නින්නාද නර­ඹන්න 18 වැනිදා මහ­ර­ග­මට එන්න | සිළුමිණ

නින්නාද නර­ඹන්න 18 වැනිදා මහ­ර­ග­මට එන්න

පුංචි වුන් දැන් Mouse එක අල්ලගන්න ඔට්ටු
වෙනවා....
ඒ ඇස්වල තියෙන සතුට....
සීතල කාමරේ කැරකෙන පුටුවේ
උන් ඉන්නේ හරිම උජාරුවෙන්....
ඒ පින ලැබ ගන්න...
තවත් පිරිසකට
ශක්තිය වෙන්න
නුඹලාට යෝධ බල යෝධ වීරිය ලැබේවා...
මේ බිමේ නුඹ හෙලූ දා බිඳු
සුවඳයි හැමදාම
නුඹ හෝ මම නොසිටි වුවද
හැමදාමත්

මේ සටහන මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ මහියංගනය මැදයාය විද්‍යාලයේ ගුරුවරයෙක්. ඒ තමන්ගේ පාසලට ලැබුණු පරිගණක විද්‍යාගාරය පිළිබඳව. පුංචි දරුවෝ පරිගණකයත් එක්ක ඔට්ටු වෙන හැටි, සීතල කාමරේ කැරකෙන පුටුවේ උන් උජාරුවෙන් ඉන්න හැටි, දරුවන් ඉන් ලබන සතුට ඒ ගුරුවරයගේ වචන ඇතුළේ දොරේ ගලනවා. ඔහු තවත් තැනක මෙහෙමත් සටහන් කරනවා.

තවත් පිරිසකට ශක්තියක් වෙන්න නුඹලාට යෝධ බල යෝධ වීරිය ලැබේවා කියලා. මේ ගුරුවරයා යෝධ බල යෝධ ශක්තිය ඉල්ලන්නේ මේ උතුම් කාර්යය කළ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ Exploration Club එකේ දරුවන් වෙනුවෙන්. ඒ ශිෂ්‍යයන් සෑම වසරකට ම වරක් එකතු වෙලා දුෂ්කර ප්‍රදේශයක පාසල් දරුවන්ගේ පරිගණක හැකියාව දියුණු කරන්න පරිගණක විද්‍යාගාරය ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා.

මේ අය තමන් උගත් දේ තවත් දරුවන් පිරිසකට ලබාදෙන්නේ ඒ තමන්ට ඒ තැනට එන්න අපේ රටේ මිනිස්සු ලේ දහදිය, කඳුළු වගුරලා දුන්න මුදලට කෘතගුණ දක්වන්න. අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක අඩංගු සියලුම පහසුකම් මේ විද්‍යාගාරයට ඇතුළත් කරන්න Exploration Club දරුවෝ සෑම විටම උත්සාහ ගන්නවා. ඒ නිසා පසුගිය වසරේ වගේම මේ වසරෙත් ඊට අවශ්‍ය ආධාර එකතුකරගන්න ‘නින්නාද 2018‘ නමින් සංගීත ප්‍රසංගයක් පවත්වන්න කටයුතු යොදා තිබෙනවා.

මේ මස 18 වැනිදා සවස 6.30 ට මහරගම තරුණසේවා සභා ශාලාවේදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයේදී කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා ලියනගේ, උමාරියා සිංහවංශ සහ මිහිඳු ආරියරත්න ඇතුළු ප්‍රවීණ මෙන්ම නව පරපුරේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මෙහිදී ගීත ගායනා කරනවා. සංගීතය මුසු කරන්නේ සජී ජයසිංහ ප්‍රමුඛ සංගීත කණ්ඩායමයි.

මේ ශිෂ්‍යයන් සිදුකරනු ලබන මහඟ කාර්ය සාර්ථක කරගන්න, පුංචි මුදලකින් හරි දායකවෙන්න පුළුවන් නම් එය මහත් පිනක්. ඒ නිසා එළඹෙන 18 වැනිදා මහරගම තරුණ සභා පරිශ්‍රයේ නින්නාද නරඹන්න එක්වෙන් කියලා ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුර විස්තර www.tickets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

 

Comments