
ජයලලිතා - බේබි ශ්‍රී දේවි දකුණු ඉන්දීය සිනමාවේ අපුරු සුසංයෝගයක් විය. මුලින්ම දෙදෙනාගේම නම් සිනමාවලියක සඳහන් වුයේ බේබි ශ්‍රී දේවියගේ කුලුඳුල් රංගනය ඇතුළත් වු කන්දන් කරුණෙයි සිනමා පටයෙමය. අදි පරාශක්ති, භාර්යා බිද්දලු, නාම් නාදු, එන් අන්නන් ආදී සිනමා පට ගණනාවකම දෙදෙනාගේ නම ලියැවෙද්දී ගිනස් වාර්තාවක නම්වලටත් වඩා නමක් දෙදෙනාම ඉතිහාසයේ රඳවන බව දැන නොසිටියහ.
පුංචි කොලු පැටවකු ලෙස ශ්‍රී රඟ පෑ නාම් නාදු සිනමා පටය වාර්තා පිට වාර්තා පිහිටුවමින් බ්ලොක් බස්ටරයක් වෙද්දී සිඟිති ඇය මුළු ඉන්දියානු සිනමාවේම අධිරාජිනිය වීමේ අඩිතාලම දැම්මාය. ජයලලිතා, දකුණු ඉන්දීය සිනමා රසිකයන්ගේ ආදරණීය පෙම්වතිය වීමෙන් පසු කාලයේ එරට දේශපාලනයේ දැවැන්ත පෙරළිකාරිය වීමට පසු බිම දෛවයෙන් සැකසිණි. මේ දෙදෙනාටම නොදැනුවත්වම දෙදෙනාම කාන්තා පරපුරට කිහිප ආකාරයකින්ම නායිකාවෝ වුහ. ශ්‍රී උස්මහත් වී සිනමා විජිතයම ජයගෙන අවසන් වරට ප්‍රධාන චරිතයක් රඟපෑ මම් ප්‍රවර්ධනයේදී ජයලලිතා හෙවත් ආදරණීය අම්මා ගැන මෙසේ සඳහන් කළාය.
“පුංචි කාලෙ ජයලලිතා මැඩම්ට මගේ තිබුණේ පුදුම ගෞරවයක් එයා දර්ශන තලයට එන කොට දේවතාවක් එනවා වගේ දැනුණේ..මං හැමදාම මැඩම්ට සැලකුවේ දේවතාවක් විදියටමයි. මාධ්‍යවේදියෙක් ශ්‍රී ගෙන් ඇය ගැන සිනමා පටයක් කිරීමට අදහසක් නැද්දැයි විමසු විට ශ්‍රී පැවසුවේ ජයලලිතාගේ චරිතය රඟ පෑමට ඊට උපරිම සාධාරණය කිරීමට තරම් තවමත් තමන් පරිණත නැති බවයි. එයින්ම ළමා වියේදී ශ්රීට ඇය පිළිබඳ ඇති වු ගෞරවය සිතාගත හැකිවිය. ඉන්දියානු සිනමාවට සියක් වසක් පිරුණු අවස්ථාවෙදී මේ අපුරු තාරකා සුසංයෝගය රසිකයන්ට දක්නට ලැබිණි. එහෙත් දෛවය ශ්රීට ජයලලිතා ලෙස රැඟීමටත් ශ්‍රී එසේ රඟනු නැරඹීමට ජයලලිතාටත් ඉඩ ලබා දුන්නේ නැත. ජයලලිතා 2016 දී ජීවිතයෙන් සමුගනිද්දී ශ්‍රී ජීවිතය හැර ගියේ ජයලලිතාගේ උපන් දිනය යෙදී තිබු පෙබරවාරි 24 වැනි දිනය.
ඉරණම එසේ ලියැවී තිබුණද 1974 වසරේ තිරගත වු බේබි ශ්‍රී - ජයලලිතා සිනමාවලියට අලුතින් එක් වු ‘තිරුමංගලනිම්’ පුංචි ශ්රීට සොඳුරුතම මතකයක් විය. තිරුමංගල්යම් දර්ශන තලයේදී මවක මෙන් සෙනෙහස පෑ වැඩිමල් සොයුරියක මෙන් උසුළු විසුළු කළ ජයලලිතා මැඩම් ඇයව වඩ වඩාත් ආදරණීය චරිතයක් විය. පුංචි ශ්‍රී නිසා ඇය රාජේශ්වරීගේද මිතුරියක වුවාය. ශ්‍රී ට තිරුමංගල්යම් දමිළ සිනමා පටය සුවිශේෂී වන කාරණා කිහිපයකි. දෙදෙනාට මේ තරම් එක්ව රංගනයේ යෙදීමට තරම් වෙනත් කිසිදු සිනමා පටයක අවස්ථාව ලැබී නැත. බේබි ශ්රීට මෙහිදී ජයලලිතා සමඟ ගීතමය ජවනිකාවකට පෙනී සිටීමටද වාසනාව ලැබිණි. ‘උලහම් බරු නාල්’ නම් එම සිනමා ගීතයේදී බයිසිකලයෙන් ඇද වැටෙන ජවනිකාවක් තිබුණද මල් යායක් මැද රඟන වර්ණ සිනමා පටයේ ජවනිකාව පුංචි ශ්‍රීගේ මතකයේ නිදන්ගත වුයේ සුරංගනාලොවක් මෙනි. දෙදෙනා පමණක් ගීතමය ජවනිකාවකට සම්බන්ධ වු ප්‍රථම අවස්ථාව මෙයයි.
තිරුමංගල්යම් සිනමා පටයේ ෙබ්බි ශ්‍රී ප්‍රථම වරට ගොළු චරිතයක් රඟ පෑවාය. එහි ගොළු දරුවන් වෙනුවෙන් වෙන්වු පාසලකට ඇය ගෙන ගොස් පෙන්නුවේය. රාජේශ්වරී ගෙන්ද ගොළු දැරියක ලෙස රැඟීමට උපදෙස් ලැබිණි.
එක් වරම පවසන දේ සිත්හි ධාරණය කරගෙන කැමරාව ඉදිරියේ යන්ත්‍රාණු සාරයෙන් ක්‍රියාත්මක වීම පුංචි ශ්‍රීගේ උපන් ගතියයි. තිරුමංගල්යම් සිනමා පටයේ ශාන්ති නම් ගොළු දැරියගේ රංගනය නරඹන කාගේත් නෙතට කඳුළක් එක්විණි.
‘එංගල් කුලදේවියම්’ළමා නිළියක ලෙස ශ්‍රී සිය අසම සම රංග ප්‍රතිභාව අවදිකළ තවත් සිනමා පටයකි. 1974 දී තිරගත වු මේ දමිළ සිනමා පටයේදී පුංචි ශ්‍රී නයි නටවන්නියක ලෙස රසිකයන් හමුවට පැමිණියාය. සිනමා පටය ඇරැඹේන්නේම ඇයගේ නාග නර්තනයකිනි.
නාග ලීලා ශ්‍රීගේ නර්තන හැකියාවට හැඩතල එක් කළේය. පසුව ඇය අසම සම නාග නර්තන ලීලාවන්ගෙන් ප්‍රේක්ෂකයන් මෝහනය කරන බවට ‘එංගල් කුල දේවියම්’ සිනමා පටයේ නර්තනාංගය පමණක්ම ප්‍රමාණවත් සාක්ෂියක් විය. ඊට හරියටම දොළොස් වසරකට පසු ශ්‍රී , ඉන්දීය සිනමා නාග නර්තන අතරට අමරණීය ගීතමය නාග නර්තනයක් ගෙන ආවාය. එංගල් කුල දේවියම් සිනමා පටයේ පුංචි ශ්‍රී නයි පැටවකු සමඟ කරන රංගනය ලොමු ඩැහැ ගැන්වෙන සුලුය. මුතු රාමන්, කේ.ආර්. විජය, ජයචිත්රා, මනෝරාම සමඟ පුංචි ශ්‍රී ද ප්‍රබල රංගනයක් දායාද කරන්නීය.
අවලුක්කු නිහාර් අවලේ 1974 වසරේ ශ්‍රීගේ රංගනය එක්වු තවත් දමිළ සිනමා පටයකි. පුංචි ශ්‍රී වයස අවුරුදු එකොළහ සපිරීමට පෙර කොලිවුඩය, ටොලිවුඩය, මොලිවුඩය පමණක් නොව බොලිවුඩයටද රංගනයෙන් එක් විය. ‘රාණි මෙරා නම්’ (1972) ශ්‍රීගේ කුළුදුල් බොලිවුඩ් සම්ප්‍රාප්තියයි. එහි ඇය රඟ පෑවේ විජය ලලිතාගේ ළමා වියයි. සිනමා පට අතර දෝලනය වන ශ්‍රී ගේ ජීවිතයේ ඒකාකාරී ක්‍රියාවලියේ වෙනසක් දක්නට නම් නැත. දර්ශන තලය ඇයගේ ක්‍රීඩාංගණයයි. පාඨශාලාවයි. රංගනයෙන් එක් නොවුවද දැන් සිනමාව ශ්‍රී ලතාගේ ද ජීවිතය වී අවසන්ය. අක්කණ්ඩියගේ ප්‍රධාන රසිකාවක වෙමින් ඇයගේ සෙවණැල්ල වෙමින් ශ්‍රී ලතා ද සිටින්නීය.
වසරින් වසර පුංචි ළමා වියෙන් සමුගනිමින් සිටියි. 1975 වසර වන විට ශ්‍රී දොළොස් හැවිරිදි නව යෞවනියකි. දවසින් දවස පැහැබර වන මේ මල් කැකුළ රාජේශ්වරී හා ශ්‍රී ලතා හැඩ වැඩ කරන්නේ තරගෙටය. ශ්‍රී දේවියට ඇයගේ සම වයසේ නව යෞවනියන්ගේ ඇඳුම් පැලඳුම් ගැන කිසිදු අවබෝධයක් නැත. ඇය සිතන්නේ මව තමන් වෙනුවෙන් නිවැරැදි දේම තෝරා දෙන බවය. ඇයට මිතුරු මිතුරියන් ද විශාල සංඛ්‍යාවක් නැත. ශ්‍රී කෙනකු හා මිතුරු වන්නේ හද පත්ලෙන්මය. එහෙත් එය විරළ අත්දැකීමකි.
ශ්‍රීගේ සිනමා දිවියේ වසන්තය උදා වුවා පමණි. තවම මල කැකුළුවියේය. ඉරිමා උදයේ හිරු කිරණක්සේ දිග හැරෙමින් පවතින රංගන ලීලාවන්ගේ ප්‍රතිභා ප්‍රභාවේ. උණුසුම දැනටමත් රසිකයන්ට මෙන්ම විචාරකයන්ට ද හොඳින් දැනෙයි.
ලබන සතියට...