්හේවා සර් එතුමාගේ ගීතවලට සංගීත සංයෝජනය කිරීමට පවා මට අවස්ථාව ලබාදුන්නා. ඔහුගේ නිර්මාණ, පද රචනා ගැන විචාර පවා සිදු කිරීමට අපට ඉඩ සැලසුවා. මේවා අපට විශාල අත්දැකීම් වුණා...”
“මගේ සමීප මිත්‍රයකු වන ප්‍රසිද්ධ ව්‍යාපාරික දුල්මිණි මාධව මාරසිංහ මහතාගෙන් මට ලැබෙන සහයෝගය හා පිටුබලය ගැනත් මම මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුයි.” විශාරද උදිත විජේරත්න වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සංගීත ආචාර්යවරයකු වශයෙන් සේවය කරයි. සිය වෘත්තීය ජීවිතයේදී මෙන් ම නිර්මාණ කරණය සඳහා විදුහල්පති මාල් වර්ණ ශාන්ත පියතුමාගෙන් ලැබෙන සහයෝගය ඔහු සිහිපත් කරන්නේ ගෞරවයෙනි.
“මේ වනවිට පාසලෙන් දක්ෂ ශිල්පීන් ගණනාවක් ම ක්ෂේත්රයට එක් කිරීමට හැකිවීම ගැන සතුටු වෙනවා. පාසලට ජයග්‍රහණ දිනා දීමට ඒ සිසුන්ට හැකිවුණා...”
පාසලෙන් පරිබාහිරවත් දක්ෂ සිසුන් රැසක් සංගීත ක්ෂේත්රයට දායාද කිරීමට ලැබීම ගැන මං සතුටු වෙනවා. ඔවුන්ගේ අනාගතය ගැන මා තුළ ඇත්තේ සුබවාදී අපේක්ෂා. පසුගිය අවුරුද්දේ (2017) අපේ පාසලේ ශිෂ්‍යයකු වන තිසර අනුසර හේරත් පුතාගේ ‘සඳට කියන සඳ’ සංයුක්ත තැටිය එළිදැක්වූවා. එම ගී පද මාලා සියල්ල රචනා කළේ අපේ පාසලේ ම ආචාර්යවරයකු වන කීර්ති අසෝක. එම සියලු ගීතවල සංගීත අධ්‍යක්ෂණය කළේ මම. එය මගේ සංගීත අධ්‍යක්ෂණයෙන් පමණක් සංයුක්ත තැටියක් එළි දැක්වුණු පළමු අවස්ථාවයි.”
මෙහිදී උදිත ගේ දයාබර බිරිය තිසරු එදිරිසිංහ ද පිළිසඳරට එක්විය. ඇය ද විශාරදවරියකි. ක්ෂේත්රයේ නියැළී නොසිටියද දක්ෂ ගායන ශිල්පිනියකි.
“මගේ ජීවන සහකාරිය තිසරු මට හමුවුණෙත් බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයේදී. ඇයත් විශාරදවරියක්, දක්ෂ ගායිකාවක්. ක්ෂේත්රයේ ක්‍රියාකාරීව නොසිටියත් මගේ සංගීත ජිවිතයට ඇයගෙන් ලැබෙන්නේ විශාල පිටුබලයක්. මගේ නිර්මාණ මුලින්ම රස විඳින්නෙත් ඇය සහ අපේ පුතා. මම සහභාගි වන වැඩසටහන් ගැන ඇයගේ විචාර මට ඉතාමත් ප්‍රයෝජනවත්...”
සංගීතඥයකු සිය සැමියාවීම ගැන සිතන්නේ කුමක්දැයි අපි ඇයගෙන් ඇසුවෙමු.
“සංගීතඥයෙක් මගේ සැමියාවීම ගැනත්, ඔහු වැනි අයෙක් අපේ පවුලට සම්බන්ධවීම ගැනත් මම ගොඩක් සතුටුවෙනවා. මට හැකි උපරිමයෙන් ඔහුගේ කටයුතුවලට මම සහාය වෙනවා...”
උදිත - තිසරු යුවළගේ පුතු සසිඳු විජේරත්න ද සංගීතයට දක්ෂයෙකි. ඔහු උසස් පෙළ හදාරයි.
“පුතාට සංගීතයට සහජ කුසලතාවක් තියෙනවා. මගේ සහ බිරියගේ සංගීතයට ඇති ඇල්ම සහ දැනුමත් හැකියාවත් ඔහුට බලපාන්නට ඇති. පුතාත් වයලින් වාදනයට වඩාත් දක්ෂයි. 2014 වසරේදී වයලීන වාදනයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ ලැබුවා. පුතා ගිටාර් වාදනයත් හදාරනවා. ගායනයටත් දක්ෂයි. ඔහුට හොඳ රසවින්දනයක් තිබීම මං හුඟක් අගය කරනවා. පුතා අවරගණයේ ගීතවලට රුචියක් දක්වන්නේ නෑ...”
සංගීතඥයකු ලෙස සිය නිර්මාණ ජීවිතයේ අනාගත අපේක්ෂා ගැන විමසූ අපට විශාරද උදිත රුවන් විජේරත්න ප්‍රතිචාර දැක්වූයේ, ටෙලිනාට්‍ය නිර්මාණයක හෝ චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය සඳහා ඉතා කැමැත්තෙන් සිටින බව පවසමිනි.
සේයාරූ - ශාන් රඹුක්වැල්ල