
රහක් ගුණක් නැති දෙයක් හැඳින්වීමට සමහරු කියන්නේ හරියට පතෝල වගේ කියලයි. ඒත් පතෝලවල ගුණ දන්නවා නම් කවුරුවත් එහෙම කියන්නේ නැති බව ස්ථිරයි. පතෝල ග්‍රෑම් 100ක සියයට 95ක්ම තිබෙන්නේ ජලයයි. ග්‍රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 55ක්. ආයුර්වේදයේ කෝශාතකී නමින් හැඳින්වෙන පතෝල ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව සහ ශාන්තිකර සාගරයට අයත් රටවලත් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයෙත් හොඳින් වැවෙනවා.
ව්‍යංජනයක් ලෙස මෙන්ම සලාදයක් ලෙස අමුවෙන්ද පතෝල සකස් කර ගත හැකියි. පිසූ විට එක ගුණයකුත් අමුවෙන් කන විට තව ගුණයකුත් මේ එළවළුවේ තිබෙනවා.
ආයුර්වේදයට අනුව මෙයින් වාතය සහ පිත සමනය කරනවා. හොඳින් බඩගින්න ඇති කර ආහාර ජීරණයට උදව් කරනවා. මේරූ පතෝල ඇටවල උදරයේ පණුවන් නසන ගුණ අඩංගුයි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පතෝල සියලුම ආකාරයේ උණ රෝගවලට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් ඇති කරන ආහාරයක්. අදින් දශක කිහිපයකට පෙර කෙනෙකුට උණ හටගත් විට මුලින්ම දෙන ආහාරයක් වන්නේ කිරට සෑදූ පතෝල සහ බත්. පතෝලවල තිබෙන කෙඳි සහිත කොටස් නිසා ආහාර දිරවීමට ඉතා පහසුයි. ඒ වගේම එමගින් ශරීරයේ අභ්‍යන්තරය සිසිල් වෙනවා.
අධික වමනයටත් පතෝල යුෂ ඉතාම ගුණයි. පතෝල යුෂ කෝප්ප භාගයක් මී පැණි හැන්දක් සමඟ මිශ්‍ර කර වමනය කරන රෝගියාට දුන් විට වමනය නවතිනවා. පතෝල වැලක් ගෙන කුඩා කැබලිවලට කපා සම්පූර්ණ රැයක් වතුරේ පොඟවා උදේට එයින් වතුර කෝප්ප දෙකක් පෙරා පානය කළාම මුත්‍රා දැවිල්ල නැතිව යනවා. සමේ කුෂ්ටවලටත් අත් බේතක් ලෙස පතෝල යොදා ගත්තා. පතෝල අඹරා කුෂ්ටය මත දවසට දෙවරක් ආලේප කළාම කුෂ්ටය සුව වෙන බව විශ්වාස කළා. පතෝල මළබද්ධයටත් ගුණදායකයි.
මිරිස් බහුල ආහාර නිතර ගන්නා අම්ල පිත්ත හෙවත් ගෑස්ට්‍රයිටිස් ඇති අයටත් මින් ලැබෙන්නේ ලොකු සහනයක්. කහ උණ රෝගයට වගේම දියවැඩියාවටත් මෙය ගුණදායක එළවළුවක් වශයෙන් සැලකෙනවා. හදවතේ විඩාව අඩුකර කර රුධිර පීඩනය සමනය කිරීමටත් පතෝල උපකාර කරනවා. බටහිර පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙහි ප්‍රතිශක්තිකරණ ගුණාංග ද ඇති බවයි.