
මේ දිනවල තිරගත වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදනය කළ ‘බිම්බා දේවී හෙවත් යශෝධරා‘ චිත්‍රපටයේ යශෝධරා චරිතය නිරූපණය කරන භාරත නිළි පල්ලවී සුභාෂ් චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගිවීමට ලංකාවට පැමිණියා. චරිත නිරූපණයෙන් පසුව පළමුවරට තමන්ගේ රංගනය දුටු පල්ලවී යශෝධරා චරිතය පිළිබඳව දැක්වූ ප්‍රතිචාර දැනගන්නට පල්ලවී හමුවී ඒගැන විමසන්නට අපට අවස්ථාව ලැබුණා. එහිදී යෙදුණු පිළිසඳරේදී ඇය දැක්වූ ප්රතිචාරයයි මේ.
පල්ලවී ඔබ යශෝධරා චිත්‍රපටයේ කළ රංගනය දැක්කාම මේ චරිතය දැනුණේ කොහොමද?
මම මේ චිත්‍රපටය දැක්කේ ඊයේ මංගල දර්ශනයේදි. මා සමඟ මගේ මවත් චිත්‍රපටය නරඹන්නට පැමිණියා. එහිදී මම හරිම හැඟුම්බර වුණා. ඇත්තෙන්ම කියනවා නම් මම මේ චිත්‍රපටයට හදවතින්ම ආදරෙයි. ඒ වගේම මට කියන්න බැරිතරම් සතුටුයි.
මේ චිත්‍රපටය නරඹන්නට පැමිණ සිටි සියලුම දෙනාම මට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් සුබ පැතුවා. එය හරිම ආඩම්බරකාරී මොහොතක් වුණා මට මොකද ඒ අය මගේ හැකියාව ඉහළින්ම අගය කළා. අවසානයේ මම බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය ලැබුණා.
ඔබ නිරූපණය කළ යශෝධරා චරිතය දැනෙන්නේ කොහොමද?
මේ චරිතය මටම අභියෝගයක් වුණා. මම පළමුවරට සුනිල් සර් ඇතුළු කණ්ඩායම මුණගැසුණාම මගේ පළමු ප්‍රතිචාරය වුණේ ‘‘වාව්‘‘ කියන එකයි. මොකද මම භාෂාව දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳව මීට පෙර දැනගෙන හිටියේ නැහැ. මම මෙහි නිෂ්පාදන කණ්ඩායම මුණ ගැසුණාම ඒ අය මට පැහැදිලි කළා මේ චිත්‍රපටය ගැන සහ මෙහි අධ්යක්ෂවරයා කවුද මේ චරිතයෙන් කියැවෙන්නේ කොයි වගේ කෙනෙක්ද ගැනද කියලා. ඒත් ඒ මොහොතේ මට මේ ගැන එතරම් හොඳ අදහසක් තිබුණේ නැහැ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ගැන වගේම මේ චිත්‍රපටය පිළිබඳවත්. පසුව මම අවබෝධ කරගත්තා යශෝධරා චරිතය හරිම ප්‍රබල ඒ වගේම හරිම නිවුණු, තැන්පත් එකක්.
භාෂාව පවා නොදැන ඔබ කොහොමද මේ චරිතය මේ තරම් සාර්ථකව නිරූපණය කළේ.
මම මේ පිරිස පළමුවරට මුණ ගැසුණාම, විශේෂයෙන් සුනිල් සර් මුණ ගැසුණු අවස්ථාවේ මේ චරිතය ගැන කිව්වා.ඒ වගේම සුනිල් සර්ගේ එකම සහ පළමු තේරීම මම කියන එක දැනගත්තාම ඒ මෙහොතේ ඇත්තටම මම පුදුම වුණා මේ අය කොහොමද මාව හොයාගත්තේ කියලා. ඉන්පස්සේ මෙහි රූගත කිරීම් වලට පෙර වැඩමුළු කිහිපයක් තිබුණා. එහිදී අවබෝධය ලබාදුන්නා භාෂාව ගැන. ඉතින් රූගත කිරීම් වලට පෙර මම හොඳ අවබෝධයක් ලබා ගත්තා මේ චරිතය මම කොහොමද රඟපාන්නේ කියලා. ඊට පස්සේ මම ඒ වැඩමුළු සම්පූර්ණ කළා. ඒක මට ගොඩක් උපකාරී වුණා. ඊයේ මම මේ චිත්‍රපටය දකින තුරු මම හිටියේ තරමක බියකින්. ඊයේ තමයි මට ඇත්තටම සිතට සැනසීමක් දැනුණේ.
ඔබ මේ චරිතය රඟපාන්නට පෙර ඒගැන හැදෑරීමක් කළාද?
ඔව්. මම ගොඩක් පොත් කියෙව්වා. ඒවා ගොඩක්ම හින්දියෙන් ලියූ පොත්පත්. ඒ වගේම මෙහි වැඩමුළු වලට සහභාගීවුණා. ෂූටින් වලට කලින් මම යශෝධරා චරිතය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන තමයි ආවේ.
මෙහි අධ්යක්ෂ සුනිල් ආරියරත්නයන් ගැන මොනවද ඔබ සිතන්නේ.
ඇත්තටම මම මීට පෙර මේ වගේ දැවැන්ත චරිතයක් රඟපාලා තිබුණේ නැහැ. එහෙත් සුනිල් සර් ඒ සඳහා මාව තෝරාගෙන තිබුණා. සුනිල් සර් මා ගැන විශ්වාසය තබා තිබුණා මම මේ චරිතය හරියටම කරයි කියලා. එය ඔහුගේ නිවැරැදි තෝරාගැනීමක්. ඇත්තටම ඔහු විශිෂ්ට ගනයේ අධ්යක්ෂවරයෙක්.
ඔහු මට පූර්ණ නිදහස දුන්නා මට නිදහසේ මේ චරිතය කරන්න. ඒ වගේම මේ චරිතය ගැන අපි ගොඩක් සාකච්ඡා කළා.
ඊට පස්සේ තමයි මම හොඳ අවබෝධයක් ලබාගත්තේ මේ චරිතය කොහොමද කරන්න ඕන කියලා.
ඒ වගේම මම කැමැතියි රඟපාන විට මගේ මුහුණේ සැබෑ ස්වරූපයෙන්ම පෙනී සිටින්න. ඒ වගේම මට මේ චරිතයේදි අඬන්න ග්ලිසරින් ඕන වුණේ නැහැ. මම පුරුද්දක් විදිහට සෙට් එකේ ග්ලිසරින් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මට කිසියම් කාලයක් අවශ්‍යයයි ඊට අනුගත වෙන්න.
ඇත්තටම සුනිල් සර් එය හොඳට අවබෝධය කරගෙන තිබුණා. ඒ වගේම ඒකට සතුටු වුණා. ඒ නිසාම මට අවශ්‍ය කාලය ලබා දුන්නා. ඒ වගේ අවස්ථාවලදි මට චොකලට් පවා දුන්නා නිදහසේ මට කාලය ගන්න. ඇත්තටම අපි වැඩකළේ පවුලේ අය වගේ. මෙය ඔහුගේ 22 වැනි චිත්‍රපටය. ඔහු විශාල අත්දැකීම් ඇති කෙනෙක්. මට මගේ රංගන ජීවිතයේ හමුවුණු සුවිශේෂී අධ්යක්ෂවරයෙක් ඔහු. මමත් වාසනාවන්තයි ඔහු වැනි ප්‍රවීණ අධ්යක්ෂවරයකු යටතේ රඟපාන්න ලැබීම. ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීමත් මට ලොකු ගෞරවයක්.
ඔබ මීට පෙර රඟපා ඇති චරිත සමඟ යශෝධරා චරිතය සංසන්දනය කළහොත්.
මෙය සැබැවින්ම මගේ රංගන ජීවිතයේ මට නිරූපණය කළ අසීරුම චරිතය කිව්වොත් නිවැරැදියි. ඒ මොකද යශෝධරා චරිතය රඟපෑම හැම වෙලාවෙම මට අභියෝගයක් වුණා.
මෙහි කතා කරන්න ඕන භාෂාව වෙනස්. වැඩ කරන පිරිස වෙනස්. චරිතය වෙනස් මේ වගේ ගොඩක් දේවල් නිසා ඇත්තටම මේ චරිතය මට ජීවිතයේ ලොකුම අභියෝගය වුණා.
වෙනස් භාෂාවකට අනුව කතා කිරීමේ අභියෝගය ඔබ ජයගත්තේ කොහොමද?
මට මේ පිළිබඳව පැහැදිලි කරන්න පිරිස හිටියා. ඒ වගේම හැම දෙබසක්ම හින්දියෙන් බෝඩ්වල ලියලා තිබුණා. මම ඒවා බලාගෙන තමයි දෙබස් කිව්වේ.
රංගන ශිල්පිනියක ලෙස ඔබට වඩාත්ම ලෙහෙසි බොලිවුඩ් චිත්රපටද, මරාතිද සිංහලද?
රංගන ශිල්පියකුට තමන් රඟපාන්නේ බොලිවුඩ්ද, හොලිවුඩ්ද, මරාතිද, සිංහලද කියන දේ වැදගත් නැහැ. අවශ්‍ය වන්නේ තමන් කරන චරිතය සියයට සියයක් සාර්ථකව ඉදිරිපත් කිරීම පමණයි.
සිද්ධාර්ථ කුමරා සහ යශෝධරා කුමරියගේ ආදරය සංසාරගතව එන සැබෑ ආදරයක්. ඔබ මෙය දකින්නේ කොහොමද?
ඇත්තටම ඒක හරිම පුදුමයි. මම පෙර ආත්ම වල මේ දෙදෙනා ඉපදී සිටියා කියන එක දැනගෙන හිටියේ නැහැ. සුනිල් සර් මට ඒ ගැන පැහැදිලි කළාම තමයි මම දැනගත්තේ.
ඔබ වඩාත් කැමැති රාණි ධර්මා චරිතයටද? යශෝධරා චරිතයටද?
මම මේ චරිත දෙකටම කැමැතියි. මොකද මේ චරිත දෙකම මට ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම මේ චරිත දෙකම මගේ හදවතට දැනුණු දෙකක්.
ලංකාව සහ ලංකාවේ ජනතාව ගැන මොකද හිතෙන්නේ.
ලංකාව හරිම සුන්දර රටක්. අපි රූගත කළ තැන් හරිම ලස්සනයි. ඒවගේම මෙහි ජනතාවත් හරිම හොඳයි. ඒ වගේම මම කැමැතියි උඩරට ඔසරිය (Kandiyan Saree) අඳින්න.
මෙය බෞද්ධ චිත්‍රපටයක්. ඔබ මේ ගැන කලින් දැනුවත්වී සිටියාද?
මම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඉපදුණේ මරාති පවුලක. මගේ ආගම හින්දු. මම මීට පෙර බුද්ධාගම ගැන දැනගෙන හිටියේ නැහැ. නමුත් රාණි ධර්මා ලෙස රඟපාද්දී ධර්මාශෝක පසුව බුද්ධාගම වැළඳගත් බව දැනගෙන හිටියා.
නිළියක ලෙස ඔබ ගැන තොරතුරු ටිකක් දැනගන්න කැමැතියි.
මම තියටර් ඇක්ටර් කෙනෙක්. ඒ වගේම නිරූපණ ශිල්පිනියක්. ටීවී ඇක්ටර් කෙනෙක්. ක්ෂේත්රයට ඇවිත් වසර 16 ක් පමණ වෙනවා. හින්දි සහ මරාති චිත්‍රපටවල රංගන ශිල්පිනියක්ලෙස කටයුතු කරනවා. වැඩියෙන්ම රඟපාලා තියෙන්නේ මරාති චිත්‍රපටවල. දැනට චිත්‍රපට 25 ක් පමණ කරලා තිබෙනවා.
ඔබට ඉදිරියේදී ලංකාවේ සිනමා නිර්මාණවලට දායක වෙන්න ආරාධනා ලැබුණොත්.
ඇත්තටම මම ලංකාවේ සිනමාවට කැමැතියි. ඒ නිසා මම තව ගොඩක් චරිත ඉදිරියේදී කරන්න ආසයි. ඒක මට ලොකු අභියෝගයක් වේවි. ඒත් මම ඒකට ආසයි.
ඡායාරූප - තිලක් පෙරේරා